Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

" අපේ රටේ අය බස් අරගෙන මාව බලන්න ඇවිත් හිටියා , ලොව පුරා බිලියනයක් බලපු තරගයේ 75%ක් පෙන්නුවේ ලංකාවේ කාර් එක" ලොවම පරදා මවුබිමට ගෞරව ගෙන ආ අපේ වීරයා - ඩිලන්ත මාලගමුවගෙන් සංවේදී කතාවක් .!

18210Views

ඩිලන්ත මාලගමුව, නම කියූ පමණින් මුලු රටම දන්නා අභිමානවත් ලංකා පුත්‍රයා ඔහුය, සිංහ කොඩිය , ශ්‍රී ලංකාවේ නම ක්‍රීඩාවෙන් ඔහු තරම් ජාත්‍යන්තර‍යට රැගෙන ගිය ක්‍රීඩා තරුවක් මෑත යුගයේ බිහිවී නොමැත,
දියුණු හා බටහිර ලෝක‍යේ රටවල අතිශය ප්‍රචලිත , මෝටර් රථ ධාවන තරග වලින් තුන්වෙනි ලෝකයේ රටක පුරවැසියෙකු ලෙස ඔහු තරම් ජයග්‍රහන ලැබූ ධාවකයෙක් ඉතිහාසයේ බිහි වීද නොමැත,

පුංචි ශ්‍රී ලංකාවෙන් බිහිව , වසර ගණනාවකම සිට ආසියාවේ හොදම මෝටර් රථ ධාවන ශිල්පියා ලෙස නම් දරා සිටින ඔහු ඩිලන්ත මාලගමුව යි , ශ්‍රී ලාංකිකයන් අතර අතිශය ජනප්‍රිය "නිහතමානි" මිනිසායි,

පසුගියදා  ඉතාලියේ ලැම්බෝගිනි සුපර් ට්‍රොපි ලෝක ශූරතා තරගාවලියේ තෙවැනි තැනට පත්වන්නේ ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක මිනිසකු ලොව සුපිරි ක්‍රීඩාවක ලෝක ශූරතාව දිනාගැනීම වැඩි ඈතක නොවන බවට ඉඟි කරමිනි. මෝටර් රථ ධාවන තරග නරඹන ලොව රටවල් 100කට වැඩි සංඛ්‍යාවක බිලියන 1.4 ක්‌වූ ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ ශ්‍රී ලංකාව නම් කුඩා රටගැන 'ලොකුවට' කියෑවෙන තැන හැදූ මේ අභිමානවත්, ඩිලන්ත මාලගමුවය. 
 
ඩිලන්ත ඉකුත්දා පැවැති මෙම ලෝක ශූරතාව සඳහා අවස්‌ථාව ලබන්නේ ආසියානු ශූරයා වශයෙනි. මෙම ලෝක ශූරතාවට සුදුසුකම් ලබන්නේ ආසියානු, ඇමරිකානු සහ යුරෝපා කලාපීය ශූරතා දිනූවන්ය. එබැවින් මෙය ශූරයන්ගෙත් ශූරයා තෝරාගනු ලබන තරගාවලියකි. ආසියානු කලාපය හයවරක්‌ ජයගෙන ආසියාවේ තවත් අභියෝගයක්‌ තමන්ට නොමැති බැවින් ලෝක ශූරයන්ට අභියෝග කිරීම පිණිස එහි ගිය ඩිලන්ත මේ අපූර්ව මොහොත සටහන් කරන්නේ පළමු අදියරේ තරගයේ තරගය නිසි පරිදි නිමාකිරීමට අවස්‌ථාව නොලබා තිබියදීත් වීම සුවිශේෂීය.
 
පළමු වටයේදී අනතුරකට ලක්‌වීම නිසා එහි නිමාව දකින්නට ඩිලන්තට නොහැකිවුවද ඔහු තරගයෙන් ඉවත්වන මොහොත තෙක්‌ දක්‌වාතිබූ දස්‌කම් මත ඔහුට ලකුණ හිමිව තිබුණි. මෙලෙස ලොව ඉදිරියේ සිංහ කොඩිය ඔසවා තැබු මවුබිමට ණය නැති ඒ සොදුරු මිනිසා පුවත්පතක් සමග එක්ව සිය ජයග්‍රහණය පිළිබදව විස්තර කර තිබුනා , ඒ මෙලෙසින්.

