Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

" මට ඕන චරිතයක් රඟපාන්න පුළුවන් , දැන් ඉස්සර වගේ පිටපතම ලැබෙන්නේ නැහැ " රංගන ක්ෂේත්‍රය ගැන පි‍යුමි බොතේජූ අමුතු කතාවක් කියයි .!

19073Views

ටෙලිනාට්‍ය නිළියක් ලෙස අතිශය රසික ප්‍රසාදයට පාත්‍ර වූ පියුමි ශානිකා බොතේජු අද දවසේ මෙ බොහෝ දෙනාගේ සිත්ගත් චරිතයක්‌ බවට පත් වී තිබෙනවා. තමන්ටම ආවේණික වූ රංගන රීතියකට උරුමකම් කියන පියුමි එකී හැකියාව තුළින් සැමවිටම තිරයේ අපූර්ව රුප මවන්නියක ලෙසද හැඳින්විය හැකිය. මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක් සමග පුංචි තිරයෙන් ඔබ හමුවට එන පියුමි බොතේජු සිය කලා කටයුතු හා පෞද්ගලික තොරතුරු පුවත්පතක් හා සංවාදයකට එක් වෙමින් හෙළි කර තිබුනා.

එම සංවාදය පහතින්


පියුමි මේ දිනවල දායකත්වය ලබාදෙන නිර්මාණ මොනවද? 
මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකම රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. එයින් හතර වටේ සහ හුළං ගෙදර ටෙලිනාට්‍ය දෙකම ප්‍රහසන ගණයේ නිර්මාණ. ඒත් එක්‌කම මේ දවස්‌වල මන්දාරම් වැහි සහ මේ මමයි කියන ටෙලිනාට්‍යවලත් රූගත කිරීම් යෙදිලා තියෙනවා.

පියුමි වේගයෙන් හාස්‍ය චරිත වෙත නැඹුරු වෙමින් පවතිනව නිළියක බවට පත්වෙලා නේද?
ඔබ ඇසු ප්‍රශ්නයට මම මෙහෙම පිළිතුරක්‌ දෙන්න කැමැතියි. මම රඟපාන මෙඩි සිනා ටෙලිනාට්‍යයේ ටානියාගෙ චරිතය බොහෝ දෙනා අතර ජනප්‍රිය වීම නිසයි බොහෝ දෙනකුට මගේ රංගනයන් ගැන එසේ සිතන්න පෙළඹිලා තියෙන්නෙ. නමුත් මම මේ දිනවල මේ රූගත කෙරෙන අනිත් ටෙලිනාට්‍යවල මම රඟපාන්නෙ සැබෑ දිවියේ අපට හමුවන කාන්තාවන්ගෙ චරිත.

ඔබ යම්කිසි තෝරා ගැනීමකට අනුවද රඟපාන්නෙ?
ක්‌ෂේත්‍රයට පැමිණි මුල් කාලෙ නම් එහෙම තේරීමක්‌ කරන්න හිතුවෙ නැහැ. නමුත් මගේ වාසනාවට මගේ පටන් ගැන්මේ පටන් එකිනෙකට වෙනස්‌ මගේ හැකියාවන් පෙන්විය හැකි චරිත ලැබුණා. ඒ නිසාම තමයි අධ්‍යක්‌ෂවරු තීරණය කළේ මට රංගනයේ කුමනාකාර පරාසයකට යා හැකිද කියලා. මේ පසුබිම මත ඒකාකාරී චරිතවලට කොටු නොවී විවිධ චරිත රඟපෑමේ භාග්‍ය හිමි නිළියක්‌ වුණා.

