Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘පොල් අතු මඩුවලත් ඩිස්කො ඩාන්ස්‘‘ බෝට්ටුවෙන් පටන්ගෙන ඉවර වෙන්නෙ වෙනමම තැනකින්. සුන්දර උණවටුනට අද වෙච්ච දේ.(PHOTOS)

6103Views

සංචාරක කර්මාන්තයෙන් ලංකාවට හිමිවෙන්නෙ ඉහලම තැනක්. ඒ අතිනුත් දකුණු මුහුදු වෙරළේ හික්කඩුව, උණවටුන වගේ වෙරළ තීරයට සංචාරකයින් වැඩි කැමැත්තක් දක්වනවා.මේ හින්දම ඒ ප්‍රදේශ වල ජනතාවට විවිධ ව්‍යාපාරයන් ඔස්සේ තමන්ගෙ අත මිට සරුකර ගන්න අවස්තාව උදාවෙලා තියෙනවා.

කොහොම වුනත් මේ විදියට තමන්ගෙ ආර්ථිකය ශක්තිමත් කරගන්න අවස්තාවක් ලැබුනු මේ පුද්ගලයන් සිදු කරන ඇතැම් ක්‍රියා කලාපයන් නිසා මේ වන විට සුන්දර උණවටුනට විශාල අවධානමකට මුහුණ පාන්නට සිදුව තිබෙනවා. ඒ පිළිබඳව අද මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසින්.

 

ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන් එකකි. එහෙත් 2015 වර්ෂයේදී සංචාරකයන්ගේ බයිබලය ලෙස හැඳින්වෙන ලොමල් පැනට් නමැති සඟරාවේ උණවටුන වෙරළ තීරය හඳුන්වා ඇත්තේ දකුණේ ඇති ආකර්ෂණයෙන් අඩුම වෙරළ තීරය වශයෙනි. 

උණවටුන වෙරළ තීරයේ එදා තිබූ සුන්දරත්වය අද වියැකී යමින් පවතී. උණවටුනේ සංචාරක කර්මාන්තයේ නිරත හෝටල් හිමියන් පවසන ආකාරයට මෙම වෙරළ තීරය අද වන විට අසුන්දර ස්ථානයක් බවට පත්වෙමින් තිබේ. ඒ විතරක් නොව මෙහි සංචාරක කර්මාන්තය අයා‍ලේ යන තත්ත්වයට පත්ව තිබේ. රාත්‍රී කාලයේදී මෙකී සංචාරක කලාපය තුළ නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා සිදුවන අතර එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට දැඩි බාධාවක් වී ඇත්තේය.

උණවටුනේ සංචාරක කර්මාන්තයට ඇත්තේ වසර හතළිහකටත් වඩා ඈතට දිවයන ඉතිහාසයකි. මෙහි ගෘහස්ත සංචාරක කර්මාන්ත වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර එමගින් රටේ ජාතික ආදායමට ලැබෙන දායකත්වයද සුළුපටු නොවේ. ඒ කොයිහැටි වුවද වර්තමානය වන විට ඉතා ඉහළ මට්ටමක තිබූ උණවටුන සංචාරක කර්මාන්තය බිඳ වැටෙමින් පවතින අතර එහි ගුණාත්මක භාවයද පිරිහීමට ලක්වෙමින් ඇත්තේය. විශේෂයෙන්ම උණවටුන වෙරළ තීරයේ පහස විඳදරා ගැනීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාවට දැඩිව බලපාන සිදුවීම් රැසක් ඉන් ඇතිවන අනාරක්ෂිත බව සංචාරක ආකර්ෂණය දැඩිව බලපෑම් කරයි. මෙකී වෙරළ තීරය තුළ සිදුවෙමින් පවතින්නේය. 

