Saturday, April 21, 2018
- 0770586666

" ගජමුතු හමුවුණේ ෂොපින් කවරයක දාලා රාජාංගණය ඇළේ පාවෙද්දි" ගල්ගමුවේ ගජමුතු ජාවාරම්කරුවන් බඩුත් එක්කම කොටුවේ - වලානේ සුපිරි මෙහෙයුමක් .!

4701Views

ආන්දෝලනයට තුඩු දුන් ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා ඝාතනයත් සමග ඇත්දළ හා ගජමුතු ජාවාරම පිළිබඳව සමාජයේ අවදානයට ලක් විය. ගල්ගමුවේ දළ පූට්ටූවා හස්තියා ඝාතනය කර තිබෙන බවත් , ඇත් රාජයාගේ ඝාතකයන් හෙළිකර ගැනීමටත් පුරෝගාමී මෙහෙවරක්‌ සිදුකළේ වලාන දූෂණ මර්දන ඒකකයයි. වලාන දූෂණ මර්දන ඒකකය විසින් පසුගිය දිනෙක ගල්ගමුව ප්‍රදේශයෙන් තවත් ගජමුතු ජාවාරම්කරුවන් පිරිසක් කොටු කර ගැනීමට සමත් විය,

ඉකුත් දිනෙක ඔත්තුකරුවෙකුගේ මාර්ගයෙන් වලාන දූෂණ මර්දන ඒකකයට ගජමුතු ජාවාරමක් පිලිබදව තොරතුරක්‌ ලැබෙන අතර, ඉන් කියෑවී තිබුණේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් කිහිපදෙනෙක් එකතුව ගජමුතු ජාවාරමක්‌ සිදුකරන බවය. වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්‍ෂ, සහකාර පොලිස්‌ අධිකාරී හේමාල් ප්‍රශාන්ත වෙත ලැබෙන මෙම තොරතුරින් වැඩි දුරටත් කියෑවී ඇත්තේ එම වටිනා ගජමුතු තුන රුපියල් ලක්‍ෂ පනහකට අලෙවි කිරීමට සූදානම් බවත්ය.
 
 ඒ අනුව ක්‍රියාත්මක වන වලාන දූෂණ මර්දන ඒකකය මෙම වැටලීම සිදුකිරීම පිණිස අතරමැදියන් තිදෙනකු උපයෝගී කර ගන්නා අතර මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඉන් අනතුරුවය.

උපාය දූතයන් මාර්ගයෙන් ගොඩනඟාගත් හිතවත්කම් මත කණ්‌ඩායම් දෙකකින් යුත් පොලිස්‌ නිලධාරීන් පිරිස වැටලීම පිණිස ඉකුත් දිනක ගල්ගමුව ප්‍රදේශයට පිටත්ව යන්නේ ය. එම පිරිස අතරින් පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙක්‌ වෙස්‌ වලා ගනිමින් ගමන පිටත්ව යන අතර ගල්ගමුව නගරයට ගොස්‌ ඔවුන් පළමුව සිදුකර ඇත්තේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් අතුරින් එක්‌ අයෙක්‌ වෙත දුරකථන ඇමතුමක්‌ ලබා ගැනීමය. දුරකථන ඇමතුම් ගත් වෙස්‌වළාගත් පොලිස්‌ නිලධාරීන් ජාවාරම්කරුවන් අමතමින් සඳහන් කර ඇත්තේ ගනුදෙනුව සිදුකිරීමට ඔවුන් සූදානම් බවත් ඒ සඳහා පැමිණිය යුත්තේ කොතැනකටද යන බවත්ය.
 
එයට පිළිතුරු ලබා දෙමින් ජාවාරම්කරුවන් විසින් ගල්ගමුව ආනමඩුව පාරේ එක්‌ ස්‌ථානයකට පැමිණෙන ලෙස වෙස්‌වළාගත් පොලිස්‌ නිලධාරීන් හට ප්‍රකාශ කරන අතර, ලබා දුන් මඟ සලකුණු ඔස්‌සේ ඔවුන් එම ස්‌ථානයට පිටත්ව ගොස්‌ ඇත.
 
