Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

"සිම්බාබ්වේ තරගාවලිය අපි ජයග්‍රහණය කරන්න තිබුණ ප්‍රතිශතය 75% ක්‌ -රේස්‌ කාරයන්ට සිම්බාබ්වේ දිනපු එක හොඳ ලාභයක්‌" අර්ජුන රණතුංගගේ ප්‍රකාශයෙන් ක්‍රිකට් යළි ගිණියම් .!

6721Views

ඉතිහාසයේ ප්‍රථම වරට දුර්වල සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක් පරාජය වී මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය ගිණියම් වූ අතර හිටපු ක්‍රීඩකයන්ගේ සහ පරිපාලකයන්ගේ වාග් ප්‍රහාර මැද්දේ  ක්‍රිකට් උණුසුම ගලා ගියා. මේ අතර 2011 ලෝක කුසලාන පරාජය, 2009 පාකිස්තානු සංචාරය වැනි මාතෘකා පවා කරළියට පැමිණියා. මෙම කතිකාවතට සක්‍රිය දායකත්වයක් සැපයූ , හිටපු නායක සහ ක්‍රිකට් සභාපති අර්ජුණ රණතුංග සිය අදහස් ඉරිදා පුවත්පතකට කියා තිබුනේ මෙලෙසයි.

 

2011 ලෝක කුසලාන තරගාවලියේ පරීක්‍ෂණයක්‌ පවත්වන්න කියල ඔබ කියනවා. එම ලෝක කුසලානයේ තරග පාවාදීමක්‌ වුන බවට පැහැදිලි කරන්න තොරතුරු ඔබ සතුව තියෙනවාද?

අර්ජුන - මම කවදාවත් කිව්වෙ නැහැ තරග පාවාදීමක්‌ එතන තියෙනවා කියලා. මම කිව්වෙ 2011 තරගයට වෙච්ච දේ ගැන හොයල බලන්න කියල විතරයි. ඒ තරගයේදී මම විස්‌තර විචාරකයකු ලෙස කටයුතු කළා. එතනදි ලොකු ලොකු දේවල් සිදුවුණා. එතනදි මම ඉන්දියාවේ ජයග්‍රහණය අවතක්‌සේරු කරන්නවත් අපේ පරාජයට හේතු කියන්නවත් ගියේ නැහැ. නමුත් සමහර තීරණ ගැන මට සැකයි. මහින්දානන්ද ඇමැතිතුමත් මේ සම්බන්ධයෙන් එයා දන්න දේවල් කිව්වා. ක්‍රිකට්‌ බලන් ඉන්න කෙනෙක්‌ හැටියට මට ලොකු කළකිරීමක්‌ සහ සැකයක්‌ එදා ඇති වුණා. නමුත් මම හිතුවා මේක මට විතරක්‌ දැනෙන දෙයක්‌ද කියල කට පියාගෙන හිටියා. අනිත් පැත්තෙන් එක එක්‌කෙනා කතා කරන දේවල් එක්‌ක මටත් ප්‍රශ්නයක්‌ තියෙනවා.

ඔබ ක්‍රිකට්‌ බලන් ඉන්න කෙනෙක්‌ට වැඩිය ඒ ගැන ගැන දන්න කෙනෙක්‌. 2011 ලෝක කුසලාන වෙනකොට ක්‍රිකට්‌ ආයතනයේ ලේකම්වරයා ඔබේ සහෝදරයා. ඔබත් එක්‌ක ක්‍රීඩා කරපු අරවින්ද තේරීම් කමිටු සභාපතිවරයා. මුරලි සහ මහේලත් කණ්‌ඩායමේ හිටියා. නායකයා සංගක්‌කාර. මේ හැමෝම ඔබ හොඳින් දන්නවා. ඒ නිසා ඔබට යම් තොරතුරක්‌ මේ අය සමග කතා කරල දැන ගන්න ලැබුණද?

