Wednesday, September 20, 2017
Hotline - 0770586666

කැසිනෝ පොළේ සල්ලි පොළියට දෙන චීන අක්‌කාට විද්ද හැටි

8051Views

ලීයෑන් ෂිං චීන ජාතික කාන්තාවකි. මැදි වයස නොඉක්‌මවූ ඇයට දරුවන් දෙදෙනකු සිටී. සැමියා ඇයව හැරගියේ දරුවන් කුඩා කාලයේදීය. රැකියාවක්‌ නොකළ ඇය ජීවත්වීම සඳහා චීනයේ බෙයිජිං නුවර විවිධ රැකියාවල නිරත වුවාය. එහෙත් ඒ කිසිවකින් ඇය තෘප්තිමත් නොවුණාය. අවසානයේ ඇය යහළුවකු මාර්ගයෙන් රාත්‍රී සමාජ ශාලාවක රැකියාවක්‌ සොයා ගත්තාය. 

රාත්‍රී සමාජ ශාලාවේ රැකියාවත් සමඟ ලීයෑන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්‌ වන්නට පටන් ගත්තාය. එහි වැඩි වශයෙන් සිටියේ විදේශිකයන්ය. මවු භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවීමේ හැකියාවක්‌ ලීයෑන්ට තිබුණි. එමනිසා රාත්‍රී සමාජ ශාලාවට පැමිණෙන බොහෝ විදේශිකයෝ සමඟ ඇය මිතුරු වූහ. එම මිතුරුකම් භාවිතා කරමින් ඇය ඉතා සූක්‍ෂම ලෙස මුදල් ඉපැයීමටද සමත් වූවාය. කොටින්ම කියතහොත් වසරක්‌ වැනි කාලයක්‌ තුළදී ඇය ලක්‍ෂපතිනියක්‌ බවට පත්වූවාය. 

සල්ලි වැඩිපුර අතමිට ගැවසීමත් සමඟ ලීයෑන් තම රැකියාවට සමුදුන්නාය. ඉන්පසු ඇය තම ප්‍රදේශයේ ජනතාවට සල්ලි පොලියට දීමට පටන් ගත්තාය. සුළුවට පටන් ගත් එය කෙටි කාලයක්‌ තුළදී මහා පරිමාණයෙන් කරගෙන යැමට ඇය සමත් වූවාය. වසර කිහිපයක්‌ ඇතුළත එම ප්‍රදේශයේ සිටි ධනවතුන්ගේ ලැයිස්‌තුවට ලීයෑන් ෂිංගේ නමද එකතු විය. 

කලක්‌ ගතවෙද්දී ලීයෑන් සූදු ගසන ස්‌ථානවල (විශේෂයෙන් කැසිනෝ) පුද්ගලයන්ටද සල්ලි පොලියට දීමට පටන් ගත්තේය. ඒ හරහා ද ඇය විශාල මුදලක්‌ ඉපැයුවාය. ලීයෑන් දිනක්‌ තායිලන්ත ජාතික කාන්තාවක්‌ මුණගැසුණේ ඒ රාත්‍රී සමාජ ශාලාවකදීය. ඇය නමින් මායි මාහිය. කෙටි කලක්‌ තුළ දෙදෙනා අතර ලොකු මිත්‍රත්වයක්‌ ගොඩනැඟුණි. 

මායි යළි තම මව්බිම බලා ගියේ ලීයෑන්ට එහි පැමිණෙන ලෙස ආරාධනා කරමින්ය. එම ආරාධනයෙන් මාස කිහිපයකට පසු ලීයෑන් තායිලන්තය බලා පිටත් වූවාය.

තායිලන්තයට ගොස්‌ දින කිහිපයක්‌ තුළදී එම රටේ ඇති උපරිම නිදහස ඇය තේරුම් ගත්තාය. රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ ශාලා හරහා විශාල මුදලක්‌ උපයාගත හැකි බව ඇයට අවබෝධ වූවාය. ඒ අනුව ඇය මායි සමඟ සම්බන්ධ වී රාත්‍රී සමාජ ශාලා සහ කැසිනෝ ශාලාවලට පැමිණ මුදල් පරදින පුද්ගලයන්ට සල්ලි පොලියට දීමට පටන් ගත්තාය. වසර ගාණක්‌ විටින් විට තායිලන්තයට පැමිණි ඇය සල්ලි පොලියට දීම ජයටම සිදු කරගෙන ගියාය. 

කාලයාගේ ඇවෑමෙන් යහළුවකු හරහා ලීයෑන් ශ්‍රී ලංකාවටද පැමිණියාය. මාස කිහිපයක්‌ මෙරට ගතකළ ඇය වැඩිපුරම ගැවසුණේ කැසිනෝ ආදි සූදු ගසන ස්‌ථානවලය. ඒ සමඟ ඇය මෙරට පුද්ගලයන් කිහිප දෙනකු සමඟ මිත්‍ර සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගැනීමටද සමත් වූවාය. 

