Wednesday, September 20, 2017
Hotline - 0770586666

"සිංහලයන් වෙනුවෙන් කවුරුත් පෙනී නොසිටීම ගැන මට විශාල දුකක්‌ ඇති වූවා- මම ජනතාවත් සමඟ පයින්ම සාක්‍ෂි දීමට ගියා,සේරුවිල ආසනය ලබා ගන්න කතා කළේ මමයි" ඇල්ලේ ගුණවංශ හිමියෝ ෆීල්ඩ් මාෂල්වරයාගේ චෝදනා වලට පිළිතුරු දේ .!

7498Views

මෙරට ජාතිකවාදී දේශපාලන මතය නියෝජනය කරන පිරිස අතර පෙරමුණේ සිටිනා ඇල්ලේ ගුණවංශ හිමි පිළිබදව ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා සිදු කළ ප්‍රකාශයක් පසුගිය දිනවල කතාබහට ලක්වුනි
එම ප්‍රකාශය හා වත්මන් දේශපාලනය පිළිබදව ඇල්ලේ ගුණවංශ හිමියන් ඉරිදා පුවත්පතක් සමගින් කතාබහකට එක් වෙමින් අදහස් දක්වා තිබුනා.
එම සංවාදය පහතින්

ප්‍රශ්නය- හිටපු හමුදාපතිවරයකු සහ අමාත්‍යවරයකු වන සරත් ෆොන්සේකා මහතා ඔබ වහන්සේ අනුන් කරපු දේවල් වෙනුවෙන් පෙනී සිටින බවත්, චීවරධාරියකු බවත්, පිස්‌සකු බවටත් චෝදනා කර තිබෙනවා. එම චෝදනාව පිළිබඳව ඔබ වහන්සේට මොනවද කියන්න තිබෙන්නේ.

පිළිතුර- මිනිසුන් යම් යම් හේතු නිසා යම් යම් ප්‍රකාශ කිරීමට පුළුවන්. නමුත් මම නම් ඒ තත්ත්වයට වැටෙන්න කැමැති නෑ. ෆොන්සේකා මහතා කතා කරල තිබෙන්නේ හරියට කරුණු නොදැනයි. ඔහුත් මේ පන්සලට ආව ගිය කෙනෙක්‌. ඔහු සිරගෙදර සිටියදී ඔහුත් සමඟ ඒ දවස්‌වල දේශපාලනය කළ ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමා මාත් සමග යම් යම් පණිවුඩ හුවමාරු කරගත්තා. කෘතගුණ නොදන්න එක ගැන මට කරන්න දෙයක්‌ නෑ. කෙළෙහි ගුණ දන්නා මිනිසුන් ලෝකයේ අඩු බව බුදුන්වහන්සේ දේශනා කරල තිබෙනවා. ඒ ගැන මම ඊට වඩා කතා කරන්න කැමති නෑ.
එහෙත් තවත් කාරණයක්‌ සඳහන් කළ යුතුයි. ඔහුගේ එම ප්‍රකාශය නිසා මට අවස්‌ථාව ලැබුණා, මේ රටේ ජනතාව මම ගැන කොතරම් උනන්දුද කියල දැන ගැනීමට. ඔබ මෙම ස්‌ථානයට පැමිණියාට පසුව දුරකථන ඇමතුම් කීයක්‌ ආවද? එදා (7 දා) උදේ ඉඳල විශ්‍රාම ගිය හමුදාපතිවරු ඇතුළුව විශාල පිරිසක්‌ ඇඬූ කඳුළින් මේ පන්සලට ආවා. මුළු හමුදාව වෙනුවෙන් අපට සමාවෙන්න කියලා ඒ අය කිව්වා. රට පුරා විසිරී සිටින භික්‍ෂූන් වහන්සේලා සිවිල් සංවිධානවල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක්‌ ඊයේ රෑ සිට මට දුරකථනයෙනුත් අමතා මේ පිළිබඳව විමසා සිටියා. ඒ සියලු දෙනාටම මම පිං දෙනවා.