" හැප්පුනු නිසා පළවෙනි රේස්‌ එක ඉවර කරන්න බැරි වුනත් මට ඒකෙන් ලකුණු ලැබිලයි තිබුණේ. දෙවැනි වටය මම පටන්ගත්තේ 15 වැනියට. ඒක තමයි මගෙ ජීවිතේ හොඳම රේස්‌ එක. පළවෙනි වංගුවේදීම කාර් වගයක්‌ වැදිලා මාව තව පස්‌සට ගියා. ඔක්‌කොම ඉන්නේ ලෝක ශූරයන්ගෙ මට්‌ටමේ අය. ඒ අය අතරින් රිංගගෙන ඉස්‌සරහට එන එක ලේසි නැහැ. මේ තරගය බලන්න අපේ ලංකාවේ අය සෑහෙන පිරිසක්‌ ඇවිත් හිටියා. මට තමයි ඒ තරගයේ වැඩිම චියර් එක තිබුණේ. ලෝක ශූරයාටවත් නැහැ එහෙම චියර් එකක්‌ තිබුණේ. පැයට කිලෝමීටර 300කට වාහනේ පැද්දත් මට අපේ රටේ කොඩිය පේනවා. අපේ රටේ සහෝදරයො ඒ වගේ ධෛර්යයක්‌ දෙනකොට ඇත්තටම කියනවා නම් 'පරදින්න දුකයි '. මම හැම ලැප් එකකදීම ඉදිරියට ආවා. ඇත්තටම තරග නිමාව අනුව මම හිටියේ දෙවැනි තැනට වුනත් රෙඩ් ප්ලෑග් එකක්‌ නිසා අවසන් ප්‍රතිඵලයෙදී මට ලැබුණේ තුන් වැනි තැන. පළවෙනි අදියරේ මට රේස්‌ එක ඉවර කරගන්න ලැබුණනම් ලෝක ශූරතාව දිනාගන්න තිබුණා' 

 'මම ගිය අවුරුද්දේ ආසියානු ශූරතාව සමග ඒ කලාපයේ ශූරතා 6ක්‌ දිනුවා. ආසියාවෙ මම යන්න ඕන තැනට ගියා. ජී.ටී. ප්ලේන්ග් ශූරතාව, ක්‌ලබ් ස්‌පෝර්ට්‌ස්‌, එක්‌ස්‌ට්‍රා කප් කියන තරග ඔක්‌කොගෙම ශූරතාව දිනුවා. දැන් ලෝක ශූරයන් එක්‌ක තරග කරන්න කාලය ඇවිත්. ඒ නිසයි මම යුරෝපයට ආවේ. මේ තමයි මම යුරෝපයේ මේ මට්‌ටමෙන් තරග වැදුණු පළවෙනි අවස්‌ථාව.."

 'මම ඒ ට්‍රැක්‌ එක ගැන දැනගෙන හිටියේ නැහැ. අනිත් තරගකරුවෝ සල්ලි වියදම් කරලා ප්‍රයිවෙට්‌ ටෙස්‌ටිං කරගන්නවා. අපිට ඉතිං එහෙම කරන්න තරම් පුළුවන් කමක්‌ නැහැනේ ' 

 
 'වෙන කිසිම රටක තරගකරුවෙක්‌ට ඒ තරම් දිරිගැන්වීමක්‌ ලැබුණේ නැහැ. ඒ අය බස්‌ අරගෙන ඇවිත් තිබුණෙ මම තරගකරනවා බලන්න. ඒක පුදුම හැඟීමක්‌. මම හිතන්නේ අපේ රටේ කොඩිය ප්‍රේක්‍ෂකාගාරවල ඒ විදිහට වැනෙද්දී අනිත් තරගකරුවන් තැතිගන්නවා ඇති කියලා. තරගයේ රූපවාහිනී විකාශනයෙදී 75%ක්‌ විතර පෙන්නන්නේ අපේ කාර් එක. විස්‌තර විචාරයේදී වැඩිපුරම කිව්වෙත් අපේ ධාවනය ගැන. ලංකාවෙ අයගෙන් ඒ ලැබුණු ධෛර්යයත් එක්‌ක මම මගෙ ජීවිතේ හොඳම රේස්‌ එක කළා'
 
 'පිට රවටල කොයි තරම් රේස්‌ පැදලා දිනුවත් අපේ රටේ තානාපති කාර්යාලයකින් මට ඇගයීමක්‌ කරලා තිබුණේ නැහැ. එක වතාවක්‌ ඩුබායි වල ශ්‍රී ලංකා කොන්සල්වරයාගෙ ගෙදරට එන්න කියලා තියෙනවා. ඒත් මේ රේස්‌ පැදපු අවුරුදු 37 ඇතුළේ පළවෙනි වතාවට තානාපති කාර්යාලයකින් මං වෙනුවෙන් ගෞරයක්‌ දුන්නේ මේ වෙලාවේ. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි ආතාවුද මහත්තයා මං වෙනුවෙන් තානාපති කාර්යාලයේ තේ පැන් සංග්‍රහයක්‌ දුන්නා'

 
 නමුත් තම රථයේ ශ්‍රී ලංකා ධජය දරාගෙන ලොවටම පෙනෙන සේ ඉදිරියටම දුවන මෙම ශ්‍රී ලාංකේය පුත්‍රයා වෙනුවෙන් අපේ රට ලබා දී ඇත්තේ මොනවාද? එසේම ඩිලන්තගෙන් අපේ රටට ලබාගතහැකි දේ මේ ජයග්‍රහණවල සතුට පමණද?
 
