Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

"මගේ පුතා ශිෂ්‍යත්වේ පාස් වෙලා ඉල්ලුවේ බුදු පිළිම‍යක්, මගේ බෞද්ධ ආරක්ෂකයා බණ දැම්මම වැඩියෙන්ම අහන්නේ මම"-උසාවියේ ස්වාමීන් වහන්සේලාට ආසන පනවා චෛත්‍ය රැක දුන් ද්‍රවිඩ විනිසුරුවරිය

83351Views

ද්‍රවිඩ විනිසුරුතුමියක් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ප්‍රමුඛතාවය ලබා දුන් අපුරූ පුවතක් අද පුවත්පත් වාර්තා කරනවා. මේ එම කතාපුවතයි
උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි

 

උතුරු පළාතේ යාපනය දිස්‌ත්‍රික්‌කයේ නාවක්‌කුලිය දඹවල ශාන්තිපුර, යාපනයේ ඇති එකම සිංහල ගම්මානයයි. පවුල් 57 ක්‌ පදිංචි මෙම ගම්මානයේ සිංහල බෞද්ධ ජනයාගේ ආගමික කටයුතු සිදුකරන විහාරස්‌ථානය "සමිද්ධි සුමන විහාරයයි" සමිද්ධි සුමන විහාරය බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්‌ථානයකි.

පන්සලේ කුඩා විහාරයක්‌ද බෝධි ප්‍රාකාර සහිත බෝධීන් වහන්සේ නමක්‌ද, දෙතුන් සියයකට රැස්‌විය හැකි ශාලාවක්‌ද ශාලාවට යාබදව කාමර දෙකක්‌ සහ කාමර දෙකට පිටුපසින් කුඩා දාන ශාලාවක්‌ද, මෙම ගොඩනැඟිල්ලට පිටුපසින් කාමර හතරක්‌ හා නාන කාමරයක්‌ද ඇත. එමෙන්ම දාන ශාලාව අසල නාන කාමරයක්‌ සහිත අංග සම්පූර්ණ වැසිකිළියක්‌ද ඇත. 80ං 20 දෙමහල් ශාලාවක්‌ සඳහා අත්තිවාරම දමා ඇති අතර ගිහි පාර්ශ්වය සඳහා වැසිකිළි හතරක්‌ ඇත. ජල පහසුකම් විදුලි පහසුකම් ඇත. පන්සලේ ඇති ජල ටැංකියෙන් නිවාස සඳහා ජලය සපයා ඇත.

මෙම විහාරයේ අඩුවක්‌ව පැවතියේ චෛත්‍යයක්‌ හෙවත් වෙහෙර වහන්සේ නමක්‌ පමණි. විහාරස්‌ථානය අංග සම්පූර්ණ වන්නේ වෙහෙර වහන්සේ ඉදිකිරීමෙන් පසුවය. මෙම අඩුපාඩුව පිරවීම සඳහා 2017 මැයි 01 සහ මැයි 02 දා සමස්‌ත ලංකා කළණ මිතුරෝ දහම් සභාව" මුල් පිරූ අතර මැයි 14 මුල් ගල තබා චෛත්‍යයේ පාදම දමන ලදී. ඒ සඳහා වැය වූ මුදල රු. ලක්‍ෂ 7 කි. ජුනි 16, 17 දිනවල කළණ මිතුරන් එක්‌ව අඩි 9 ක්‌ පළල කළුගල් බැම්ම, අඩි 6 1/2 ක්‌ උසට බඳින ලදී. ඒ සඳහා වැය වූ මුදල රු. ලක්‍ෂ 10 ක්‌ පමණ වේ. පැය 24 පුරාම මිනිස්‌ ශ්‍රමය යොදාගෙන සිදු කළ මෙම කටයුත්ත, අතිශය දුෂ්කර විය. භික්‌ෂූන් වහන්සේලා මෙන්ම ගිහි පින්වත් පිරිස දින 2 ක්‌ තුළ කරන ලද මෙම ඉදිකිරීම සුළුපටු එකක්‌ නොවීය. 