විදෙස් සංචාරකයන් උණවටුන වෙරළ තීරයට පැමිණෙන්නේ නිදහසේ ‍පොතක් පතක් කියවා මෙහි ඇති අසිරිය විඳදරා ගැනීම සඳහාය. එහෙත් මෙකී වෙරළ තීරයේ කරක්ගසන කල්ලියක් නිසා විදේශීය සංචාරකයන්ගේ නිදහසට බාධාවක් වී ඇත්තේය. මොවුන් විදේශීය සංචාරකයකු මුණගැසුණවිට පළමුව අසන්නේ බෝට්ටු සවාරියක් යමුද කියාය. ඉන්පසු ඉල්ලන්නේ දුම්වැටියකි. පසුව එම විදේශීය සංචාරකයා සමග හිතවත්වන මෙම කල්ලිය නුඹට ගංජා, මරුජුවානා, මත්පෙති ඕනෑද අසයි. ඉන් නොනැවතී සංචාරකයන්ට ගණිකාවන් පවා සපයන්නට උත්සාහ ගනී. මේ සඳහා සූදානම් වූ කල්ලියක් උණවටුන වෙළ තීරයේදී දැකගත හැකිය. ඒ විතරක් නොව නුඹලාට තරුණ පිරිමි ළමුන් අවශ්‍යද කියා ඇතැම් විදේශීකයන්ගෙන් මෙම කල්ලිය විමසා ඇති බවද දැන ගන්නට තිබේ. මේ  ගැන එම විදේශිකයන් විසින් හෝටල් හිමියන්ට පැමිණිලි කොට තිබේ. එමෙන්ම රාත්‍රී කාලයේ මෙහි ඇතැම් ස්ථානවල සංචාරක ව්‍යාපාරයට මුවාවී අරක්කු, විස්කි, මත්කුඩු, මත්පෙති විකුණති. මත්පෙති ජාවාරමද ජයටම මෙකී කලාපයේ සිදුවේ. මීට මාස තුනකට පමණ ඉහතදී මෙහි හෝටලයක ලැඟුම්ගෙන සිටි විදේශිකයකු හදිසියේම හෝටලය තුළදී මියගියේය. ඔහු සියලුම ආකාරයේ මත්ද්‍රව්‍ය හා පෙති වර්ග පානය කිරීම නිසා මරණයට පත්ව ඇති බව පසුව අනාවරණය විය. මේ තුළින් පැහැදිලි වන්නේ උණවටුන සංචාරක කලාපය තුළ රාත්‍රී කාලයේදී මත්ද්‍රව්‍ය සංසරණය නිදහසේ සිදුවන බවයි.

ඒ විතරක් නොව අධික ශබ්දය නිසා විදේශීය සංචාරකයන් උණවටුන ප්‍රදේශයේ හෝටල්වල ලැඟුම් ගැනීම ද සීමාවී තිබේ. වෙරළ තීරයෙන් ඇතුළට වන්නට පිහිටි විලාවල ගොස් ලැඟුම් ගන්නා මොවුන් වෙරළ තීරයට පැමිණෙන්නේ උදය කාලයේදීය.

මෙකී වෙරළ තීරයේ ඇතැම් හෝටල්වල රාත්‍රී කාලයේ සිට පසුදා පහන්වනතුරු පවත්වනු ලබන සංගීත සාදයන් නිසා විදේශීය සංචාරකයන් පමණක් නොව මෙහි පදිංචිකරුවන්ද ගැටලු රැසකට මුහුණදී සිටිති. මෙකී සංගීත සාදයන් හඳුන්වන්නේ ඩිස්කෝ ඩාන්ස් කියාය. නොඑසේනම් ඩී.ජේ. ගසනවා කියාය. අධි බලැති ශබ්දවාහිනී උපකරණ යොදා ගනිමින් විවෘත භූමියක ඩිස්කෝ සංගීතයක් පැවැත්වීම නිසා විදේශීය සංචාරකයන් මෙන්ම මෙකී ගම්මානයේ ගම්මුන්ද දැඩි අසරණ තත්ත්වයට පත්ව තිබේ.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඩිස්කෝ ඩාන්ස් අවශ්‍ය බව ඇතමුන්ගේ අදහසයි. ඒ ගැන වාදයක් තර්කයක් නැත. ඩිස්කෝ ඩාන්ස් කොළඹ නගරයේ සුපිරි හෝටල්වලද පවත්වයි. වෙනත් රටවලද මෙවැනි සංගීත සාදයන් පැවැත්වේ. එහෙත් ඒවා පවත්වනු ලබන්නේ ප්‍රමිතියකට හා නියාමනයකට යටත්වය. විවෘත නොවූ භූමියක අධික ශබ්දය පිටනොවන අයුරින් ඩිස්කෝ සාදයන් පවත්වයි. ඒ තුළින් මහජනතාවට කිසිදු පීඩාවක් සිදුවන්නේ නැත. එහෙත් උණවටුන වෙරළ තීරයේ සතියේ දින හතේම පාහේ ‍පොල් අතු මඩුවලද රාත්‍රී කාලයේ සිට අලුයම වනතෙක් අධික ශබ්ද නගමින් ඩිස්කෝ සංගීත පවත්වයි. කොටින්ම කිවහොත් එදා තිබූ උණවටුනේ සංචාරක කර්මාන්තය අද උඩුකුරු යටිකුරු වී ඇත්තේය. මෙකී සංගීත රාවයන්ගෙන් නිකුත්වන අධික ශබ්දය නිසා වෙරළ තීරය ආසන්නයේ පිහිටි හෝටල්වල නවාතැන් ගැනීමට විදේශීය සංචාරකයන් පැමිණෙන්නේ නැත. ඩිස්කෝ ඩාන්ස් සඳහා බහුතරයක් වූ විදේශීය සංචාරකයන්ගේ කැමැත්තක් නැත. මේ වනවිට ඩිස්කෝ සංගීත සාදයන් උණවටුන වෙරළ තීරයට වසංගතයක් බවට පත්ව තිබෙ. ගම්මුන්ගේ මෙන්ම සංචාරක කර්මාන්තයේ නිරත බහුතරයක් වූ හෝටල් හිමියන්ගේ දැඩි විරෝධය මෙයට එල්ල වී තිබේ. ඔවුන් මේ ගැන ලිඛිතව ‍පොලීසියටද පැමිණිලි කොට තිබෙ. එහෙත් එය බිරි අලින්ට වීණා වැයුමක් බඳු කටයුත්තක් බවට පත්ව තිබේ. මෙකී ඩිස්කෝ සාදයන් සංවිධානය කරනු ලබන්නේද ඇතැම් සංචාරක හෝටල් හිමියන් විසිනි. ඩිස්කෝ ඩාන්ස් ඉක්මන් මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් බවට ඇතැම් හෝටල් හිමියන් පත්කරගෙන ඇත්තේය. ඩිස්කෝ ඩාන්ස් සාදයන් සංවිධානය කරන හෝටල් හිමියන්ට ‍පොලීසියේ හා දේශපාලනඥයන්ගේ අනුග්‍රහය හිමිවී ඇති බවද දැන ගන්නට තිබේ. 