අද දවසේ නිර්මාණයකට ඇරයුමක්‌ ලැබූ විට ඔබ ක්‍රියා කරන්නෙ?
මට ඇරැයුමක්‌ ලැබුණම ඒ චරිතය තුළ මට යමක්‌ කරන්න තියෙනවද කියලා මම විමසා බලනවා. මගේ වෘත්තිය මේක කියලා ලැබෙන හැම නාට්‍යයක්‌ භාර අරන් කරනවා කියන එක නෙවෙයි ජයග්‍රහණය. මිනිසුන්ගේ මතකයේ රැඳිය හැකි චරිතයක්‌ කරන එකයි. පබා ටෙලිනාට්‍යය විකාශය වෙලා මොන තරම් කාලයක්‌ද නමුත් අදත් හිමාලිගෙ චරිතය ප්‍රේක්‌ෂකයන්ගේ මතකයේ තියෙනවා. රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට කරන්න පුළුවන් හොඳම දේ තමයි ප්‍රේක්‌ෂකයාගේ මතකයේ රැඳෙන චරිතය රඟපාන එකයි. 

තමන්ට ලැබෙන ඕනෑම චරිතයක්‌ රඟපාන්න ඔබට හැකියි කියලා විශ්වාස කරනවද?
ඇත්තටම ඕනෑම චරිතයක්‌ මට රඟපාන්න පුළුවන්. මට මොන විදිහේ චරිතයක්‌ ලැබුණත් මම මටම ඒ චරිතයක්‌ අභියෝගයක්‌ කර ගන්නවා.

සම්මත සමාජයේ අවමානයට ලක්‌වෙන චරිත පවා තිරයේදී ප්‍රතිනිර්මාණ කිරීම නිසා ඔබට ගැටලු පැන නැඟී නැතිද?
නැහැ. සමාජයේ පවතින හෝ නිර්මාණයකින් ගොඩනැඟුන චරිතයක්‌ මම කැමරාවක්‌ ඉදිරියේ රංගනයේ යෙදුන මිස ඒ මගේ හැබෑ ජීවිතය නෙවෙයිනෙ. ඒ චරිතවලට කිසියම් ප්‍රතිචාරයක්‌ ලැබුණා නම් මම හිතන්නෙ මම එම චරිත තුළට සාර්ථක ලෙස ප්‍රවේශ වීම නිසයි. 

චරිතයක්‌ ලැබුණම ඔබ ඒ චරිතය ඔබගේ ආධිපත්‍යයට ගැනීමට භාවිතා කරන උපක්‍රම මොනවාද?
ඉස්‌සර නම් නිර්මාණයකට ඇරයුම් ලැබුණම අපිට මුළු පිටපතම ලැබෙනවා. දැන් එහෙම නැහැ දැන් ලැබෙන්නෙ පිටපතෙන් කොටසයි. එවිට මම මුලින්ම අධ්‍යක්‌ෂවරයා සමග මට ලැබී ඇති චරිතය ගැන කතා කරනවා. චරිතය ගොඩනැඟී ඇත්තේ සහ එය නිර්මාණය තුළ ගලා යන්නේ කොහොමද කියල හඳුනා ගන්නවා. එම චරිතය ප්‍රේක්‌ෂකයාට සමීප වෙන විදිහට දෙන්නෙ කොහොමද කියලා අවබෝධ කරගෙනයි මම දර්ශන තලයට යන්නෙ.

පියුමි රංගන ක්‌ෂේත්‍රයට පිවිසෙන්නෙ?
මම බලාපොරොත්තු වුණේ ගුවන් සේවිකාවක්‌ වෙන්නයි. මම උසස්‌පෙළට භාෂාවන් හදාරන්නේ ගුවන් සේවිකාවන් වෙන්න සුදුසුකමක්‌ ලෙසයි. ඔය අතරේ ලංකාවේම තරගකාරියන් රැසක්‌ සහභාගි වුණ අවුරුදු කුමාරි තරගයකින් මට ජයග්‍රහණය හිමි වෙනවා. ඉන්පසුව මට ලක්‌හඬ ගුවන්විදුලියේ පුහුණු වන නිවේදිකාවක්‌ විදිහට රැකියාවක්‌ ලැබෙනවා. පසු කාලයක මම ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරියක්‌ විදිහට පුහුණු වෙමින් ඉන්න සමයෙයි මගේ පළමු ටෙලිනාට්‍ය හිට්‌ විකට්‌ සඳහා මට ඇරයුම් ලැබෙන්නේ. ඔය පසුබිම එක්‌ක මම ගුවන් සේවිකාවක වීමේ සිහිනයට සමුදීලා රංගන ක්‌ෂේත්‍රයට පැමිණෙන්නෙ.