අර්ජුන - මේ සම්බන්ධයෙන් මම කිසි කෙනෙක්‌ එක්‌ක කතා කළේ නැහැ. මම කිව්වෙ මට දැනෙන දේ. දැන් ඔය වේදිකාවට නැගල කියන්නෙ මහින්ද රාජපක්‌ෂ ගැන පරීක්‍ෂණ කරන්න ඕන. අරය මෙයා ගැන පරීක්‍ෂණ කරන්න ඕන කියලා. ඒ වගේ මමත් කියන්නෙ 2011 ලෝක කුසලාන ගැන පරීක්‍ෂණයක්‌ කරන්න. අර සංගක්‌කාර කියනව වගේ 2009 ලාහෝර් ප්‍රහාරය ගැනත් පරීක්‍ෂණයක්‌ තියන්න. දැන් ඉන්දියාවේ අය කියන්නෙ 1996 ලෝක කුසලාන ගැනත් පරීක්‍ෂණයක්‌ තියන්න කියලා. මම කියන්නෙ ඒකත් පරීක්‍ෂණයක්‌ තියන්න. මොකද 96 අපි අපේ වැඩේ කර ගත්තා. හැබැයි ඉන්දියාව එතනදි මොකක්‌ හරි කළාද කියන්න මම දන්නෙ නැහැ.

 ඔබ දැන් ක්‍රිකට්‌ ගැන කලකිරීමෙන් ඉන්න බවක්‌ පේනවා. මොකක්‌ද ඒකට හේතුව

අර්ජුන - ඔව් මම ක්‍රිකට්‌ ගැන කලකිරීමෙන් තමයි ඉන්නෙ. මට වැඩිය බෝල ක්‍රිකට්‌ කාරයෝ අද ගොඩක්‌ ඉන්නවනේ. ඒකනෙ මම අවුරුදු දෙකක්‌ ක්‍රිකට්‌ ගැන කතා නොකර හිටියෙ. ක්‍රිකට්‌ බැට්‌ එකක්‌වත් අල්ලලා නැති අය ක්‍රිකට්‌ කාරයෝ වෙලා ක්‍රීඩා සමාජවලට ගහපු සූදුකාරයොත් ක්‍රිකට්‌ කාරයෝ වෙලා ඉන්නවා. ඉතිං ඒ අයටත් ටික කාලයක්‌ දීල බලන්න ඕන නිසා මම කට පියාගෙන හිටියා. දැන්නම් බලන් ඉඳලා ඇති වෙලා තියෙන්නෙ.

2011 ලෝක කුසලානයේ ඔබ දකින සැකයට තුඩු දෙන දේවල් මොනව

අර්ජුන - වැඩිය ඕන නැහැ මේ රටේ 99% ක්‌ම මිනිස්‌සුන්ට මේ පරාජය සැකයක්‌ තිබුණා. මම 2011 මැච් ෆික්‌ෂින් තිබුණා කියන්නෙ නැහැ. කණ්‌ඩායමේ පහක්‌ විතර වෙනස්‌ වුණා. කාසියේ වාසිය දෙපාරක්‌ දැම්මා. මුරලිදරන් හිටියෙ අසනීප තත්ත්වයෙන්. එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව වගේ රටක්‌ එක්‌කනම් මුරලි 25% ක්‌ ෆිට්‌නම් ගැස්‌සුවට කමක්‌ නැහැ. ඉන්දියාව වගේ රටක්‌ එක්‌ක ගහන කොට එයා ෆිට්‌ නැතිනම් මම නායකයා නම් ගස්‌සවන්නෙ නැහැ. නමුත් සංගක්‌කාරට මට වඩා මොළයක්‌ තියෙන නිසා එහෙම කළාද දන්නෙ නැහැ. මම එතනදි බැලුවෙ මම නායකයා විදිහට මොනවද කරන්නෙ කියල. 96 දී මම අනිත් 14 දෙනාත් එක්‌කම කතා කරල අපි අපේ වැඩේ කර ගත්තා.

ඔබ ක්‍රිකට්‌ නිසා තමයි ජනප්‍රිය වුණේ. ඒ වගේම ඔබ රටේ වගකිව යුතු අමාත්‍යවරයෙක්‌. ඒ නිසා ඔබට යුතුකමක්‌ තියෙනව නේද ක්‍රිකට්‌ වෙනුවෙන් අසාධාරණයක්‌ වෙනවනම් සාධාරණය කරන්න.