ප්‍රශ්නය- "ජයග්‍රහණයට පියවරු බොහෝ සිටින බව සඳහන් වනවා" සරත් ෆොන්සේකා මහතා සඳහන් කරල තිබෙනවා යුද්ධය ජයගෙන රටට සාමය උදා කළේ ඔහු බව. යුද්ධය ආරම්භ කළ සමයේ සිට ඒ පිළිබඳව සමීපව කටයුතු කළ ඔබවහන්සේට පෙනෙන ආකාරයට යුද ජයග්‍රහණයේ පියා කවුද?

පිළිතුර- මේ යුද්ධයේ ජයග්‍රහණය එක පුද්ගලයකුට පවරන්න බෑ. එහෙම නම් මමත් කොටස්‌කරුවෙක්‌ නේ. මෙම ජයග්‍රහණයේ කොටස්‌කරුවන් වන මාධ්‍යවේදීනුත් සිටිනවා නේ. මේ රටේ අක්‌මුල් තිබෙන ජනතාව ඔවුන්ගේ ශක්‌ති ප්‍රමාණයෙන් යුද ජයග්‍රහණය සඳහා තම සහයෝගය ලබා දුන්නා. බෝධි පූජා පවත්වපු, සෙත්කවි කියපු පිංවතුන් පවා මෙම යුද ජයග්‍රහණයේ කොටස්‌කරුවන්.

යුද්ධය පැවැති සමයේදී මාස 3 කට හෝ වරක්‌ ලොරි 5 ක පමණ බඩු මම එම ප්‍රදේශවලට ඇරල තිබෙනවා. එක්‌ අවස්‌ථාවකදී ලයනල් බලගල්ල මහතා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා එක්‌ මෙහෙයුමකදී සෙබළුන් ගොඩක්‌ තුවාල සිදුවී ඇති නිසා ලේ අවශ්‍ය බව. එම අවස්‌ථාවේදී මම දකුණු පළාත දක්‌වා ගොස්‌ විශාල ලේ පයින්ට්‌ ප්‍රමාණයක්‌ එකතුකර ඉල්ලූ වෙලාවටත් පෙර ලබා දුන්නා. තවත් අවස්‌ථාවකදී හමුදා සෙබළුන් සඳහා යට ඇඳුම් 50000 ක්‌ ඉල්ලුවා. ඒ මෙහෙයුමත් යද්දී එකම යට ඇඳුම් ඇඳන් ඉඳල සෙබළුන්ගේ ඉකිලි ප්‍රදේශය නරක්‌ වී තිබුණ නිසා. එම අවස්‌ථාවේදී මගේ හිතවතුන්ගේ මාර්ගයෙන් යට ඇඳුම් 70000 ක්‌ පමණ ලබා දුන්නා. තවත් අවස්‌ථාවකදී මම තුවායක්‌, රේසරයක්‌, සබන් කෑල්ලක්‌, සරමක්‌, කණ්‌ණාඩියක්‌, සෙරෙප්පු කුට්‌ටමක්‌ ඇතුළත් පාර්සල් ලොරියක්‌ සූදානම් කළා. සූදානම් කරල එම පාර්සල් ඇරීමට සූදානම් කළ ප්‍රදේශයේ ආඥපතිට කතා කළා. එදා තමයි මම ජගත් ජයසූරිය මහතාට කතා කළේ. ඒ වෙනකොට මම ඔහුව දැකලවත් තිබුණේ නෑ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේදී යුද්ධය කරන්න සෙබළුන් නැහැ කියල කිව්වහම තරුණයන් හමුදාවට බඳවන්න මම කටයුතු කළා. මම මොනවද කළේ කියන එක මේ රටට ආදරය කරන මිනිසුන්ගේ හිතේ තිබෙනවා. එම නිසා මම මොකටද ඒවා ආයෙත් කියන්නේ?

ප්‍රශ්නය- ෆොන්සේකා මහතා ඔබවහන්සේව දැඩි ලෙස හෙළා දැකීමට හේතුව කුමක්‌ විය හැකිද?

පිළිතුර- පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මම ටිකක්‌ සැරට කතා කළා. සමහර විට ඒකට රිදිලද දන්නේ නෑ. නමුත් මම කාටවත් චෝදනා කළේ නෑ. මම මෙතෙක්‌ කල් බරපතළ ලෙස චෝදනා කළේ එල්ටීටීඊ සංවිධානයට පමණයි. නමුත් කාටවත් මම නින්දා සහගත ලෙස කතා කරල නෑ. එහෙම කරන්න අවශ්‍ය නෑ. ෆොන්සේකා මහතාත් අපේ ගම් පළාතේ කෙනෙක්‌ නේ. ඒකත් මගේ ඔළුවේ තිබෙනවා. ඔහුත් මේ පන්සලට ආවා ගියා. නමුත් මම ඔහුගේ ගෙදරට ගිහින් නෑ. මම ගෙවල්වලට නොගියට හමුදා සෙබළුන් බැලීමට නම් ගිහින් තිබෙනවා.

