Wednesday, September 20, 2017
Hotline - 0770586666

'ඇමතිතුමා අපෙන් පලි ගන්න දඹුලු විහාරය රජයට පවරා ගෙන සුද්දන්ට විකිණීමට හදනවා' පිංකැට සීල් කිරීම ගැන රංගිරි දඹුලු රජමහා විහාරාධිපති හිමියන් දැක්වූ අදහස්.

28581Views

රංගිරි දඹුලු රජමහා විහාරයේ පිංකැට වලට සීල් තබා , විහාරය නැරඹීමට පැමිනෙන විදේශිකයන්ට ප්‍රවේශපත්‍ර විකිනීමට රජය සුදානම් බවට ප්‍රවෘත්ති පල උනා. මේ ඒ පිළිබද රංගිරි දඹුලු රජමහා විහාරාධිපති අස්ගිරි මහා නිකායේ කාරක සංඝ සභික පූජ්‍ය ‍ආචාර්ය ගොඩගම මංගල හිමියන් සමග කළ අදහස් විමසුමකි.

 

Q රංගිරි දඹුල්ල විහාරය සම්බන්ධයෙන් ඇමතිවරයා කළ යම් ප්‍රකාශයන් මේ වන විට රටේ  විවාදයකට පත්ව තිබෙනවා. ඒ ගැන පැහැදිලි කළොත්?

මම මේ පදවියට පත්වෙලා තාමත් අවුරුද්දක් නැති තරම්. මම වරක් ජනාධිපතිතුමාට යෝජනා කළා මෙම සිද්ධස්ථානය සංවර්ධනය කළ යුතුයි කියලා. ඒ සඳහා එතුමා ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කටයුතු සංවිධානය කළා. මේ අතර මෙම ආරංචිය විෂය භාර අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමාට දැන ගැනීමට ලැබිලා එතුමා මෙම සිද්ධස්ථානය නිරීක්ෂණය සඳහා පැමිණියා.

මටද එම අවස්ථාවට සහභාගි වන්න යැයි ආරාධනය කළා. නමුත් මට ඒ දවසේ මගේ පාසලේ යොදා ගත් උත්සවයක් තිබුණු නිසා එයට පමා වෙලා යන විට එම සාකච්ඡාව ආරම්භ වී තිබුණා.

මේ කතාබහ අතරේ මෙම ස්ථානය සඳහා ප්‍රවේශපත් නිකුත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුණා. නමුත් මෙය බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්තුමා යටතේ පවතින නිසා එය තවදුරටත් සිතිය යුතු බව මම පෙන්වා දුන්නා. එතැනින් කතාබහ නතර වුණා.

Q එයින් පස්සෙ?

ඇමතිතුමා ඉන්පසු රංගිරි දඹුල්ල සිතුවම් නිරීක්ෂණය කළා. එයින් පස්සේ ඔහු අශෝක සිරිවර්ධන කියන මහත්මයාට ඉදිරි කටයුතු පිළිබඳ දින නියම කිරීම පැවරුවා. මගේ මතකය හැටියට මාර්තු 16 වගේ දවසක් අමාත්‍යාංශයේදී සාකච්ජා කිරීමට තීරණය වුණා.

මමත් ඒ දවසේ එම රැස්වීමට ගියා. ඒ යන විට මම  ජනාධිපතිතුමාට භාරදීමට සූදානම් කළ ලිපියක් රැගෙන ගියා. ඒ සමගම සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරීන්ද ලිපියක් සකස් කරගෙන පැමිණ ඉදිරි පත් කළා. එය මගේ අදහස හැටියට ප්‍රංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදාළ අංශයට සකස් කළ ලිපියක්.