කලක්‌ ගතවෙද්දී වැල්ලවත්ත, බම්බලපිටිය ආදී ස්‌ථානවල පිහිටි කැසිනෝ ශාලාවල ඇය ප්‍රසිද්ධ චරිතයක්‌ බවට පත්වූවාය. ඒ සමඟම සූදු ගසා පරදින පුද්ගලයන්ට පොලියට සල්ලි දීමටද ඇය පුරුදු වූවාය. 

ජගත් සහ රොෂානා විවාහ වූයේ මීට වසර කිහිපයකට ඉහතදීය. එම යුවළ කෙළිලොල් ජීවිතයක්‌ ගත කිරීමට පුරුදු වී සිටියහ. ජගත් උමාඔය ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයකුගේ රියදුරකු ලෙස රැකියාව කළේය. කලක සිට මෙම යුවළ කැසිනෝ ගැසීමටද තදින් ඇබ්බැහි වී සිටියහ. ජගත් නොමැති අවස්‌ථාවල රොෂානා තනිවම ගොස්‌ කැසිනෝ ගැසූ අවස්‌ථා අනන්තවත් ඇත. ජගත්ට වඩා රොෂානා තදින්ම කැසිනෝ ගැසීමට ඇබ්බැහිවී සිටියේය. එමනිසා කැසිනෝ ශාලාවල ජගත්ට වඩා රොෂානා ජනප්‍රිය චරිතයක්‌ බවට පත්විය. සූදු ගසා කිසි දිනක ජීවිතය ජය ගැනීමට නොහැකිය යන කියමන සැබෑවක්‌ කරමින් රොෂානාලාද අන්තයටම වැටී තිබුණි. ළඟ තිබූ අන්තිම ශතයද ඔවුහු වියදම් කර තිබුණේ කැසිනෝ ගැසීම සඳහා ය. 

දිනය පසුගිය මස විසිහත්වැනිදාය. කොල්ලුපිටිය ප්‍රදේශයේ කැසිනෝ ශාලාවක රොෂානා ජගත් ඇතුළු පිරිසක්‌ කැසිනෝ ගසමින් සිටියහ. එදිනද ඔවුන්ගේ ග්‍රහයා වෙනදා මෙන්ම නීච වී තිබුණි. ඈ සන්තකයේ තිබුණ අන්තිම මුදලත් කැසිනෝ යකා ගිලගෙන තිබුණි.

ලීයෑන් ෂිංද එදින එම කැසිනෝ ශාලාව තුළ මුදල් පොලියට දෙමින් සිටියාය. එදින ඇය අත කෝටි එකහමාරකට ආසන්න මුදලක්‌ තිබුණි. සුපුරුදු පරිදි කිසිදු බියකින් තොරව ඇය සූදු ගසන්නන් සමඟ ගනුදෙනු කරගෙන ගියාය.

අන්තිම රුපියල දක්‌වා පැරදුණ රොෂානා ඇතුළු පිරිස කැසිනෝ ශාලාවේ මුල්ලකට වී කල්පනා කළේ කුමක්‌ කරන්නද කියාය. ඒ මොහොතේ රොෂානාලා සමඟ පොලිස්‌ සැරයන්වරයකුද සිටියේය. ඔහු කැසිනෝ ගැසීමට පුරුදු වූ පොලිස්‌ සැරයන්වරයෙකි. කැසිනෝ ශාලාවෙන් නොමිලයේ ලැබෙන විස්‌කි උගුරු කිහිපයක්‌ ජගත් ඇතුළු පිරිස ඒ වන විටත් අවසන් කර තිබුණි.

රොෂානාගේ සිතට එක්‌වරම අදහසක්‌ පහළ විය. ඒ ලීයෑන් ෂිංව මංකොල්ල කෑමටයි. මීට පෙරද අවස්‌ථා කිහිපයක ඇය ඒ ගැන සිතුවාය. එහෙත් නීතියට ඇති බිය නිසා ඇය එම අදහස අතහැර දැමුවාය. මෙවර රොෂානා නීතියට නොව කිසිවෙකුටත් බිය වූයේ නැත. ඒකාන්තයෙන්ම ලීයෑන් ෂිංව කොල්ලකෑමට රොෂානා ඉටා ගත්තාය. ඇය තම අදහස ජගත් ඇතුළු පිරිසට පැවසුවාය. නන්නත්තාරවී සිටි එම පිරිස දෙපාරක්‌ නොසිතා එම යෝජනාවට කැමැති වූහ. 