ප්‍රශ්නය- ෆොන්සේකා මහතා ඔබ වහන්සේට හමුවී තිබෙනවාද?

පිළිතුර- ෆොන්සේකා මගේ පන්සලට ඇවිත් තිබෙනවා. දවසක්‌ මහින්ද රාජපක්‍ෂ මහතා, ජෙයරාඡ් ප්‍රනාන්දු පුල්ලේ මහතා හදපු පන්සලේ උත්සවයකට යන්න මේ පන්සලට එනකොට ෆොන්සේකා මහතාත් මේ පන්සලේ හිටියා. හමුදාපති ලෙස පත්වීමෙන් පසුවත් ආවා. ඒ නිසා මම වැඩිය මුකුත් කියන්න කැමැති නෑ. මට අහන්න තිබෙන්නේ ඇයි මේ කියන එක තමයි.

ප්‍රශ්නය- හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා යුද අපරාධ කර ඇතිබවට සරත් ෆොන්සේකා මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්‌ද?

පිළිතුර- ෆොන්සේකා මහතාට කීර්තිය, ගෞරවය, පිළිගැනීම ලැබිල තිබෙන්නේ හමුදාව නිසානේ. මට හිතා ගන්න බැරි ඒ හමුදාවේ අය පිළිබඳවම එහෙම හිතන්නේ ඇයි කියන එක. එම නිසා එම ප්‍රකාශයන් පිළිබඳව මට එකඟවෙන්න බෑ.

ජගත් ජයසූරිය මහතාත් අපේ ගම් පළාතේ කෙනෙක්‌. ඔහු වන්නි ආඥපති ලෙස සිටියදී මම සෙබළුන්ට පුංචි ලියුමක්‌ සමග පුංචි පාර්සලයක්‌ අලුත් අවුරුද්දට ඇරියා. ඒ ලියුම ලියුවේ පොඩි දරුවන් ලවා. "මාමේ අපි ඔබ දිහා බලන් ඉන්නවා කියල තමයි ලියුවේ"

ප්‍රශ්නය- ඔබ වහන්සේගේ මැදිහත්වීමෙන් පවත්වාගෙන යන ලක්‌විරු සෙවණ පිළිබඳව ෆොන්සේකා මහතා දන්නේ නැද්ද?

පිළිතුර- ලක්‌විරු සෙවණේ එක්‌ උත්සවයකට මම එතුමාට ආරාධනා කළා. නමුත් ආවේ නෑ. නාපු හේතුව මම දන්නවා. නමුත් එදා ෆොන්සේකා මහතාගේ ගුරුවරයකු වගේ සිටින විශ්‍රාමික ජනරාල් එම්. ඩී. ප්‍රනාන්දු මහතා, අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතා, ලලිත් වීරතුංග මහතා, ජෝ අබේවික්‍රම මහතා ඇතුළු පිරිසක්‌ සහභාගී වූවා.

ඇත්තටම හමුදාවේ නාපු කෙනෙක්‌ නෑ අපේ පන්සලට. ෆොන්සේකා මහතාටත් පෙර, ජානක පෙරේරා මහතා අපේ පන්සලට ආව ගියා. ඒ වගේම විජය විමලරත්න, ලකී අල්ගම, තිස්‌ස විඡේරත්න වගේ මහත්වරුත් ආව ගියා.

එක්‌ අවස්‌ථාවකදී ලකී අල්ගම මහතා ඇතුළු පිරිසක්‌ ඇවිත් මාව මුණගැසුණා. ඒ නව නගර ශාලාවේ පැවැති හමුදාවට එරෙහි රැස්‌වීමක්‌ පිළිබඳව කතා කරන්න. ඔවුන්ට අවශ්‍ය වී තිබුණා හමුදාවට විරුද්ධව එම රැස්‌වීම පැවැත්වීම නතර කර ගැනීමට. මම එම අවශ්‍යතාවය ඉටුකර දුන්නා. එදා තමයි, හේන්පිටගෙදර ඥනසීහ හිමියන්ගේ ආදාහන උත්සවය තිබුණේ.

