Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

ක්‍රිකට් ගොඩගන්න සංගා - මහේලගේ මාස්ටර් ප්ලෑනටත් ප්‍රබල ක්‍රීඩා සමාජ වල විරෝධය..‘‘සියල්ල කරන්නේ මොවුන්..පාලකයනුත් ක්‍රීඩා සමාජ වලට නතුවෙලා..බැරිම වුණොත්..‘‘ - ඇමති දයාසිරි පෙරළියකට සැරසෙයි (VIDEO)

4296Views

වසර අටක් පුරා දරුණු කඩා වැටීමකට ලක් වු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි නඟා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සකස් කර තිබෙන බවත්, ඊට එරෙහි වුවහොත් ක්‍රිකට් ආයතනය විසිරුවා හැර හෝ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ බදාදා (දෙසැ 06) කොළඹ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ස්වාධීන උපදේශන මණ්ඩලයක් පසුගිය ඔක්තෝබර් මාසයේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලදී.ක්‍රිකට් අන්තර්වාර කමිටුවක හිටපු සභාපතිවරයෙකු වන හේමක අමරසුරිය එහි සභාපති ධුරය දරන අතර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා සහ අනුර තෙන්නකෝන් එහි සාමාජිකත්වය දරති.එම උපදේශන මණ්ඩලය විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට සිය මුලික සැලැස්ම බාර දෙනු ලැබ ඇති අතර ඇමතිවරයා ඉහත කී අදහස් පළ කළේ ඒ පිළිබඳ සිය ප්‍රතිචාරය පළ කරමිනි.

‘පසුගිය වසර 8 ක් තුළ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමකට ලක් ව තිබුණා. ඒ තත්ත්වය උඩින් පෙනුණේ නැති වුණත් යටින් දරුණු ලෙස කඩා වැටීමට ලක් වුණා. අද අවශ්‍ය වන්නේ රට තුළ දේශීය මට්ටමින් තරඟ පැවැත්වීමයි. ඒ සඳහා මේ වන විට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. අද අපට ක්‍රිකට් කණ්ඩායම් 24 ක් තිබෙනවා. මේ දෙකම කලවම් කරමින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා. දුර පළාත්වල පාසල්වල ක්‍රීඩකයන් මේ කණ්ඩායම්වල ඉන්නවා. ඔවුන් එක තැනකට ගෙනත් පුහුණු කරවන්න අපට වැඩපිළවෙළක් මෙපමණ කල් තිබුණේ නැහැ.

ඒ නිසා අපි පළාත්වලට අද බලය ලබා දී තිබෙනවා. පළාත් 9 ම අපි පළාත් 4 කට වෙන් කරලා බලය ලබා දී තිබෙනවා. මේ අනුව හැම පළාතකින් ම 15 බැගින් 60 දෙනක් තෝරාගන්න අපි බලාපොරොත්තු වෙනවා. එසේ නැත්නම් තේරීම් නිලධාරීන්ට රට පුරා තිබෙන මේ තරඟවලට යන්න වෙනවා. මේ පළාත් හතරට තේරීම් නිලධාරීන් 4 ක් යොදවන්න අපි කටයුතු කරනවා. මේ අනුව අපිට ක්‍රීඩකයන් 80 ක් පමණ තමයි බලන්න වෙන්නේ. මේ හොඳම ක්‍රීඩකයින් පිරිසයි. මේ ටික අපි ඉස්සරහට ගෙන යන්න අවශ්‍යයි. අපේ සිසුන්ගේ අවුරුදු 15 සිටම ක්‍රිකට් වලට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය සකස් කළ යුතුයි. මේ නිසා මේ වැඩපිළිවෙළ හදිසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

අද ඇතැම් අය ක්‍රීඩා සමාජවල ඡන්දය ලබා ගැනීමට අවශ්‍ය නිසා ඒ අයට නතු වෙලා කටයුතු කළා. ඒ ඡන්ද වලින් කරන්න අවශ්‍ය දේ නෙවෙයි අද කරන්නේ. මැච් එක වැටෙනවා නම් මේ අය කියන දේවල්වලට ඇහුම්කන් දෙන්න මා සුදානම් නැහැ. ඉදිරියේදී මේ ඡන්ද අඩු කරන්න මා පැහැදිලිව කටයුතු කරනවා.

‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකම එකට එකුතු වෙලා ක්‍රීඩා කරන්න අවශ්‍ය බවට අපි තීරණයක් ගත්තා. අපි බොහෝ දුරට බැලුවේ ‘ඒ’ කාණ්ඩය පමණයි. ‘බී’ කාණ්ඩයේ සිටින දක්ෂ දරුවන් කැළේට පිපිලා පරවෙන මල් වගේ වෙනවා. ඒ නිසා ලබන වසරේ කවුරු විරුද්ධ වුණත් මේ දෙක එකට එකතු කරනවා.’

‘පසුගිය දා ඉන්දියාවේ පැවැත්වෙන තරගයකට සහභාගීවීමට ගිය ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුණා. ලංකාවෙන් පිටත යන සියලුම ක්‍රීඩකයන් දින විසි එකකට පෙර අවසර ගත යුතුයි. නමුත් සංගම් සියල්ල මේවා ගෙන්නේ අන්තිම මෙහොතෙයි. ඒ අය තමන්ගේ බලය භාවිතා කරමින් තනියම ගිහින් වීසා අරගන්නවා. ඒත් මට ලිපිය ලැබුණේ පෙරේදා හවස. නමුත් 6 වෙද්දි මේ අය ගුවන්තොටුපලට ගිහින්. නීති රෙගුලාසි කාටත් පොදුයි. ඒ අනුව කවුරුත් කටයුතු කළ යුතුයි. නමුත් මේ ගිය කණ්ඩායම ගැන තිලංග සුමතිපාලවත් දන්නේ නැහැ.

ක්‍රිකට් පරදින විට පාලක මණ්ඩලයත් හරියට නැත්නම් මේ ගැන තීන්දුවක් ගන්න වෙනවා. අපි එක් දින තරඟ සඳහා හොඳ කණ්ඩායමක් තෝරා ගෙන තිබෙනවා. මේ කටයුතු ඉදිරියේදී නිවැරදි වේවි. ශරීර යෝග්‍යතාවය සමත් නැත්නම් කිසිවකු ඇතුළට දාන්න බැහැ. අපි කැමැති හොඳම කණ්ඩායමක් යවන්නයි. මේ අයව එළියට දැම්මේ ඇයි කියලා කියන්න ඕනේ. ඒකට අපිට හෝ තේරීම් කමිටුවට බැනලා පලක් නැහැ.

කැප්ටන්ලා ගැනත් අපට ගැටලු තිබෙනවා. ඇතැම් අය තමන්ට කැමැති නායකයෝ දාගෙන ගහනවා. වගකීම එන්නේ ක්‍රිකට් ආයතනයටයි. අපි 2019 වන තෙක් කටයුතු කරන්න අවශ්‍ය නායකයෙක් ලෙස තිසර ගැන යෝජනා කර තිබුණා. තරඟාවලියෙන් තරඟාවලියට කැප්ටන්ලා පත් කිරීම ගැන මා එකඟ නැහැ.’ ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් කීවේය.

හිටපු ක්‍රිකට් නායකයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ සැලැස්මට ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් සිය විරෝධය පළකර තිබෙන බවද වාර්තාවේ.

 

 

YOU MAY ALSO LIKE

 
×