Monday, June 26, 2017
Hotline - 0770586666

යන බයිසිකලෙන් ඇය තල්ලු කළාද වැටුණාද පැන්නාද-බඩල්කුඹුරේ පෙම්වතියට වුණේ මොකක්‌ද?

11953Views

 

එය හදිසි අනතුරකි. සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි ඝාතනයකි. මිය යන ලද්දේ විසිතුන් වැනි වියේ තරුණියකි. ඇයට මරණය උදාකර දුන්නේ තරුණයෙකි. ඔහු විසිහයවැනි වියතිය.

සිද්ධිය සිද්ධවන්නේ කොළඹ - අම්පාර මාර්ගයේ 302 කිලෝමීටර් කණුව අසලදීය. එනම් වැල්ලවාය නගරය පසුකොට කිලෝමීටර් තුනක්‌ පමණ බුත්තල දෙසට එද්දී කොටවෙහෙර නම් ගම් පියස අසලදීය.

බැලූ බැල්මට එය හදිසි අනතුරකි. මියගිය තරුණිය හිස්‌ ආවරනයක්‌ පැළඳ නොසිටි බවත්, ඉතා වේගයෙන් යතුරු පැදිකරු යතුරු පැදිය පදවාගෙන යන දුටු බව පවසන බොහෝ දෙනෙකුද වෙති.

එමෙන්ම මහ මග යතුරුපැදිය නවතා තරුණියට පහර දෙනවා දුටුවා යෑයි ද ඇය බේරා ගන්නා ලෙස අයදිනු ලැබුවේ යෑයි පවසන කොටවෙහෙර මහමග දෙපස සුළු ව්‍යාපාරයන්හි නිරත පිරිස්‌ ද වෙති. කෙසේ හෝ සිදුවීම අවසන් වන්නේ එරංගිකා මධුෂානි නමැති තරුණිය මහ මග අති අමානුෂික ලෙස මරණයට ගොදුරුවීමෙනි.

එරංගිකා රැකියාව කළේ ගමනාගමන මණ්‌ඩලයේ වැල්ලවාය ඩිපෝවේය. එරන්ද නම් වූ ඇයගේ පෙම්වතා රැකියාව කළේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ කටුකුරුන්ද කඳවුරේය. දෙදෙනාගේ ආදර අන්දරයට වසර දෙකක්‌ පමණ ගතවී තිබියදී මෙකී ශෝකජනක ඉරණමකට එරංගිකා ගොදුරු වූවාය.

බිබිල මැදගම ප්‍රදේශයේ දුෂ්කර ගම් පියසක්‌වූ බදුලුගොල්ල ලියගහවත්තේ උපන් එරංගිකා ප්‍රියමනාප දැරියක්‌ ලෙසත් විනීත ගතිගුණ තිබූ තරුණියක ලෙසත්, කියවේ. ගම්බද ගොවි පවුලක කුළුදුල් දරුවා වූ ඇයට බාල සහෝදරයින් දෙදෙනෙකි. ලොකු මල්ලී යුද හමුදාවේ සේවය කරන අතර බාල මල්ලී පාසල් යති.

පවුලේ එකම දියණිය ඉතා ආදරයෙන් රැක බලාගෙන හැදූ වැඩූ මව දිසානායක මුදියන්සේලාගේ ශාන්ති කුමාරි නමැති හතළිස්‌ දෙවැනි වියේ පසුවන කතකි. පියා හේරත් මුදියන්සේලාගේ ගුණසේන ද ඉතා නිවුණු ගතිගුණවලින් හෙබි නිහතමානී ගැමියෙකි. ඔවුන්ගේ කැදැල්ලේ උපන් එරංගිකා ඔවුන්ට මිණි පහනක්‌ වූවාට සැක නැත. ඇයගේ අනාගත සහකරු ලෙස නෙතට නෙත පැටලුණු එරන්ද බඩල්කුඹුර ප්‍රදේශයේ අතල නමැති ගම්පියසේ අයෙකි.