අර්ජුන - මම ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපතිටයි අගමැතිටයි මේ සියලු දේවල් ලිතව භාරදෙනවා. මම රටේ වගකිව යුතු දෙන්නව දැනුවත් කරාට පස්‌සෙ තීන්දු ගන්න එක ඒ අයගෙ යුතුකමක්‌. එතකොට රටේ මිනිස්‌සු කියයි අර්ජුන එයාගෙ යුතුකම කළා කියලා.

ඔබට එහෙම කියල අත පිස දාගන්න පුළුවන්ද. මොකද ඔබ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාගේ ආණ්‌ඩුවෙනුත් එළියට බැස්‌සෙ මේ ක්‍රිකට්‌ නිසා නේද?

අර්ජුන - ඔව්. ක්‍රිකට්‌ හෝ රටේ වෙන කිසි දෙයකට හෝ අසාධාරණයක්‌ වෙන වෙලාවක මම ආණ්‌ඩුවේ එක විනාඩියක්‌වත් ඉන්නෙ නැහැ. මට පක්‍ෂ පාට නැහැ. මේ තනතුරු වාහන වැඩක්‌ නැහැ. මම පක්‍ෂ තුනකින් දිස්‌ත්‍රික්‌ තුනකින් ඡන්දෙ ඉල්ල දිනලා තමයි පාර්ලිමේන්තුවේ අවුරුදු 15 ක්‌ ඉන්නෙ. මට තියෙන්නෙ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න. ඒ නිසා කාලයට ඉඩ දීලා බලමු. 

ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ඔබ දකින තව අඩුපාඩු මොනවද 

අර්ජුන - ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගෙ මානසිකත්වය බින්දුවටම දාලා. පුහුණුකරුවන් පිට රටින් ගෙනල්ලා. ගිය නිලවරණයෙන් පස්‌සෙ කී දෙනෙක්‌ට රස්‌සාව දීලා තියෙනවද. ඒගොල්ලන්ට ඡන්දෙ දුන්න අයට රස්‌සා දුන්නා. ක්‍රීඩා සමාජවල ගොඩක්‌ අය දන්නෙ නැහැ මේ අයට ඡන්දෙ දෙන්නෙ මොකද කියලා. 2008 දී මම හිටපු ටික කාලයේදී ක්‍රිකට්‌ දිනුවා. ක්‍රිකට්‌ ආයතනය ලාභ ලැබුවා. මම කියන්නෙ නැහැ මේක මට දෙන්න කියලා. හරි පුද්ගලයකුට දැන් මේක භාර දෙන්න ඕන නැතිනම් ක්‍රිකට්‌ විනාශ වෙනවා. දැන් අතුරු කමිටුවක්‌ පත්කරන්න කාලය ඇවිල්ලා.

 ඔබේ යහපාලන ආණ්‌ඩුවෙන් ක්‍රිකට්‌ වලට නරක දසාවක්‌ උදාවුණා කියල චෝදනා කරනවා නේද?

අර්ජුන - ඔව් මේ යහපාලනය තමයි ක්‍රිකට්‌ නැති කළේ. මහින්ද මහත්තයගෙ කාලෙත් ක්‍රිකට්‌වලට දේශපාලන අතගැසීම් ආවා. නමුත් මෙච්චර විනාශයක්‌ වෙන්න මහින්ද මහත්තයා සහ ක්‍රීඩා ඇමැතිවරයා වූ මහින්දානන්ද ඉඩ දුන්නෙ නැහැ. ඒක මම ඕනම තැනක කියනවා. ක්‍රිකට්‌ විනාශම වුණේ මේ යහපාලනයෙන්.

යහපාලනයෙන් ක්‍රිකට්‌ විනාශ වුණේ මොන ආකාරයටද? 