ඒ අනුව අවුරුදු 8ක් යනතුරු ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මකයි කියන අදහස කියවුණා. කෝටි 50ක් වියදම්කර විහාරස්ථානය සංවර්ධනය කර ඇති බවත්, 1996 සිට වෙනත් පාර්ශ්වයන් විසින් විදේශිකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කර මුදල් එකතු කරනවාය එය ගණනය කර එම මුදල් කෝටි එක්දහස් ගණනාවක් බවත් කියවුණා. පසුව මෙය කෝටි 750 දක්වා අඩු ගණනකට ගණනය වුණා.

Q මෙම මුදල් ගනුදෙනුව එතෙනදි සංවාදයට යොමු වුණාද?

එතෙනදි එම මුදල් අවභාවිතයක් පිළිබඳ කියවුණා. මම කීවා එහෙම අවභාවිතයක් වී තිබෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් කර ඇත්ත නැත්ත සොයා ගත යුතු බව. මම යමෙකු කෙරෙහි වෛරයෙන් චෝදනාවෙන් නෙවෙයි, ඉදිරිපත් වූ කරුණුවලට සවන් දීලයි ඒ යෝජනාව කළේ. එහෙම වුණාදැයි මම නොදැන සිටි නිසාම  ඒ ගනුදෙනු පිළිබඳ විනිවිද බව මමත් අගය කළා. තව කෙනකු හේතු රහිතව චෝදනා අහනවාට මම කැමති නැහැ.

Q ඔබ වහන්සේට ඒ සම්බන්ධයෙන් ගණනය කළ නොහැකි ඇයි?

අනික ඔය කියන ගනුදෙනු මා කටයුතු කළ සමයේ සිදු නොවූ දේ නිසා මට  ඒ ගැන යමක් කියන්න බැහනේ. සිද්ධස්ථානයේ විනාශ වන බිතුසිතුවම් ප්‍රතිසංස්කරණය කළ යුතු බවත්, ඒ සඳහා විදේශීය සංරක්ෂකයන් ගෙන්විය යුතු බවත්, එහිදී දැරීමට සිදුවන විශාල වියදම සලකා ප්‍රවේශ පත්‍ර මගින් අනිවාර්යයෙන්ම මුදල් අය කළයුතු බවත් ඇමතිවරයා කීවා. එහෙම නොවිය යුතුයි කියන තැන මම ඉන්නවා.

Q එහෙම නොවිය යුත්තේ ඇයි?

එහෙම දෙයක් වෙනවා නම් මෙය බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ අනුමතය මත සිදුවිය යුතුයි කියන දේ මම නෛතික වශයෙන් පවතින ප්‍රතිපාදන අනුව පෙන්වා දුන්නා. මෙම ස්ථානය විහාර දේවාලගම් පනතට යටත් වන තැනක්.

Q ඒ මුදල් කුමකටද?

එසේ ලැබෙන මුදල් විහාර සංවර්ධන අරමුදලක් ලෙස බැර විය යුතු බවට ඇමතිවරයා පවසා සිටියා. මේ හැමදෙයක්ම දක්වලා එතුමා බලන්නේ කැබිනට් මණ්ඩලය හරහා පත්‍රිකාවක් ඉදිරිපත් කර ටිකට්පත් මුද්‍රණය කරලා විදේශිකයන්ට අලෙවි කරන්න.

එයින් උත්සාහ කරන්නේ මගේ මතයක් යැයි නිර්මාණය කරමින් එය හරහා වෙනත් සමාජ මතයක් ජනගත කරන්න. දිගින් දිගටම ලෝක උරුමය සංකල්පය ඉස්සරහට දාගෙන අපට දඬුවම් කිරීමට අමාත්‍යවරයා උත්සාහ කරනවා.

Q ඇමතිවරයෙකුට එවැනි කැබිනට් පත්‍රිකාවක් සිය අභිමතය පරිදි ඉදිරිපත් කළ හැකිද?

ඒක තමයි ප්‍රශ්නය. මගෙන් හෝ අප පාර්ශ්වයේ මහා නායක හිමිගෙන් නොවිමසා ආගමික සිද්ධස්ථානයක් සම්බන්ධයෙන් දේශපාලන බලාධිකාරියකට ඒ වගේ තම අභිමතය අනුව කටයුතු කරන්න බැහැ.