ප්‍රශ්නය- සරත් ෆොන්සේකා මහතා හමුදාපති ලෙස සිටි සමයේදී විදේශීය මාධ්‍යයකට මේ රට සිංහලයන්ට අයිති බවට ආන්දොaලනාත්මක ප්‍රකාශයක්‌ කළා.

එහෙම ප්‍රකාශ කළ ෆොන්සේකා මහතා අද දවසේ කරන කටයුතු පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්‌ද?

පිළිතුර- මම මොකුත් කියන්න කැමති නෑ. මොකද අද ඔහු කිව්වොත් මේක සිංහලයන්ට අයිති රටක්‌ නෙවෙයි කියල. එම නිසා මම කැමැති නෑ ඔහුගේ ප්‍රකාශ පිළිබඳ කතා කරන්න.

ප්‍රශ්නය - ජයග්‍රාහී යුද්ධයේ හමුදාපති ලෙස සරත් ෆොන්සේකා මහතාට විශාල කීර්තියක්‌ අත්වූවා. නමුත් එතුමා දැන් කරන ප්‍රකාශ නිසා එම කීර්තියටත් විශාල හානියක්‌ වන බව පෙනෙන්න තිබෙනවා.

ඒ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්‌ද?

පිළිතුර - මටත් කනගාටු ඒ පිළිබඳව තමයි. ඒ වගේම එක්‌සත් ජාතික පක්‍ෂයටත් විශාල හානියක්‌ සිද්ධ වූවා. පෙරේදා (05 දා) ජනාධිපතිතුමා මට කතා කළා. එම අවස්‌ථාවේදී 'මම සඳහන් කළා'. මේ ආණ්‌ඩුවේ ප්‍රධානීන් විවිධ අයට විවිධ චෝදනා කරන බවත් එම නිසා එතුමාට උදේ සිට රෑ වෙනකම් ඒවා නිවැරැදි කිරීමට සිදුවන බවත්. ජනාධිපතිතුමාත් සඳහන් කළා, එම නිසා තමන්ට රටේ වැඩක්‌ කිරීමට කාලයක්‌ ඉතිරි නොවන බව

ප්‍රශ්නය - ඔබ වහන්සේ දීර්ඝ කාලයක්‌ පුරා රට, ජාතිය, ආගම වෙනුවෙන් කටයුතු කරන බව පැහැදිලි කාරණයක්‌. එය බොහෝ දෙනකු දැන සිටියත්, නොදන්නා අයගේ දැන ගැනීම සඳහා යළි සඳහන් කරනවා නම්,

පිළිතුර - මම පොඩි කාලේ ඉඳල මගේ රටට ආදරය කළා. රට වෙනුවෙන් මට මගේ පණ වුණත් දෙන්න පුළුවන්. මේ රටේ මිනිස්‌සු දන්නවා මම මොනවද කළේ කියල ඒ වෙනුවෙන්. මාධ්‍යයත් කතා කළා, මං කළ දේ පිළිබඳව. අපේ වෙබ් අඩවියට ගියා නම් අපි කළ දේවල්වලින් අංශු මාත්‍රයක්‌ දැන ගන්න පුළුවන්. (www.dharmayathanaya.com)