අර්ජුන - ක්‍රිකට්‌ පිළිබඳව මානව හිමිකම් එකට පැමිණිල්ලක්‌ දාලා ඒකේ වාර්තාවත් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක අත්සන් කරල එළියට දාන්නෙ නැහැ. මොකද මම ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ගිය කෙනෙක්‌. ලිස්‌ට්‌ එකෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා ක්‍රිකට්‌ ආයතනයට ඇවිල්ලා ඉන්න අයට ඊට වඩා බලයක්‌ තියෙනවනම් ඒක යහ පාලනයේ ප්‍රශ්නයක්‌. ක්‍රිකට්‌ ක්‍රීඩාවට සුදුව නැහැ කියල කියන්න බැහැ. මම ඉල්ලීමක්‌ කරනවා ඉදිරියේදී පසුගිය සිම්බාබ්වේ තරගාවලියේදී ඔට්‌ටුදාන තැන්වල තියෙන ලාභය කොපමණද කියල හොයන්න කියලා. සිම්බාබ්වේ ජයග්‍රහණය කරන්න තිබුණ ප්‍රතිශතය 25% ක්‌. අපි ජයග්‍රහණය කරන්න තිබුණ ප්‍රතිශතය 75% ක්‌. රේස්‌ කාරයන්ට සිම්බාබ්වේ දිනපු එක හොඳ ලාභයක්‌. මේව තමයි ජනාධිපති, අගමැති සහ ක්‍රීඩා ඇමැති හොයන්න ඕන. මම මෙච්චර කල් කට පියාගෙන හිටියා. දැන් මම සති දෙකක්‌ ඇතුළත ජනාධිපතිට සහ අගමැතිට කියනවා. ඔච්චර හිතවත් අරවින්ද ද සිල්වාත් පරිපාලනයේ නෑ. සමහර අයට ආදායමක්‌ ලැබෙන නිසා එතන හිටියට මම මුකුත් කියන්නෙ නැහැ. හැබැයි ඒ අය යනකොට මම කිව්වා ඔයාලට ඔතන කොච්චර කල් ඉන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ කියලා. ස්‌වෙච්ඡාවෙන් වැඩ කරන අය කීදෙනාද ඉන්නෙ. තේරීම් කමිටුවේ ඉන්න අයට ඇයි මුදල් ගෙවන්නෙ. කණ්‌ඩායමක්‌ තෝරන්න මුදල් ගෙවන්න ඕන නැහැ. මිලියන විස්‌සකින් කොටසක්‌ තෝරන්න මුදලක්‌ ගෙවන කොට ඒ අතරින් තව කෙනෙක්‌ ඊට වැඩිය ගාණක්‌ දීලා මෙයාව තෝරන්න කිව්වොත් මොකද වෙන්නෙ. අපේ කාලේ දුලිප් මෙන්ඩිස්‌, රෝයි ඩයස්‌, අසන්ත ද මැල්, ස්‌වෙච්ඡාවෙන් වැඩ කළේ. පත්තරවලත් ක්‍රිකට්‌ ඔට්‌ටු යනවා. අපි හැමෝම දන්නව මේ ඔට්‌ටුදාන ආයතන කාගෙද කියලා.

2009.03.03 පකිස්‌තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන පරීක්‍ෂණයක්‌ කරන්න කියල සංගක්‌කාර කියල තියෙනවා. මේ සංචාරය ඔබ යොදා ගත් එකක්‌ නේද?