උස මහත හැඩරුව සහිත තරුණයෙකුවූ එරන්ද සිය බෑණා වීම දැකීම එරංගිකාගේ මවගේ පැතුම වූවා විය හැකිය. යහපත් කල්කිරියාවෙන් සිටි බෑණා අතින් සිය දියණිය මරණයට පත්වීම පිළබඳ ඇය විශ්වාස කරන්නේ නැත. අනතුරෙන් පසුව රෝහල්ගතව සිටින එරන්ද නීතිය හමුවේ පැටලී ඇත. සිය පෙම්වතියගේ මරණය දැඩි සිතින් දරා සිටින බවක්‌ ඔහු කෙරෙන් පෙනෙන්නේ ආරක්‌ෂක අංශයේ රැකියාවක යෙදෙන පුද්ගලයකු නිසා විය යුතුය.

සඳුදා (15 ) උදේ ඉතා වේගයෙන් යතුරු පැදියක නැගුණ තරුණයෙකු වැල්ලවාය නගරය දෙසට ඉගිලි යද්දී එම ගමන් විලාසය දුටුවෝ භීත වී ගියහ. ඉන් ස්‌වල්ප වේලාවකට පසු තරුණියක පිටුපස හිඳුවාගෙන අධික වේගයෙන් මොනරාගල දෙසට පදවාගෙන යන යතුරුපැදිකරු ඔවුහු දුටුවෝය. ටික වේලාවකින් අසන්නට ලැබුණේ යතුරුපැදිය අනතුරකට ලක්‌ව තරුණිය රෝහල් ගත කිරීමෙන් මියගිය පුවතය.

ඒ සමඟම මෙතෙක්‌ සිද්ධිය ඇසින් දුටුවෝ එකිනෙකා සමඟ තමන් ඇසූ - දුටු දේ බෙදා හදා ගත්හ. පුවත්වලින් පැවසෙන්නේ යතුරුපැදිය අතරමගදී නවතා එහි සිටි තරුණයා තරුණියට අතින් පයින් පහර දුන් බවයි. ඒ අවස්‌ථාවේ තරුණිය මාව බේරා ගන්න කියා කෑ ගැසූ බවයි.

එම කලබලය දැක එතැනට රොක්‌වූ පිරිස පවසන්නේ තරුණියව යතුරුපැදියේ නංවාගත් තරුණයා වේගයෙන් ඉදිරියට ගිය බවයි.

එරංගිකා සමඟ වැල්ලවාය ලංගම ඩිපෝවේ සේවය කරන යෙහෙළියක පැවැසුවේ වෙනදා මෙන් ඇය උදෑසන 8.30 ට පමණ සේවයට පැමිණි බවයි. උදේ 9.30 ට පමණ යෙහෙළියට එරංගිකා මෙසේ පවසා ඇත. "අක්‌කේ අම්මාට සනීප නැහැ. අයියා එනවා මාව එක්‌කරගෙන යන්න මම නිවාඩුවක්‌ අරගෙන යනවා".

ඇය ඩිපෝවේ සිට වැල්ලවාය නගරයට ගොස්‌ ඇත්තේ බස්‌ රථයකිනි. එතැන් සිට වැල්ලවාය පාරේ කිලෝමීටර් භාගයක්‌ පමණ පා ගමනින් ගොස්‌ ඇත. තමා කැටුව යැමට පැමිණි පෙම්වතා හෙල්මට්‌ එකක්‌ රැගෙන නොඑන බව දැනුම් දීම නිසා එසේ පයින් එන්නට ඇත.

වැල්ලවායේ සිට බිබිල මැදගමට දුර සැතපුම් පනහකට ආසන්නය. පෙම්වතා පවසන්නේ එරංගිකාගේ මවට අසනීප නිසා ඇයව එක්‌කරගෙන යැමට පැමිණි බවය. පොලිස්‌ බල ප්‍රදේශ තුනක්‌ පසුකරමින් පෙම්වතියගේ නිවසට යා යුතුය. ඇයව කැඳවාගෙන යැමට ඔහු හෙල්මට්‌ එකක්‌ නොගෙනාවේ ඇයිද යන්න ප්‍රශ්නයකි.