සේරුවිල ආසනය ලබා ගැනීම සඳහා මැතිවරණ සීමා නිර්ණය කොමිසමේදී කතා කළේ මම තමයි."1977 දී ජයවර්ධන මහතා බලයට පත්වීමෙන් පසුව අගෝස්‌තු, සැප්තැම්බර් මාසවලදී මේ රටේ ජාතිවාදී කලබලයක්‌ ඇති වූවා. එම අවස්‌ථාවේදී එම ගැටුම ඇතිවීමට බලපෑ හේතු වූ කරුණු පිළිබඳව සොයා බැලීමට හිටපු අග්‍ර විනිශ්චයකාරවරයකු වූ ඇම්. සී සන්සෝනි මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක්‌ පත් කළා. එම කොමිසම පත් කරල මාස 3 ක්‌ යනකම් සිංහලයන් වෙනුවෙන් කවුරුත් කතා කළේ නෑ. දෙමළ පාර්ශ්වය වෙනුවෙන් දෙමළ ජාතික නීතිඥයන් 50 ක්‌ පමණ පෙනීසිටියා. සිංහලයන් වෙනුවෙන් කවුරුත් පෙනී නොසිටීම පිළිබඳව මට විශාල දුකක්‌ ඇති වූවා. එම අවස්‌ථාවේදී මම මහාචාර්ය එෆ්. ආර් ජයසූරිය, තෙන්නකෝන් විමලානන්ද සහ හිටපු මිනුම්පතිවරයකු වූ සී. ටී, ගුණවර්ධන මහතා ඇතුළු පිරිසට කිව්වා, මට මේකට මොනව හරි කරන්න වෙනවා කියල. සිංහල ජාතිය වෙනුවෙන් නීතිඥයන් යෙදවිය යුතු බව මම ප්‍රකාශ කළා. ඒ අය මට ආශිර්වාද කළා.

මම 'දවස්‌ පත්තරේ කර්තෘ රෝහණ ගමගේ මහතාට කතා කරල අගෝස්‌තු, සැප්තැම්බර් කලබලවලින් අවතැන් වූ සිංහලයන්ට මගේ පන්සලට එන්න කියලා පුවත්පතේ පළ කරන ලෙස ඉල්ලා සිටියා. විශාල පිරිසක්‌ ආවා. ඔවුන්ගෙන් කොටසක්‌ මම පන්සලේ නතර කර ගැනීමටත් කටයුතු කළා.
නමුත් අපට නීතිඥයෝ සිටියේ නෑ. එෆ්. ආර්. ජයසූරිය මහතාව මම යෑව්වා හරිස්‌චන්ද්‍ර විඡේතුංග මහතා හමුවීමට. ඔහුත් සමඟ පර්සි කරුණාරත්න, ඩබ්. ජී. ගුණතිලක යන නීතිඥ මහත්වරු අපත් සමග කටයුතු කළා. එම කොමිසමේ සාක්‍ෂි විමසුවේ කෞතුකාගාරයේ දේශන ශාලාවේ. මම ජනතාවත් සමඟ පයින්ම සාක්‍ෂි දීමට ගියා. පණ්‌ඩුල ඇඳගම මහතා ඒ දවස්‌වල සේවය කළේ කෞතුකාගාරයේ. ඇඳගම මහතාගෙන් සහ විඡේතුංග මහතාගෙන් අවශ්‍ය කෙනකුට ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට පුළුවන්.
ලකුණු ප්‍රමිතිකරණය ලබා ගත්තෙත් මම මැතිනිය සමග කතා කරල සටන් කරල තමයි. ඉතිහාසය පාසල්වල ඉගැන්වීම නවතා තිබියදී මම චන්ද්‍රිකා මැතිනිය සමඟ කතා කරල යළිත්, එම විෂය ඉගැන්වීමට කටයුතු යෙදෙව්වා. ඊට අමතරව යුද්ධය කාලයේදී මම කළ දේවල් ජනතාව දන්නවා.
මේක මට ගහපු පහරක්‌ නොවෙයි. මේක රටට ගහපු පහරක්‌. ජාතියට ගහපු පහරක්‌. ඒ සඳහා රටට ආදරය කරන අයගේ චරිත ඝාතනය කරනවා. හෙට මොනවා කරයිද දන්නේ නෑ.
එම නිසා මම දේශපාලන වේදිකාවට එන්න තීරණය කළා. නමුත් මම මැතිවරණයට තරග කරන්නේ නෑ. ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය නිසා මට මම කවුද කියන එක, මේ රටේ තිබෙන තැන කුමක්‌ද කියන එක පිළිබඳව හොඳ තක්‌සේරුවක්‌ ලබා ගැනීමට හැකි වූවා. මම වපුරපු බීජවල අස්‌වැන්න නෙළා ගැනීමේ කාලය දැන් එළැඹ තියෙනවා. මේ රට කඩන්න හෝ බෙදන්න හෝ දන් දෙන්න ඉඩ තබන්න බෑ. එම නිසා රට දිනවීම සඳහා මම දේශපාලනයට එනවා.

 


 

සංවාදය : ඉරිදා දිවයින

YOU MAY ALSO LIKE