අර්ජුන - 2008 වසරේ මම ආසියානු ක්‍රිකට්‌ කවුන්සිලයේ සභාපති. පකිස්‌තානු සංචාර දෙකක්‌ තිබුණා. එකක්‌ එක්‌දින සංචාරයක්‌. ඔය බෝම්බෙ ගහන කාලේ ක්‍රිකට්‌ ආයතනය පාලනය කළේ එස්‌. ලියනගම. ඊට ඉස්‌සල්ල පකිස්‌තානයේ තිබුණා ආසියානු කුසලාන තරගාවලිය. අපි ආසියානු කුසලාන දිනල එනකොටම චාලි ඔස්‌ටින්ගෙ කණ්‌ඩායම මට ලියුමක්‌ ලියන දුන්නා එංගලන්ත සංචාරය අවලංගු කරන්න කියලා. ඒ ලියුමම තමයි ක්‍රීඩා ඇමැති හිටිය ගාමිණී ලොකුගේ ගාවට මේ කට්‌ටිය අරගෙන ගියේ. ඉංග්‍රීසියෙන් ලියලා තිබුණේ. මම දන්නෙ නෑ ලොකුගේ ඇමැතිවරයා කොහොම ඒක කියෙව්වද කියලා. ඊට පස්‌සෙ තමයි එයා මට කතා කරල කිව්වෙ මේ අයට යන්න දෙන්න කියලා. මම කිව්වා ඇමැතිතුමා ඔලුවෙන් හිටගෙන කිව්වත් මම මේකට යන්න දෙන්නෙ නැහැ රටට ලොකු විනාශයක්‌ වෙන්නෙ කියලා. මට වැඩි කල් ඉන්න හම්බ වුණේ නැහැ. ඊට පස්‌සෙ තමයි ඔය සංචාර දෙකම ගියේ. මම කියන්නෙ ඒකත් පරීක්‍ෂණයක්‌ කරන්න කියලා.

හැබැයි අයි.පී.එල්. ගහන කොටත් බෝම්බ යනවනෙ. එතකොට අයි.පී.එල්. යන්න බැහැ කියල ඔය කතා කරන මහත්වරු කියලා නැහැ නේද. දැන් සංගක්‌කාර මහත්තයා එංගලන්තයේ කවුන්ටි ගහනවනෙ. එතකොට එංගලන්තයේ ඇටෑක්‌ තුනක්‌ විතර ගියා. සංගක්‌කාර මහත්තයා සල්ලි දෙනකොට බෝම්බ ගහනව කියල ක්‍රිකට්‌ ගහන්න හොද නැහැ කියල කියන්නෙ නැහැ. හැබැයි ඒ වෙලාවෙ ශ්‍රී ලංකා සංචාරයක්‌ තිබුණනම් කියයි මේක ටිකක්‌ පරිස්‌සම් වෙන්න කියලා. මේ වගේ කුහක වෙන්න හොඳ නැහැ. ක්‍රීඩකයෝ ඉන්න ඕන රට ගැන හිතන්න. රටේ ක්‍රිකට්‌ ගැන කතා කරනවද. කොහෙද යන එංගලන්තයේ ඒජන්තකාරයෙක්‌ව ආරක්‌ෂා කරන්න කතා කරනවා. මම කැමැති නැහැ වැඩිය ක්‍රීඩකයෙක්‌ව විවේචනය කරන්න. හැබැයි ක්‍රිකට්‌ වැටීමට 2009 සංචාරය හෝ 2011 ලෝක කුසලාන නෙමෙයි ප්‍රධාන හේතුව. ක්‍රිකට්‌වලට සුදුකාරයෙක්‌ ගේන්න යහපාලනය අවසරය දුන්න එක තමයි ප්‍රධානම හේතුව. මම හරි කලකිරිලා ඉන්නෙ ක්‍රිකට්‌ වලට වෙලා තියෙන දේ ගැන. ජනාධිපතියි අගමැතියි මගෙන් මේ ගැන අහලත් නැහැ. මම කියන්න ගිහිල්ලත් නැහැ. ඉදිරියේදි වෙන කවුරු හරි ඇවිල්ල මට කිව්වොත් මේක හදල දෙන්න කියල මම හදනවා. 

 ක්‍රිකට්‌ නිසා ඔබ ආණ්‌ඩුවෙන් යන්න වුණත් බැරි නැහැ නේද?

අර්ජුන - කාලයට දෙමු ඒක තීරණය කරන්න. දැන් ක්‍රිකට්‌ ලේබල් සුදුවක්‌ බවට පත්වෙමින් තියෙනවා. මේක රටට පෙන්වන එක මගේ යුතුකම. මම එතකොට ණය කාරයෙක්‌ නෙමෙයි. හරි කාලය එනකොට මම තීරණ ගන්න කෙනෙක්‌. විශේෂයෙන් ක්‍රීඩාව වෙන්න පුලුවන්. වෙන දේවල්වලට වෙන්න පුලුවන්. 