 ඩිලන්තගේ ක්‍රීඩාව ලොව අධිකම මිලක්‌ වැයවන ක්‍රීඩාවකි. මෙහිදී ඔහුට එක්‌ තරග සමයක්‌ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 1500ක පමණ මිලක්‌ වැය කිරීමට සිදුවේ. තරගයේදී ප්‍රතිවාදීන් පසුබැස්‌වීමේ අභියෝගයට වඩා ඉදිරියෙන් ඔහුට ඇත්තේ මෙම වියදම සොයාගැනීමේ අභියෝගයයි. කෙසේ හෝ 'ගැටගසාගෙන' ඔහු මේ ගමන මේ තරම් දුරක්‌ ආවේය. ශ්‍රී ලංකා කොඩිය ජයග්‍රාහී රටක සංකේතය බවට තරග ධාවන පථය මත සටහනක්‌ තැබුවේය. නමුත් ලෝක ශූරතාව මුවවිට සිටින මේ ශ්‍රී ලාංකිකයාට එය දිනාගැනීම පිණීස රටක්‌ ලෙස අපෙන් දී ඇති ශක්‌තිය ප්‍රමාණවත්ද? ඩිලන්ත යනු ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා නාමය මනැවින් ප්‍රවර්ධනය කරන සන්නාමයකි. රජයක්‌ ලෙස ශ්‍රී ලංකාව ගැන ලොවට කියන්නට ඩිලන්තගේ දක්‍ෂතා, ප්‍රචාරණ මාධ්‍යයක්‌ කරගත නොහැකිද? 
 
සංචාරක මණ්‌ඩලය, තේ මණ්‌ඩලය වැනි ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවේ නාමයෙන් ඇමතිය යුතු ආයතනවලට ඩිලන්තව නොපෙනෙන්නේ මන්ද යන්න අපට ගැටළුවකි. පෙර සඳහන් කළ අයුරින් ලොව පුරා බිලියන 1.5 ජනතාවක්‌ මෙම තරග නරඹද්දී, එම තරගයෙන් 75%ක පමණ කාලයක්‌ පුරා ඩිලන්තගේ සිංහ කොඩිය බැබලෙන රථය දෙසට කැමරාව යොමුවද්දී ඩිලන්තගේ දක්‍ෂතා තරග විස්‌තර විචාරකයන් විසින් ශ්‍රී ලංකාව යන නමද සමගින් පුන පුනා පවසද්දී, පිට රට බස්‌වල 'විසිට්‌ ශ්‍රී ලංකා' යනුවෙන් පින්තාරු කිරීමට කෝටි ගණන් වැය කර සොච්චම් ප්‍රතිචාරයක්‌ ලබන උදවියට විනාඩි 50ක පමණ කාලයක්‌ පුරා අඛණ්‌ඩව ලොව පුරාම විසිරුවාහරින ඩිලන්තගේ රථයේ දර්ශනය, අතිදැවැන්ත ප්‍රචාරණ අවස්‌ථාවක්‌ කරගැනීමට නොහැකිද? ශ්‍රී ලංකාවේ තේ හෙවත් 'සිලොන් ටී' ගැන කියන්නට ඩිලන්තගේ රථයේ ඉඩකඩ මදිද?

මේ පිළිබදව ඩිලන්ත කීවේ මෙවැනි අදහසකි,
 

'ඇත්තටම ඒ වගේ තරගයක ශ්‍රී ලංකාවට ඒ ලැබෙන ජාත්‍යන්තර ප්‍රචාරණය සල්ලි ගෙවලා ලබාගන්න ගියානම් මොන තරම් වියදම් වෙයිද? ඇයි අපිට ලංකාව ගැන පනිවුඩයක්‌, අදහසක්‌ ලෝකෙට දෙන්න මේ ප්‍රචාරණ අවස්‌ථාව ලබාගන්නේ නැත්තේ කියන එක මටත් ප්‍රශ්නයක්‌ "මම දෙසැම්බර් 4 වැනිදා ලංකාවට එනවා. ඒ එන්නේ නිකං නොවෙයි. ලෝක මට්‌ටමේ ප්‍රතිඵලයක්‌ එක්‌ක. ඒ ඇවිත් මට අවස්‌ථාවක්‌ දුන්නොත් මම ජනාධිපතිතුමා මුණගැහෙනවා. ඒ උත්සහයත් මම අරගෙන බලනවා'

 

 සටහන :  ඉන්ද්‍රජිත් සුබසිංහ , දිවයින
 

YOU MAY ALSO LIKE

 
×