මෙම සෑය ඉදිකිරීම සඳහා ඇස්‌තමේන්තු ගත මුදල රුපියල් ලක්‍ෂ 100 කි. 

උස අඩි 60 කින් යුත් සෑය ඉදිකිරීම සඳහා සමස්‌ත ලංකා කළණ මිතුරෝ දහම් සභාව කටයුතු කරන අතර කුරුණෑගල, පුත්තලම මුල් කරගෙන සමස්‌ත රටේම භික්‌ෂූන් වහන්සේලා සහ බෞද්ධ පින්වතුන්ගේ දරුවන්ගේ සහය ලබා ගනියි.

ඉහතින් දැක්‌ වූ පරිදි කළණ මිතුරු සෑයේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ වහාම යාපනයේ ජීවත් වන ආගම්වාදී, ජාතිවාදී කීප දෙනෙක්‌ එක්‌ව තම පටු අරමුණ ඉටු කරවා ගැනීම සඳහා චාවකච්ෙච්රි ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය පාවිච්චි කරන ලදී. චෛත්‍යය ඉදිකිරීම් සඳහා ප්‍රාදේශීය සභාවේ අවසර ගෙන නොමැති බව දන්වමින් ලේකම්තුමිය මැයි 18 දින යොදා ලිපියක්‌ එවා ඇති අතර ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස දන්වන ලදී. මැයි 19, 20 දිනවල සහ දින කීපයකට පසුව විවිධ මාධ්‍යවල මෙම පුවත පළවිය. චෛත්‍යය ඉදිකිරීම තහනම් කළ බව ප්‍රකට විය. මැයි 18 දින යොදා තිබුණද, එම ලිපිය සමිද්ධි සුමන විහාරයට ලැබුණේ ජුනි 07 දායි. ආගම්වාදී, ජාතිවාදී කුහකයන්ගේ ස්‌වරූපය මෙයින් ප්‍රකට වේ. රාජ්‍ය ආයතනයක්‌ වන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදිකරන චෛත්‍යය ඉදිකිරීම නවතන ලෙස දන්වන ලිපිය අදාළ චූදිත ස්‌ථානයට යැමට සති දෙකකටත් පෙර මාධ්‍ය වෙත නිකුත් කිරීම කුහක බව ප්‍රකට කිරීමයි.

ජුනි 07 ලිපිය ලද වහාම විහාරාධිපති පූජ්‍ය හංවැල්ලේ රතන සිරි හිමියන් ප්‍රාදේශීය සභාවට ගොස්‌ අවසර ඉල්ලූ අතර ලේකම්තුමියගේ ප්‍රකාශය වූයේ ඉදිකිරීමට එරෙහිව නඩු දමන බවකි.

කෙසේ නමුත් ජුනි 16, 17 දිනවල ඉදිකිරීමෙන් දින කීපයකට පසුව චාවකච්ෙච්රිය මහේස්‌ත්‍රාත් අධිකරණයෙන් විහාරාධිපති හිමියන්ට නොතීසී ලබා දෙන ලදී. ඒ අනුව 9 වරක්‌ බුදු රජුන්ට පූජා කළ ධර්මද්වීපය ලෙස හැඳින් වූ ලක්‌දිව භාග්‍යයවතුන් වහන්සේගේ ධාතු තැන්පත් කර ඉදිකරන චෛත්‍යයක්‌ ඉදිකිරීමට එරෙහිව මධ්‍යම රජයේ පාලනය යටතේ පවතින චාවකච්ෙච්රිය ප්‍රාදේශීය සභාව කටයුතු කළේ ඉතිහාසයට තවත් පාඩමක්‌ එක්‌ කරමිනි. ඉතිහාසයේ පළමුවරට චෛත්‍යයක්‌ ඉදිකිරීමට එරෙහිව රාජ්‍ය ආයතනයක්‌ නඩු දැමීම ඓතිහාසික සිද්ධියකි.