රොෂානා ඇතුළු පිරිසගේ අදහස වූයේ ලීයෑන් ෂිං ආපසු යන මොහොතේ ලුහුබැඳගොස්‌ අතරමඟ දී මුදල් මංකොල්ලකෑමටයි. ඒ සඳහා අවශ්‍ය සියල්ල ඔවුහු සූදානම් කරගෙන සිටියහ. රොෂානා නිතරම ලීයෑන් දෙස ඇස ගසාගෙන සිටියේය. පොලිස්‌ සැරයන්වරයා විටින් විට කැසිනෝ ශාලාවෙන් පිටත වටපිටාව ගැන විමසිල්ලෙන් සිටියේය. 

අලුයම දෙක පසුවී තිබුණි. ඒ වන විට ලීයෑන් ෂිං අත කෝටි එකහමාරකට ආසන්න මුදලක්‌ රැඳී තිබුණි. එය වෙනදාට අත රැඳෙන මුදලට වඩා විශාල මුදලකි. එම නිසා ඇය ආපසු තම නවාතැන්පළ වෙත යැමට තීරණය කළාය. ලීයෑන් ෂිං නවාතැන් ගෙන සිටියේ වැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක්‌ තුළයි. 

මෝටර් රථයකට නැගුණ ලීයෑන් තම නවාතැන්පළ වෙත යමින් සිටියාය. ඒ සමඟම රොෂානා ඇතුළු පිරිස ඇයව ලුහුබැන්දාහ. ඒ සුදුසු ස්‌ථානයක්‌ ලැබුණු විගස ඇය ළඟ තිබෙන මුදල් මංකොල්ල කෑමටයි. එහෙත් සුදුසු ස්‌ථානයක්‌ ඔවුනට මුණ නොගැසුණි. 

ලීයෑන් වැල්ලවත්තේ තම නවාතැන්පොළ වෙත ළඟා වෙමින් සිටියාය. ඇය පසුපසින් රොෂානා ඇතුළු පිරිස පැමිණියහ. ලීයෑන් නිවාස සංකීර්ණයට ඇතුළට ගොස්‌ මෝටර් රථයෙන් එළියට පය තැබුවාය. ඒ සමඟම පසුපසින් පැමිණි ජගත් ඇතුළු පිරිස ඇය බියගන්වා කෝටි එකහමාරකට අධික මුදල් ප්‍රමාණය රැගෙන පලා ගියහ. 

තත්ත්පර ගණනක්‌ ඇතුළත සිදුවූ එම සිදුවීමෙන් ඇය මහත් සේ බියට පත්වූවාය. එක්‌වරම කරන්නේ කුමක්‌ද කියා සිතා ගැනීමටවත් ඇයට නොහැකි විය. අවසානයේ ඇය පිස්‌සියක මෙන් චීන භාෂාවෙන් මොන මොනවාදෝ පවසමින් විලාප දුන්නාය. එම විලාපයට ආරක්‌ෂක අංශයේ නිලධාරීහු සහ නිවැසියන් පිරිසක්‌ පැමිණියහ. 

ලීයෑන් ෂිං ඉන්පසු ළඟම පොලිස්‌ ස්‌ථානයට ගොස්‌ සිදුවූ සියල්ල පවසා පැමිණිල්ලක්‌ දැමුවාය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීහු එම නිවාස සංකීර්ණයේ සීසීටීවී කැමරා පරීක්‍ෂා කළහ. එහෙත් එම කැමරාවල මංකොල්ලකරුවන්ගේ ඡායාරූප පැහැදිලිව සටහන් වී නොතිබුණි. එතැනින් නොනැවතුණු පොලිස්‌ නිලධාරීහු අදාළ කැසිනෝ ශාලාවලට ගොස්‌ එහි සීසීටීවී කැමරා පරීක්‍ෂා කළහ. එහිදී ලීයෑන්ව රොෂානා ඇතුළු පිරිස ලුහුබැඳ යන අයුරු පැහැදිලිව සටහන් වී තිබුණි.

එම සාක්‍ෂි පදනම් කරගෙන පොලිස්‌ නිලධාරීහු ජගත් සහ රොෂානාව මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්හ. ඉන්පසු එම සැකකාර යුවළ චීන ජාතික කාන්තාවගෙන් කෝටි එකහමාරකට අධික මුදලක්‌ මංකොල්ලකෑ අයුරු අකුරක්‌ නෑර පැවසූහ. එම ප්‍රකාශයට අනුව එයට සම්බන්ධ වූ පොලිස්‌ සැරයන්වරයා ඇතුළු අනෙකුත් පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

(උපුටා ගැනීම දිවයින )

YOU MAY ALSO LIKE