ක්‍රිකට්‌ කළමනාකරුවන්ගෙ මාෆියාවක්‌ තියෙනවද?

අර්ජුන - මම ඉන්න කාලෙ කළමනාකරුවන්ට දඟලන්න දුන්නෙ නැහැ. චාලි ඔස්‌ටින් නිසා ක්‍රිකට්‌ විනාශ වෙන්නෙ නැහැ. ඒක එක සාධකයක්‌. ඒ පුද්ගලයන්ට වැඩිපුර ක්‍රීඩකයන් ඉන්න නිසා අනවශ්‍ය බලපෑම් එන්න පුළුවන්. මේවායින් ක්‍රිකට්‌ කණ්‌ඩායම ඇතුලෙ සමගිය නැතිවෙනවා. මම ඉන්න කාලයේ මේවට නීති ගෙන්න හැදුවා. කළමනාකරු සල්ලි හොයල දෙන්න අර රට බීම ඇඩ් එකට ඉන්න කිව්වොත් ක්‍රීඩකයෝ ඉන්නවා. එතකොට ඒක ළමයින්ට හොඳද නැද්ද කියලවත් හිතන්නෙ නැහැ. සල්ලි දෙනවනම් ඕන එකක්‌ හොඳයි. ඒ නිසා කළමනාකරුවන්ට 10% දෙන්න හොඳ නැති දේවල් කරන්න හොඳ නැහැ.

1996 ක්‍රිකට්‌ සභාපති ආනා පුංචි හේවා ලෝක ශූරතාව දිනපු ගමන් වෙනස්‌ වුණා. එතැන් සිට 99 වෙනකොට ඔබේ කණ්‌ඩායම පරාජය වුණා. ඒ වගේ කාලයක්‌ නේද මේකත්

අර්ජුන - 96 දින්න ගමන්ම ආනා පුංචිහේවාව අයින් කරල වෙන කණ්‌ඩායමක්‌ ආවා. අපි පරිපාලනය කළේ නැහැ. කළේ ක්‍රීඩාව. ඒ කාලයේ ක්‍රීඩකයන්ව බේද බින්න කරන්න එක එක දේවල් ආවා. නමුත් 96 දිනුව ගමන් අපි පිතිකරු ස්‌ථානවලින් පල්ලෙහාට ගිහිල්ල නවකයන්ට ඉස්‌සරහින් ගහන්න අවස්‌ථාව දුන්නා. මහේල, ඩිල්ෂාන්. ආනල්ඩ්. මාවන්ලා සහ සනත්ලව එහෙම තමයි අපි හැදුවෙ. ඒ අයට ආරක්‌ෂාවක්‌ ලබල දුන්නා. 2011 සංගක්‌කාරයි මහේලයි ඉවත්වෙන කොට චන්දිමාල් සහ තිරිමාන්න හොඳට හැදීගෙන ආවා. ඒ අයව හැමතැනම ක්‍රීඩා කෙරෙව්වා. අපි ඒ අයට දුන්න චාන්ස්‌ එක චන්දිමාල්ලට දුන්නෙ නැහැ. ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට කණ්‌ඩායම ගොඩ ගැනීමේ අරමුණක්‌ තිබුණෙ නැහැ.

අපි එන කාලෙ දුලිප් සහ රෝයි ඩයස්‌ තමයි හොඳ පිතිකරු යාන්ත්‍රණය. ඊට පස්‌සෙ මටයි අරවින්දටයි ඒක පුරුදු කළා. පස්‌සෙ මාවන්ලා සනත්ලා ඒ තැන ගත්තා. ඊට පස්‌සෙ සංගක්‌කාරයි මහේලයි. හැබැයි ඒ අය යන කාලේ කාවවත් හදල ගියේ නැහැ.

 ඔබ තේරීම් කමිටුව ගැන කතා කළා. සනත් ජයසූරිය ගැනත් ඔබට කල කිරීමක්‌ තියෙනවාද?