චෛත්‍යය ඉදිකිරීමට එරෙහි නඩුව ජුලි 07 චාවකච්ෙච්රියේ මහේස්‌ත්‍රාත් අධිකරණයේ විභාග විය. මහේස්‌ත්‍රාත් එස්‌. චන්ද්‍රසේකරන් මහත්මිය අධිකරණයට පැමිණ අසුන් ගැනීමෙන් අනතුරුව සමිද්ධි සුමන විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේ හතර නමක්‌ අධිකරණ ශාලාවට ඇතුළු වූ අතර මහේස්‌ත්‍රාත් තුමියගේ නියෝගය අනුව පොලිස්‌ නිලධාරියෙක්‌ භික්‌ෂූන් වහන්සේලා හතර නමට ආසන හතරක්‌ පෙන්වා අසුන් ගන්වන ලදී. ඇතැම් විට මහේස්‌ත්‍රාත් තුමියගේ නඩුකාර ජීවිතයේ භික්‌ෂූන් වහන්සේලා උසාවියට වැඩම කළ පළමු දවස ද විය හැකිය. භික්‌ෂූන් වහන්සේ අසුන්ගත් බව තහවුරු කරගත් නඩුකාර තුමිය ඉතා කෙටි නඩු කීපයක්‌ අවසන් කොට 10.00 ට පමණ 22319 අංක යටතේ පවරා තිබූ නඩුව විභාගයට ගන්නා ලදී.

චූදිත හිමියන් විත්ති කූඩුව අසලට යනවාත් සමඟම රෝම ලන්දේසි සම්ප්‍රදාය කුණුකූඩයට දැමූ මහේස්‌ත්‍රාත් චන්ද්‍රසේකරන් මහත්මිය රෝම ලන්දේසි සම්ප්‍රදායට වඩා 2325 වසරක්‌ පුරා ලක්‌දිව මුල්බැඳ ගත් සිංහල බෞද්ධ සම්ප්‍රදාය මුදුන් මුල්කඩ ලෙස සලකමින් විත්තිකාර හංවැල්ලේ රතනසිරි හිමියන්ට අසුන් ගැනීමට විත්ති කූඩුව අසල වෙනම ආසනයක්‌ පනවන ලෙසට පොලිසියට නියෝග කරන ලදී. පොලිසිය වහා ක්‍රියාත්මක වූ අතර අධිකරණ ශාලාවේ සිටි සියලු දෙන මෙන්ම භික්‌ෂූන් වහන්සේලාද විමතියට පත්විය.

ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය වෙනුවෙන් නීතිවේදීන් දෙදෙනකු පෙනී සිටිය අතර විත්තිකාර හිමියන් වෙනුවෙන් දමිල ජාතික නීතිඥයෙකු පෙනී සිටියේය. නීතිඥවරිය සහ නීතිඥ මහතා චෛත්‍යය ඉදිකිරීම සඳහා සභාවේ අවසරය ලබා නොමැති බැවින් ප්‍රාදේශීය සභා පනත උල්ලංඝණය කොට ඇති බැවින් මෙම ඉදිකිරීම නීති විරෝධී බවත් එය තහනම් කර කඩා ඉවත් කිරීම. ප්‍රතිපාදන ඇති බැවින් අධිකරණයෙන් ඒ සඳහා අවසර ඉල්ලා සිටියේය. විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා ද කරුණු දක්‌වමින් සමිද්ධි සුමන විහාරය බෞද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ආයතනයක්‌ බවද විහාරයට හිමි ඉඩම විහාරස්‌ථානය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් පවරා ඇති බවද පසුගිය වසර කීපයේ රාජ්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම විහාරයේ ගොඩනැඟිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කිසිදු අවසරයක්‌ ගෙන ඉදිකර නොමැති බැවින් චෛත්‍යය ඉදිකිරීම සඳහා වෙනම අවසර ලබාගෙන නොමැති බවයි. කෙසේ වූවත් ප්‍රාදේශීය සභාවේ ලිපිය ලද වහාම විත්තිකාර හිමියන් සභාවේ ලේකම්තුමිය හමු වී අවසර ලබා දෙන ලෙසට වාචිකව කළ ඉල්ලීම පැමිණිලි පාර්ශ්වයෙන්ද පිළිගෙන ඇති බැවින් සභාවේ නීති රීති අනුව අවසරයක්‌ ගත යුතු නම් ලබාගත හැකි බවද අධිකරණයට දන්වන ලදී.