මේ ඇමතිවරයා සීගිරි ගලත්, දඹුලු විහාරයත් යන දෙකම එකම ජාතියේ ගලක් හැටියටයි පෙන්වන්නට උත්සාහ කරන්නේ. එහෙම හිතාගෙන සීගිරි ගල වගේම රංගිරි දඹුල්ල ඵෙතිහාසික පූජනීය බෞද්ධ සිද්ධස්ථානයටත් අවමානයක් වන පරිදි කටයුතු සිදුවෙනවා නම් එය හොඳ නැහැ.

මේ උත්සාහය වරදක් සම්මත කර එය වංචනික ක්‍රියාවක් බවට පත්කරන්නද කියන ප්‍රශ්නය මට තියෙනවා. මෙහෙම සිදුවන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මහත්මයා එම තනතුරෙන් ඉවත් කිරීමත් සමගයි.

Q දැන් අලුත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත්ව සිටිනවා. එතුමා මාධ්‍ය ඉදිරියේ මේ කරුණ ගැන විවිධ විස්තර සපයනවා?

ඇත්ත. දැන් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ලෙස හඳුන්වන අයෙකු පත්කර සිටිනවා. එතුමාගේ පුරාවිද්‍යා දැනුම ගැන මට ගැටලුවක් නැහැ. නමුත් එතුමා පත්වී දින කීපයකින් පසු ඔහු ප්‍රකාශයට පත්කරනවා රංගිරි දඹුල්ලේ චිත්‍ර අභාවයට යනවා කියලා කතාවක්.

නමුත් එතුමා පත්වූ විගසම මෙහෙම කියන්නේ ස්වාධීන පරීක්ෂණයක් කරලද කියන ප්‍රශ්නය තියෙනවා. මම ඒ ප්‍රකාශයට නොසතුට ප්‍රකාශ කළා.

Q ඒ ගැන පැහැදිලි කළොත්?

මම දන්නා හැටියට පූජනීය ස්ථානයක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනවා නම් එම ස්ථානයේ විහාරාධිපති හිමියන් සමග සාකච්ජා කළ යුතුයි. ඒ අනුව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්තුමා අප සමග ලොකු සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් කටයුතු කළා.

නමුත් මේ වන විට විෂය භාර ඇමතිවරයා ලෝක උරුම සංකල්පයක් මවා පෙන්වමින් විහාරයේ භික්ෂූන් වහන්සේලාට නිග්‍රහ කරමින් ඒ වටා සිටින නිලධාරීන්ගේ කීම අහලා විහාර පරිපාලනයට ඇඟිලි ගහන බවක් පෙනෙනවා. ඒක යහපත් පූර්වාදර්ශයක් නෙවෙයි.

Q එහෙම නම් ඔබවහන්සේ මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක්ද?

අකිල විරාජ් අමාත්‍යවරයා ලෝක උරුමයක් ගැන කතා කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට කරන හිරිහැර නිග්‍රහ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන ලෙස මේ පුවත් අසන බොහෝදෙනා මට යෝජනා කළා.

නමුත් මට ජනාධිපතිතුමාත් බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගැනත් හොඳ පැහැදීමක් තියෙනවා. ඒ අය මේ ප්‍රශ්නය වඩා යහපත් ආකාරයෙන් විසඳයි කියන බලාපොරොත්තුව තියෙනවා.

අනික බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ එ. ජාතීන්ගේ ප්‍රංශයේ කාර්යාලයට ලිඛිතව දන්වන්න  හැකියාව මට තියෙනවා. මා සමග ප්‍රංශයේදී ආචාර්ය උපාධියට පෙනී සිටි අයත් එතැන ඉන්නවා. ඒ නිසා මම ඒ ඉල්ලීම පසුවට කල් තියනවා.

