Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

"ඔව් අනුර අයියේ, ලැම්බෝගිනි පැදපු මට බයිසිකල් මොකක්ද?" නාමල් රාජපක්ෂගෙන් අනුර කුමාර දිසානායකට අපූරු පිළිතුරක් .!

7833Views

මේ දිනවල පාර්ලීමේන්තුව අතිශය උණුසුම් ය. ඒ 2018 වර්ෂය සදහා ඉදිරිපත් කළ අය-වැය විවාදය මේ දිනවල පැවැත්වෙන නිසාය. අය-වැය විවාද දිනවල පාර්ලීමේන්තුවේ සිදුවන රසවත් සිදුවීම් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුනි. වාර්තා වන අන්දමට එම සිදුවීම් කිහිපයක් සැකෙවින් මෙසේය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  2018 වර්ෂය සඳහා වන අයවැය "නීල හරිත අය-වැය එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා" යනුවෙන් ඉදිරිපත් කළේය. එදිනම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන ආර්ථික විශ්ලේෂකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධනද අය-වැය යෝජනාවල මිථ්‍යාව සහ යථාර්ථය යනුවෙන් ග්‍රන්ථයක් ඉදිරිපත් කළේය.
පාර්ලිමේන්තුවට එම ග්‍රන්ථය ඉදිරිපත් නොකළද බන්දුල ගුණවර්ධන මහතා එම ග්‍රන්ථය මංගල සමරවීර අමාත්‍යවරයාටද ලබා දීම විශේෂත්වයකි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන චම්පික රණවක, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන්ටද එම පොත ලබාදුන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටද එම පොත් ලබාදීමට කටයුතු කර තිබුනා.

"අය-වැය යෝජනා මිථ්‍යාව සහ යථාර්ථය" වශයෙන් රචනා කර තිබෙන මෙම පොතෙහි ගිය වසර සඳහා ඉදිරිපත් කරන ලද අය-වැය යෝජනා 493ක් පිළිබඳව සඳහනක් සිදු කර තිබෙන්නේ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණාද යන්න තර්කානුකූලව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමිනි.
පාර්ලිමේන්තුව වාර්තා කරන මාධ්‍යවේදීන්ටද මෙම පොත බන්දුල ගුණවර්ධන මහතා ලබාදුන් අතර මංගල සමරවීර අමාත්‍යවරයාගේ "නීල හරිත එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා අය-වැය" එක් අතකද අනෙක් අතෙහි බන්දුලගේ "අයවැය" යෝජනා, මිත්‍යාව සහ යථාර්ථය" ග්‍රන්ථයද මාධ්‍යවේදීන් ළඟ තිබෙනු දක්නට ලැබිණි.

අය-වැය තේ පැන් සංග්‍රහය අතරතුර අය-වැය යෝජනා 'මිථ්‍යාව සහ යථාර්ථය' ග්‍රන්ථය දේශපාලනඥයන්ට භාරදුන් අතර ඔවුන් එම පොත පිළිගෙන තිබුනේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට සුහදශීලීභාවය පළ කරමිනි.

මන්ත්‍රීවරයා විසින් මෙම ග්‍රන්ථය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද ලබා දී තිබුනු අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනේ පසුගිය බජට් එක ගැන මෙවැනි සාරාංශයක් ඉදිරිපත් කිරීම හොඳ ප්‍රයත්නයක් බවයි.

පොත එජාප ඇමතිවරුන් ලබා ගැනීමේදී සුහද කතාබහක්ද ඇති විය.

"මේ අපේ බන්දුලගේ පොතක්නේ" යනුවෙන් වජිර අබේවර්ධන අමාත්‍යවරයා පොත ලබා ගන්නා විට බන්දුල ගුණවර්ධන මහතාට සුබ පැතුවේය.

"මීට ඉස්සර වෙලත් ඉදිරිපත් කරපු බජට්වලත් අය-වැය යෝජනා තිබෙන ආකාරයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා" යනුවෙන් මංගල සමරවීර අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට පැවසුවේය.

"ඒ වුණාට මංගල ඇමැතිතුමා පහුගිය අය-වැයෙන් රුපියල් බිලියන 792ක් බොරු කරලා තියෙනවා. එහෙම බොරු කරපු අය-වැයක් අපේ රටේ ඉතිහාසයේ කවදාවත් ඉදිරිපත් කරලා නැහැ. ඒකයි මං මේ ගැන පොතක් ගැහුවේ" යනුවෙන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකට පාර්ලිමේන්තු සංකීර්ණයේ ආලින්දයේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මුණගැසී තිබුනේය.

නාමල් රාජපක්ෂ, රංජිත් ද සොයිසා, කාංචන විජේසේකර, රොෂාන් රණසිංහ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් මෙසේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මුණගැසී තිබුණු අතර සුහද ලෙස කතාබස් කිරීමෙන් අනතුරුව ඔවුහු විදුලි සෝපානයකට ගොඩවූහ.

"නාමල් මන්ත්‍රිතුමා දැන් බයිසිකලුත් පදිනවා නේද?" යනුවෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විමසා තිබේ. .

"ඔව් අනුර අයියා" ලැම්බෝගිනි පැදපු මට බයිසිකල් මොකක්ද?" යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පිලිතුරු දී තිබෙන්නේ අසල සිටි සියල්ලන්ගේම සිනහ හඩ මැද්දේය. 

 

  

YOU MAY ALSO LIKE