නඩුව විභාග කරන අවස්‌ථාවේ අධිකරණ ශාලාවේ අපූර්ව සිදුවීමක්‌ දක්‌නට ලැබුණි. නීතිඥ මහතුන් තම පාර්ශ්වයන් වෙනුවෙන් කරුණු කාරණාවන් දක්‌වන අතර තුර මහේස්‌ත්‍රාත් තුමියට වතුර පිපාසයක්‌ ඇති විය. තම මේසය මත ඇති වීදුරුව වෙත අතයවා පීරිසය ඉවත් කර භික්‌ෂූන් වහන්සේලා දෙස බලා නැවත පීරිසියෙන් වතුර වීදුරුව වසා පොලිසියට යමක්‌ පවසන ලදී. පොලිස්‌ නිලධාරී භික්‌ෂූන් වෙත පැමිණ ගිලන් පස ගෙනෙන්න දැයි විමසීය. අවශ්‍ය නොවන බව භික්‌ෂූන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නඩුකාර තුමිය පොලිසියට නියෝග කළේ ජල බෝතල් භික්‌ෂූන් වහන්සේලාට පිළිගන්වන ලෙස. පොලිසිය භික්‌ෂූන් වහන්සේලාට පැන් පිළිගන්වන අතර නඩුකාරතුමියද තම වීදුරුවේ ඇති ජලය පානය කර පිපාසාව සන්සිඳුවා ගන්නා අයුරු දුටු විට මට සිහි වූයේ දුටු ගැමුණු මහරජතුමාය. තමන් බුද්ධ භෝග පරිභෝජනය කරන බැවින් භික්‌ෂූන් වහන්සේලා උදෙසා දානය පිළිනොගන්නවා කිසිදා තම ආහාරය දුටුගැමුණු රජ නොගනී. එක්‌දිනක්‌ මිරිස්‌ ව්‍යාංජනයක්‌ සංඝයාට නොදී භුක්‌ති විදීම නිසා තමන්ට දෙන දඬුවමක්‌ ලෙස සලකා මිරිසවැටිය චෛත්‍යය දුටු ගැමුණු මහරජු ඉදිකරන ලදී. සිංහල බෞද්ධ සංස්‌කෘතියේ සම්ප්‍රදායන්ට ගරු කරමින් නඩුකාරතුමිය අධිකරණ භූමිය තුළ කටයුතු කිරීම සිංහල බෞද්ධ විනිශ්චයකාරවරයන්ට හා රට කරවන සියලු දෙනාට මහත් වූ ආදර්ශයකි.

දෙපාර්ශ්වයේ කරුණු අත්විදීමෙන් අනතුරුව චන්ද්‍රසේකරන් නඩුකාරතුමිය දීර්ඝ දේශනයක්‌ සිදු කරන ලදී. තමා කුඩා කල බුද්ධ රූපයක්‌ දැක බුද්ධ රූපයේ සිරස පිටුපසින් විහිදෙන රශ්මි මාලාවක්‌ දැක ඒ සඳහා පැහැදී තමන්ගේ මවගෙන් මේ කවුදැයි ඇසූ බවත් අම්මා විසින් " මේ ගෞතම බුද්ධ" කියා පැවසූ බවත් එතැන් පටන් බුදු රදුන් ගැන පොත පත කියවා ධර්මය ද දැනගත් බවයි. කුඩා කල සිටම තමන් බුද්ධ ප්‍රතිමාවක්‌ වන්දනා මාන කරන ස්‌ථානයේ තබාගෙන ඇති බවත් බුදු රජුන් වහන්සේ කෙරෙහි තමන් තුළ මහත් ගෞරවයක්‌ ඇති බවය. තමන් නඩුකාර ධුරයේ කටයුතු වසර 15 ක්‌ කර ඇති බවත් තමන්ගේ ආරක්‍ෂාවට සිටින පොලිස්‌ නිලධාරියා සිංහල බෞද්ධයකු බවත් ඔවුන් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් බණ අසන බවත් බණ දැමූ විට එම දේශනා වැඩ සටහන වැඩියෙන්ම බලන්නේ තමන් බවත් එතුමිය කීවාය.