Q හැම සංචාරකයෙකුම ප්‍රවේශපත් ලබාගත යුතු නම් විශාල මුදලක් එකතු විය යුතුයි කියන අනුමානය තුළ ඇමතිවරයා කරුණු දක්වනවා විය නොහැකිද?

වගකිවයුත්තන් ඇත්ත දැනගෙන  කතා කළ යුතුයි. තායිලන්තය, බුරුමය, චීනය, කොරියාව, ජපානය, ටිබෙටය වැනි බෞද්ධ රටවල භික්ෂූන් වහන්සේලාගෙන් මුදල් අය කරන්නේ නැහැ. දේශීය සංචාරකයන්ගෙන් මුදල් අය කරන්නෙත් නැහැ. සෙසු සංචාරකයන්ගෙන් එක් අයකුගෙන් රුපියල් 1500.00ක් අය කරන බව භාරකාරත්වය දරන අඹගස්වැවේ රාහුල හිමියෝ පවසනවා.

නමුත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය අනුව මාස හතරක කාලයක් තුළ පමණයි සංචාරකයන් පැමිණෙන්නේ. ඒ කාලය තුළ දිනකට තුන් හාරසියයක් එනවා.‍ අනික් කාලවලදී එවැනි පිරිසක් එන්නෙ නැහැ. නමුත් ගණනය කිරීම් වලදී ඒ මාස අටෙත් එහෙම පැමිණෙන බව පෙන්වීමට උත්සාහ ගන්නවා. එවිට සාමාන්‍යයෙන් පනහක් හැටක් විතර එන්නේ.

ලැබෙන ආදායම එදිනෙදා විහාර සංවර්ධන අරමුදලේ සංචිතයට බැරකෙරෙනවා. සෑම පොහොය දෙකකට වරක්  බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා පැමිණ ඒවා ගණනය කරනවා.

අනික අනුමාන කරමුකෝ ඔය කියන විදිහට ලැබෙනවා කියලා. එහෙම වෙන්නේ නැති කතාව මම ඉස්සරවෙලා පැහැදිලි කළානේ.මේ විහාරයට අනුබද්ධව තවත් පන්සල් 05ක් තියෙනවා. ඒවාට පිරිවෙන් තියෙනවා. එයින්ද වළගම්බා පිරිවෙනට තවත් පිරිවෙන් 10ක් තියෙනවා.

ඒවා නඩත්තු කළ යුතුයි. සේවකයන්ට කළ යුතු ගෙවීම් සහ වෙනත් වියදම් කළ යුතුයි. ලැබෙනවා යනු සිතිවිල්ලක් පමණයි.එය අවිනිශ්චිතයි. ඒ මත රැඳී, ඉලක්කම් හරඹයක් කර ආදායම පමණක් පෙන්වීම කූට උත්සාහයක් කියන එක ජනතාව නොදන්නවා නෙවෙයි.

Q ඇත්තටම මුදල් අවභාවිතයක් වෙලා තියෙනවාද?

මෙම සිද්ධස්ථානයේ විහාරාධිපති හිමිවරුන් ලෙස කටයුතු කළ ජාත්‍යන්තර ගෞරවයට පත් අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ටත්, පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි නාහිමියන්ගේ ගරුත්වයටත් මෙම අමාත්‍යවරයා කරන ප්‍රකාශ හානියක්.

මේ ගැන වැරදි ආකාරයට අර්ථගන්වමින් විවේචනයට ලක් කිරීම පිළිබඳ මා කනගාටු වෙනවා. බෞද්ධ ජනතාව තුළ මෙවැනි සිදුවීම් පිළිබඳ ඇත්තේ කනගාටුවක්.මේ ඇමතිවරයා බෞද්ධයෙක් නම් උන්වහන්සේලාගේ පරපුරෙන් සමාව ගත යුතුයි.

Q විහාරස්ථානයේ හැමතැනම පිං කැට තබා ඇතැයි චෝදනා කරනවා?