අර්ජුන - ඔව් මට සනත් ගැන කලකිරීමක්‌ තියෙනවා. එයාව අපි කොච්චර පරිස්‌සම් කළාද ඒ කාලේ. එයාව පරිස්‌සම් කරන්න ගිහිල්ල කොච්චර බැණුම් ඇහුව්වද. දැන් ක්‍රීඩකයෝ හතළිස්‌ ගාණක්‌ ගෙනල්ලා තියෙනවා පසුගිය කාලයේ. ඒ කාලයේ එයාට කළ දේ දැන් අයට කරන්නෙ නැහැ.

ඔබත් 2001 දී තිලංග සුමතිපාල සමග තරග කරල පරාජය වුණා. ඒකද මේ තරහ තියෙන්නෙ.

අර්ජුන - මම සූදුකාරයෝ ක්‍රිකට්‌ වලට එනවට කැමැති නැහැ. ක්‍රිකට්‌ මාෆියාව මුදලාලිගෙන් අයින් කරන්න බැහැ. මොකද මුදලාලිලා ඡන්ද ගන්න පිට රට සංචාර දෙනවා. එක එක ගෙවීම් කරනවා. පගාව නීතිමය විදිහට දෙන ක්‍රමවේදයක්‌ එයාල හදාගෙන තියෙනවා. මේ මුදලාලි ප්‍රජාව ආපු ගමන් අසූචි ගොඩට නිල මැස්‌සෝ වගේ වටේ ඉන්න කට්‌ටියට එතන්ට එකතු වෙනවා. මට 2001 දී තිබුණෙ ඡන්ද හතයි. ඒකෙන් එක ඡන්දයක්‌ දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ. එයා එතකොට පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ සංගමයේ ක්‍රිකට්‌ සභාපති. වෙන කෙනෙක්‌ ආවොත් මට ඡන්දය දෙන එකක්‌ නැහැ කියල ඇවිල්ලම ඡන්දය දීලා ගියා. මටත් ඔය 2001 නිලවරණයේදී හතර පස්‌දෙනෙක්‌ කතා කරල ඇහුව්වා ඡන්දෙ දෙනවට කීයක්‌ දෙනවද කියලා. මම ඇහුව්වා මොකටද කියලා. ඒ අය කිව්වා අපිට අනිත් එක්‌කෙනානම් දෙනව කියලා. මම කිව්වා අනිත් එක්‌කෙනා එන්නෙ ක්‍රිකට්‌ හදන්න නෙමෙයි කියලා. 

 එදා සහ අද ක්‍රිකට්‌ වෙනසට හේතුව මොකක්‌ද

අර්ජුන - අපේ කාලෙ ක්‍රිකට්‌ වෙනස්‌. අද කාලේ ක්‍රීඩකයන්ගෙ මනස වෙනස්‌. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ තමයි නවකයන්ගෙ මනස වෙනස්‌ කරන්නෙ. ඒජන්ත දෙන හැමදේම කරනවද කියල අපි තීරණය කරන්න ඕන. මට තියෙන්නෙ එක්‌දින ශතක 4යි. ටෙස්‌ට්‌ තරග ශතක 4 යි. මම ලෝක කුසලානයක්‌ දිනවල තියෙනවා. අරවින්දල මුරලිලා ලෝක වාර්තා තියන්න ගියේ නැහැ. කණ්‌ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. ඒ තත්ත්වය තමයි ඇති කරන්න ඕන.

 ක්‍රීඩා නීතියක්‌ තියෙනව නේද? ඒ නිසා ඔය කියන විදිහට නුසුදුසු අයට ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයට එන්න අවස්‌ථාවක්‌ නැහැනෙ?

අර්ජුන - ක්‍රීඩා නීතියේ තියෙනව කොයි අයටද නිලවරණවලට එන්න පුළුවන් කියලා. මහින්දානන්ද මැතිතුමා ඒකයි එදා මේ අයට එන්න දුන්නෙ නැත්තෙ. මේ ආණ්‌ඩුවට ක්‍රිකට්‌ හදන්න අවශ්‍යද කියන එක මටත් ප්‍රශ්නයක්‌

 

-උපුටා ගැනීම ඉරිදා දිවයින පුවත්පතෙනි-

YOU MAY ALSO LIKE

 
×