නඩුකාරතුමිය තවත් අපූර්ව කථාවක්‌ හෙළි කළාය. තමන්ගේ පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ විට තෑග්ග ලෙස කුමක්‌ ඕනදැයි ඇසූ විට බුදු පිළිමයක්‌ අවශ්‍ය බව කී නිසා බුදු පිළිමයක්‌ ගෙනවිත් දුන් බවත් ළඟදී එහි සිරස කැඩුණු බැවින් අලුත් බුදු පිළිමයක්‌ ගෙනත් දුන් බවත් ඇය කීවාය. දැන් තමන්ගේ පුතා ජීව විද්‍යාව හාදාරණ බවද තම පුතාට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක්‌ නොමැති බැවින් බුද්ධ ප්‍රතිමාව ළඟ තබාගෙන පාඩම් කරන බවත් බුද්ධ ප්‍රතිමාව දෙස බලාගෙන තම පුතා භාවනා කරන බවද එතුමිය තදුරටත් කීවාය.

තමන් හින්දු ආගමික කාන්තාවක්‌ වුවත් බුදු දහම කෙරෙහි ගෞරවයක්‌ විශ්වාසයක්‌ ඇති බවත් සෑම කෙනෙක්‌ම සියලු ආගම් කෙරෙහි ගරු කිරීම වඩාත් සුදුසු බවද ප්‍රකාශ කරන ලදී.

බෞද්ධ වේවා, හින්දු වේවා, කතෝලික වේවා, ඉස්‌ලාම් වේවා වැරදි වැඩ, නීති විරෝධී වැඩ කරනවානම් දඬුවම් දීමට තමා මැලි නොවන බවත් අද බොහෝ බෞද්ධ, හින්දු, ඉස්‌ලාම්, කතෝලික ක්‍රිස්‌තියානි අය වැරදි වැඩ කරන බවත් විනිසුරුතුමිය පැවසුවාය.

නාවක්‌කුලිය ජීවත් වන සිංහල පවුල් 57 කගේ ආගමික කටයුතු කරන සමිද්ධි සුමන විහාරයේ ඉදිකරන චෛත්‍ය මූලික අවශ්‍යතාවයක්‌ බැවින්ද කෙතරම් නීති රීති තිබුණද රජය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් 9 වන වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබා දී ඇති බැවින් මූලික නීතියට ගරු කරමින් නඩුව ඉවතට දමන ලදී. ප්‍රාදේශීය සභාවට නියෝග කර සිටියේ නීතිරීති අනුව විත්තිකාර හිමියන්ට චෛත්‍ය ඉදි කිරීමට අවශ්‍ය අනුමැතිය ප්‍රමාදයකින් තොරව ලබා දෙන ලෙසය. එමෙන්ම රජය බුදු දහමට ප්‍රමුඛතාවය ලබා දී ඇති බැවින් විත්තිකාර හිමියන් කිසිදු බැඳුම්කරයක්‌ යටත් නොකර නිදහස්‌ කරන බවද පැවසීය.

ආගම්වාදී ජාතිවාදී අන්තවාදී පටු අරමුණු ඇති මිනිසුන්ගේ එම පටු පරමාර්ථයක චාවකච්ෙච්රිය මහේස්‌ත්‍රාත් අධිකරණයේදී කුණු කූඩයට දැමූ එස්‌. චන්ද්‍රසේකරන් නඩුකාරතුමිය භික්‌ෂූන් වහන්සේලාට අවසරයි එහෙනම් හොඳයි ගිහින් එන්න බොහොම ස්‌තූතියි" කියා සමුදෙන විට භික්‌ෂූන් වහන්සේලාගේ ඇස්‌වලට කඳුළු පිරුණි. එසේ අපට කඳුළු ඉනුවේ බලාපොරොත්තු නොවූ ආකාරයෙන් නඩුකාර තුමිය සිංහල බෞද්ධ සම්ප්‍රදායට දක්‌වන ලද මහත් වූ ගෞරවය නිසාය.

 

YOU MAY ALSO LIKE