ඔය එක කැටයක්වත් අපි තියපුවා නෙවෙයි.ඒවා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මුද්‍රා තබලා තියලා තියෙන ඒවා.ඒවා සමග අපේ සම්බන්ධයක් නැහැ. 

Q ප්‍රවේශ පත්‍ර නිසා සීගිරිය වගේම හොඳ ආදායමක් ලැබෙන බවට රජය පැත්තෙන් කියවෙනවා?

සීගිරිය කළු ගලක්.ඒකට ප්‍රවේශපත් විකුණලා මුදල් සෙවිය හැකියි.ඒත්  පහුගිය දවස්වල ඒ තරම් ආදායම් හොයන සීගිරියේ විදේශිකයන්ට මළමූත්‍රා කරන්න වැසිකිළි පහසුවක්වත් තිබුණේ නැති බව ඔය දඹුල්ලත් රජයට පවරාගන්න කතා කරන අය දැක්කේ නැද්ද? ඒ පොඩි වැඩේවත් නියාමනය කර ගැනීමට බැරි තැන දිනපතා ආගමික වතාවත් වැඳුම් පිඳුම් පූජා වත්පිළිවෙත්, සමිප්‍රදායික පූජා පැවැත්විය යුතු වන්දනීය ස්ථානයක් භාර අරගෙන මේ කරන්නට යන නාඩගම ගැන ජනතාව තුළ තියෙන්නෙත් කලකිරීමක්.

Q විහාරස්ථානයේ ආදායම රජයේ අරමුදලකට යොමු කරනවා කියලා කතාවක් ඇහෙනවා?

ඒකනෙ මම කිව්වෙ. එහෙම කරලා සීගිරියේ සුද්දන්ගෙන් අය කරන මුදලට වැසිකිළි පහසුවවත් දෙන්න බැරි තැන, දිනපතා දේශීය සංචාරකයන්, සැදැහැතියන්, සිල්සමාදන් වූවන් සිය දහස් ගණනාවක් සමග කෙරෙන ගනුදෙනුව ආණ්ඩුවකට පාලනය කරන්න පුළුවන්ද කියන කතාව විමසිය යුතුයි. අනික සීගිරිය සංරක්ෂණය කරනවා කියලා සෙලෝටේප් අලවලා කියලත් ඔය කතන්තරයක් ඇහෙනවා. ඒක සංරක්ෂණය නෙවෙයිනෙ. 

අනික සීගිරියට එන හැම සංචාරකයෙක්ම දඹුල්ලට එනවා යැයි කියලා හිතාගෙන ගණන් හදන එකත් වැරදියි.

Q නමුත් ඔබවහන්සේලා සිතුවම් සංරක්ෂණය සඳහා සංස්කෘතික ත්‍රිකෝණයට බාධා කරනවා යැයි චෝදනා නැගෙනවා?

සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරීන් බාධාවකින් තොරව විහාර සංවර්ධනය කරගෙන යාමට අපෙන් අවසර ඉල්ලීම සහ ඒ අවසරය ඔවුන් ලබාගත යුත්තේ පුරාවිද්‍යා අංශය සමග සාකච්ජා කර අපේද අදහස් යෝජනා අනුවයි. ක්‍රමවේදය එහෙම නම් අපෙන් අවසර නැහැයි කියන කතාවෙ පදනමක් නැහැ.

Q සිතුවම් පුනරුත්ථාපනයට එවන නිලධාරීන්ට අවසර නොදී එළවාගත්තා යැයි කියන චෝදනාව ඇත්තද?

චිත්‍ර සංරක්ෂණය කිරීමට පැමිණි නිලධාරීන් පහුගිය කාලයේ හිටපු සුමංගල හාමුදුරුවෝ එළවා දමා තිබුණා. හේතුව තමයි පහුගිය කාලයේ කර ඇති සංරක්ෂණ කටයුතුවලින් පසු ඒ පිළිමවහන්සේලා සියල්ල සුදුපැහැ ගැන්වෙලා තියෙනවා. චිත්‍ර සුදු පාටවෙලා තියෙනවා.