අද ඔබගේ තෝරාගැනීම හා හිමිවීම වූ රංගන වෘත්තිය ගැන තෘප්තිමත්ද?
මේ තරම් ජනතවගෙන් ලැබෙන ආදරය වෙනත් කිසිම වෘත්තියකින් තියෙනවා කියලා මම හිතන්නෙ නැහැ. සමාජයේ ඕනම කටයුත්තකදී අපිට හැමෝගෙම සහාය ලැබෙනවා. අනිත් කාරණය අපි එකිනෙකට නිර්මාණ කරා යත්දී විවිධ පුද්ගලයන් හඳුනා ගන්න ලැබෙනවා. දින 40 - 50 විතර එකම කණ්‌ඩායමක්‌ එක්‌ක වැඩ කරත්දී අපිට ඔවුන්ගේ අත්දැකීම් දැනුම අදහස්‌ උදහස්‌ දැනගන්න ලැබෙනවා වගේම විශාල පිරිසක්‌ දැන හඳුනා ගන්න ලැබෙනවා. ඒ හැම දේටම වඩා නිර්මාණයකට දායක වීමෙන් පසුව හිතට දැනෙන සතුට වටිනවා.

මේ ආදරය වගේම ජනප්‍රිය චරිතයක්‌ වීම පෞද්ගලික දිවියේ අපහසුතාවලටත් මුහුණ දෙන්න වෙන අවස්‌ථා සුලබයි නේද?
යම් අවස්‌ථාවලදී යම් පුද්ගලයන් එවැනි අපහසුතාවලට පත්වෙනවා. මෙහිදී කියන්න තියෙන්නෙ අපි රංගන ශිල්පීන් වුණාට ජනප්‍රිය චරිත බවට පත් වුණාට අපිත් අනිත් මිනිස්‌සු වගේම හැඟීම් දැනීම් ආසාවල් තියෙන සාමාන්‍ය මිනිස්‌සු විදිහට අපි දිහා බලනවා නම් හොඳයි කියලා. ජනප්‍රිය කෙනෙක්‌ තමන්ගේ ජීවිතයේ තමන් ආස දෙයක්‌ කළාම ඒ දෙස වපර ඇහින් බලන එක සාධාරණ නැහැ කියලා මම හිතනවා.

තිරයෙන් මෙපිට ජීවත් වෙන පියුමි මොනවගේ කාන්තාවක්‌ද?
ඕනම ප්‍රශ්නයකට හිනහ වෙලා මුහුණ දෙන්න පුළුවන් ශක්‌තිමත් හිතක්‌ තියෙන කෙනෙක්‌ තමයි පියුමි කියන්නෙ.

පෞද්ගලික දිවියේ බිරිඳකගේ භූමිකාව වෙනුවෙන් නිළි වෘත්තියේදී පියුමි යම් කැපවීමක්‌ කරනවද?
මම බිරිඳක්‌ විදිහට මගේ ජීවිතයේ කරන කැපකිරීම තමයි දින ගණන් පිට පළාත්වල නතර වෙලා කරන කිසිම නිර්මාණයක්‌ මම භාරගන්නෙ නැහැ. ඒ නිසා මම කොළඹ අවට කරන නිර්මාණ සඳහා පමණයි සම්බන්ධ වෙලා ඉන්නෙ. මම හැමදාම වැඩ ඉවරවෙලා ගෙදර යනවා.

 


 


 

YOU MAY ALSO LIKE