රාත්‍රී දහයේ සිට අලුයම හය දක්වා කාලය තුළදී අධි බලැති උපකරණයන් මගින් ශබ්ද දූෂණයක් සිදුවන්නේ නම් එය මහජන පීඩාවක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දු කොට තිබේ. ඒ නිසා එම කාලසීමාව තුළදී අධි බලැති උපකරණ යොදාගෙන මෙවැනි කටයුතු කිරීමට ‍පොලීසියට බලපත්‍ර ලබාදිය නොහැකිය.

ජාතික ආගමික කටයුත්තක් සඳහා ‍පොලීසියට මෙවැනි අවස්ථාවකදී යම්කිසි බලපත්‍රයක් නිකුත් කරන්න පුළුවන්. ඒ සඳහා කොන්දේසි පනවලා තියෙනවා. එය කිරීමේදී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටියක්් තියෙනවා. ශබ්දය පිටවන ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් අහන්න ඕන මේ ශබ්දය තුළින් යම් පීඩාවක් ඇති වෙනවාද කියලා. යම්කිසි කෙනෙක් විරුද්ධ නම් ඒ විරෝධතාවය අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන. මෙවැනි නීතිමය තත්ත්වයක් තිබියදී උණවටුන ප්‍රදේශයේ විශාල ශබ්ද දූෂණයක් ඇතිකරවමින් ඩිස්කෝ සංගීතයන් පවත්වනවා. ‍පොලීසිය හා අදාළ ආයතන ක්‍රියාත්මක වන්නේ නැහැ

මේ විදියට සතියේ දින හතේම ඩිස්කෝ ගහන කිසිදු සංචාරක පුරවරයක් නැහැ. ඩිස්කෝ ගැසුවට වරදක් නැහැ. නමුත් ඒක කරන ක්‍රමයක් තියෙනවා. මේ සඳහා නියාමනයක් අවශ්‍යයි. මහජනතාවට පීඩාවක් ඇති නොවන අයුරින් තමයි මේක කරන්න ඕන. නියාමනයක් නීතියෙ තිබුණාට උණවටුනේ ඒක ක්‍රියාත්මක වන්නේ නැහැ. ‍පොලීසියේ හා දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපය තමයි ඒකට හේතුවෙලා තියෙන්නේ. මේ කතාව කියන්නේ උණවටුන සංචාරක ව්‍යාපාරය රැකගැනීමේ සංවිධානයේ සභාපති නීතිඥ රූපසේන කොස්වත්තය.

ඒ විතරක් නොව ඩිස්කෝ සාදයන් තුළ දක්නට ලැබෙන්නේ සුන්දර යොවුන් වියේ පසුවන තරුණයන්ය. මෙවැනි සාදයන් තුළ මත්පෙති හා මත්වතුර සංසරණය වන්නේ ඉතා වේගයෙනි. ඒ විතරක් නොව සමාජ විරෝධී ක්‍රියාවන් රැසක් මෙවැනි සාද තුළ සිදුවන්නේය. මත්පැන් හා මත්පෙති පානය කිරීමෙන් වල්මත්වන තරුණ පිරිස් ඩිස්කෝ සාදයන් තුළදී පණුවන් මෙන් නටති. ඔවුන්ට  ගානක් නැත. කන්බිහිරි කරවන ශබ්දය මේ අයට ගානක් නැත. වසර හතළිහකට අධික කාලයක් තිස්සේ උණවටුණේ පදිංචිව සිටින ජර්මන් ජාතිකයකු අපට හමුවූයේය. ඔහු මේ ගැන නමින් කීමට අකමැතිය. ‍පොලීසියට ගොස් මෙම ජර්මානුවා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මොන පැමිණිලි විරෝධතා ඉදිරිපත් කළද උණවටුනේ ඩිස්කෝ සාදයන් පැවැත්වීම තවමත් නතර වී නැත. උණවටුන සංචාරක කලාපයක් නිසා ඩිස්කෝ සාදයන් පැවැත්වීම අත්‍යවශ්‍ය නම් එය ප්‍රමිතියකින් යුතුව කළ යුතුය.

ලලිත් ඕපාත