Q එම සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ඔබවහන්සේගේ මීළඟ පියවර කුමක්ද?

මේ පිළිබඳ මා පත් වූ පසු දැනුම්වත් කළා. නමුත් දැනට කර ඇති හානිකර සංරක්ෂණ කටයුතු හේතුවෙන් අපට ඒ අයගේ සංරක්ෂණය ගැන විශ්වාසයක් නැහැ. එම කටයුතු පුරාවිද්‍යාවේ අධීක්ෂණයෙන් තොරව සංස්කෘතික ත්‍රිකෝණය පමණක් කරනවාට අපි අකමැත්ත ප්‍රකාශ කරනවා.වගකීමක් නැති නිලධාරීන්ට ජාතියේ ප්‍රෞඪත්වයත්, ආගමික සිද්ධස්ථානයත් විනාශ කිරීමට ඉඩ දෙන්න බැහැ.

Q මෙතැන දේශපාලනයක් තියෙනවාද?

ජේ.ආර්. පාලන සමයේ ගැටඹේ විහාරයට කටුකම්බි ගහනකොටත් මම එතැන හිටියා. මහින්ද රාජපක්ෂ කාලයේ මල්වතු මහනායක හිමිවරුන් භික්ෂූන්වහන්සේලා මහමළුවට කැඳවනු ලැබූ අවස්ථාවේත් මම එතැන හිටියා.

මේ වෙලාවේ මහා සංඝයාවහන්සේ එකට එකතුවෙලා පොදු සම්මුතියකට අනුව රටේ ප්‍රශ්න, ශාසනික ප්‍රශ්න විසඳාගැනීම සඳහා පාලකයන් සමග උත්සාහ කරමින් සිටිනවා.

අපේ පැත්තෙන් ඒක පක්ෂ දේශපාලනයක් නෙවෙයි, ජාතික වගකීමක්. නමුත් මේකට පක්ෂ, පටු දේශපාලනය ඈඳාගෙන කටයුතු කිරීමට යම් අය උත්සාහ කරනවා. ඒ නිසයි අස්ගිරි ප්‍රකාශනයෙන් පස්සෙ අපේ ආදායම හොයන්නට සහ ආදායමට ඇඟිලි ගැසීමට අනියත ආකාරයෙන් ප්‍රවේශ පත්‍ර සහ එයට සම්බන්ධ කාරණා හදිසියේ මතුවන්නේ.

බුදුන්වහන්සේ හැමවිටම සංඝයාවහන්සේලාට පැවසුවේ “මා විවිධත* යනුවෙන් වාද කරන්නට එපා යනුවෙන්. “සමග්ග හොති” යනුවෙන් සමගිවන්න කියලයි.ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් මේ සමගිය බිඳවීමට නම්, එතැන ‍පක්ෂ දේශපාලනයක් තිබිය හැකියි.භික්ෂූන්වහන්සේලා සමගිව කටයුතු නොකළොත් මේ ආණ්ඩුව ගෙනයන සංහිඳියා පිළිවෙත අනුව බුද්ධ ශාසනයටත්, සිංහල ජාතියටත් නොබෝ දිනකින් විශාල අනතුරක් විය හැකියි.

Q අවසාන වශයෙන් සාංඝික දේපොළ සඳහා අතපොවන පාර්ශ්වයන්ට ඔබවහන්සේ දෙන පණිවුඩය කුමක්ද?

මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා මේ රටේ දේශපාලකයන්ට ගල්පොත සෙල් ලිපිය පෙන්වන්න කියලා.ඒකේ තියනවා එහෙම අය බලුකපුටො වෙලා ඉපදෙන කතාව.

 

 උපුටා ගැනීම අද පුවත්පතින්


 


ගොඩගම මංගල හිමියන්

YOU MAY ALSO LIKE