ඒ අනුව ඇය ගෙදරට එක්‌කරගෙන යාමේ අදහසක්‌ ඔහු තුළ නොතිබූ බව පැහැදිලිය. අනතුරෙන් පසු බිම වැටී සිටි එරංගිකාව ඔසවාගෙන පපුවට තුරල් කරගෙන පැදිකරු යතුරු පැදියේ සිටි බව දුටුවන් පවසද්දී ඔහු මත් බවකින් සිටි බව සමහරකුගේ අදහසය. අසල තිබූ සිමෙන්ති වැඩපළක තරුණයකු සිය ත්‍රීවිල් රථය රැගෙනවිත් අනතුරට පත් තරුණිය වැල්ලවාය රෝහලට රැගෙන යද්දී එරන්දත් ඊට ගොඩවී ඇත.

පසුව ගිලන් රථයෙන් ඇය මොනරාගල මහ රෝහලට යවා තිබේ. පසුව යතුරුපැදිය තිබූ තැනට පැමිණි තරුණයා යතුරු පැදියෙන්ම නැගී ගිලන් රථය පසු පස හඹා ගිය බවත් සිමෙන්ති වැඩපළේ පිරිස පවසති.

මොනරාගල රෝහල අසලදී එරංග උමතු විලාශයක්‌ ගෙන එම ස්‌ථානයේ තිබූ ත්‍රීවිල් රථ කිහිපයකට පහරදී පොලිස්‌ නිලධාරීන්ට බැණ වැදී ඇත. ඔහු විසින් සිදුකරගත් තුවාල හේතුවෙන් ඔහුද රෝහල් ගතකෙරිණි. යතුරුපැදි අනතුරින් ඔහුට සිදුවී ඇත්තේ ඉතා සුළු සීරීම් තුවාල පමණි. පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ රියෑදුරෙකු ලෙස සේවය කරන එරංග දක්‌ෂ යතුරුපැදි කරුවෙකි.

යතුරුපැදියෙන් කළ හැකි බොහෝ දේ පිළිබඳව පුහුණුව ලැබූවෙකි. මෙම සිද්ධිය පුරාම නොකියා කියෑවෙන කතන්දරයක්‌ ඇත. එනම් එරංගිකාව මරණයට පත්කරනු ලැබූ බවයි. සිද්ධිය ඇසූ දුටුවන් එසේ පවසන්නේ හේතු ඇතිව විය හැකිය. එරංගිකාව සිතාමතාම සැළසුම් සහගතව ඝාතනය කළේද එසේ නැතිනම් යතුරුපැදියෙන් වැටීමෙන් මියගියාදැයි අධිකරණයෙන් තීරණය කෙරෙනු ඇත. පොලිසියේ වගකීම පුළුල් පරීක්‍ෂණයක්‌ කර අධිකරණයට ඉදිරිපත් කිරීමය.

වෙසක්‌ සඳ තවමත් අහසේය. මග දෙපස කෙරුණු වෙසක්‌ සැරසිලි පවා තවමත් එසේමය. බෞද්ධ අසිරිය දස දෙස විහිදෙන වෙසඟ මැකී යන්නටත් පෙර අසන්නට දකින්නට ලැබෙන්නේ මිනිසුන් අතර නොව තිරිසනුන් අතරවත් නොවිය යුතු කතාය. 

තම පවුලේ එකම දියණිය මෙවන් සෝචනීය මරණයකට ගොදුරුවීම කෙසේ ඉවසාගන්නද? එරංගිකාගේ දෙමාපියන්ගේ හදවත් එකට සලිත වෙද්දී සිය සහෝදරියට අත්වූ ඉරණම ගැන දෙසොහොයුරන් කම්පා වී සිටිති.

(උපුටා ගැනීම දිවයින / රවිඳු ගුණතිලක)