පොලිස්‌ නිලධාරීන් දෙදෙනා එම ස්‌ථානයට ළඟා වන විට එහි ජාවාරම්කරුවන් දසදෙනෙක්‌ පමණ රැඳී සිට ඇති අතර, පළමුව ගැනුම්කරුවන් වෙත ඉදිරිපත් කොට ඇත්තේ එක්‌ ගජමුතුවක්‌ පමණය. එය පරීක්‍ෂා කළ ව්‍යාපාරික වෙස්‌ගත් පොලිස්‌ නිලධාරීන් ජාවාරම්කරුවන් අමතමින් පවසා ඇත්තේ තමන් පැමිණියේ ගජමුතු තුනම මිලදී ගැනීමේ සූදානමින් බවය. ඉතිරි ගජමුතු දෙක පෙන්වීම පිණිස කිසියම් කාල වේලාවක්‌ ගත වන බවත්, එය වෙනත් ස්‌ථානයක සිට ගනුදෙනුව සිදුවන තැනට රැගෙන ආ යුතු බවත් ජාවාරම්කරුවන් විසින් ප්‍රකාශ කිරීමත් සමඟ ව්‍යාපාරික වෙස්‌ගත් පොලිස්‌ නිලධාරීන් එම ස්‌ථානයෙන් ඉවත්ව ගොස්‌ ඇත.
 
ඔවුන් එම ස්‌ථානයෙන් පිටත්ව යන්නේ ගජමුතු දෙක රැගෙන ආ පසු නැවත එම ස්‌ථානයට පැමිණෙන බව ජාවාරම්කරුවන්ට වූ පොරොන්දුව පිටය. ඒ වනවිට වෙනත් වාහනයක්‌ තුළ තවත් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ කිසිවකුට සැක නොසිතෙන පරිදි රැඳී සිට ඇත. පැය දෙකක පමණ කාලයකින් අනතුරුව නැවතත් දුරකථන ඇමතුමක්‌ ලැබෙන අතර එම ඇමතුමෙන් කියවී ඇත්තේ ඉතිරි ගජමුතු දෙක රැගෙන ආ බවත් එය පරීක්‍ෂා කිරීම පිණිස කලින් පැමිණි ස්‌ථානයට නැවත වරක්‌ පැමිණෙන ලෙසත් ය.
 
ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස්‌ නිලධාරීන් දෙදෙනා නැවත එම ස්‌ථානයට පිටත්ව යන්නේ දෙවන වර ගෙනෙන ලද ගජමුතු දෙක පරීක්‍ෂා කර බැලීම සඳහාය. එම ගජමුතු දෙක පරීක්‍ෂා කළ පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ඉන් පසුව විමසා ඇත්තේ නියම කරගත් මුදල වන රුපියල් ලක්‍ෂ පනහේ මිලට වඩා අඩුවෙන් ගජමුතු තුන අලෙවි කළ නොහැකිද යනුවෙන්ය. එහිදී ජාවාරම්කරුවන් පිරිස ප්‍රකාශ කර ඇත්තේ එය කිසිසේත් නොකළ හැකි බවත් ගනුදෙනුව සිදුවන්නේ නම් පළමුව මුදල් පරීක්‍ෂා කර බැලීමට ඔවුන්ට අවශ්‍ය බවත් ය. ඒ අනුව වෙස්‌වළාගත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනා පැමිණි වාහනය වෙත පැමිණි සැකකරුවන්ට මුදල් පෙන්වා ඇති පොලිස්‌ නිලධාරීන් දෙවැනි වරට ද එම ස්‌ථානයෙන් පිටත්ව පැමිණ ඇත්තේ ඔවුන්ගේ 'බොස්‌' අතරමඟ ස්‌ථානයක රැඳී සිටින බවත්, ඔහු ද රැගෙන ගනුදෙනුව නිමා කිරීම පිණිස නැවත පැමිණෙන බවත් මුස්‌ලිම් ජාතිකයන් අමතමින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.
 
එලෙස පැමිණෙන පොලිස්‌ නිලධාරීන් දෙදෙනා අතරමඟ වෙනත් වාහනයක රැඳී සිටි කණ්‌ඩායමේ අනෙකුත් සාමාජිකයන් හට එතෙක්‌ වේලා සිදුවූ සියල්ල පවසන අතර, අවසන් අදියර ක්‍රියාත්මක කරන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව සියල්ල සැලසුම් කරන පොලිසිය නැවතත් අදාළ ස්‌ථානය වෙත ළඟා වන්නේ මෙහෙයුමේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීම පිණිසය.
 
ඒ අනුව නැවතත් ජාවාරම්කරුවන් මුණගැසෙන වෙස්‌වළාගත් පොලිස්‌ නිලධාරීන් කිසිදු සැකසංකාවක්‌ ඇති නොවන අයුරින් ජාවාරම්කරුවන් රැඳී සිටි නිවස වෙත පිවිස ඇත. මුදල් ද රැගෙන නිවෙස තුළට යන පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ගනුදෙනුව නිමා කිරීමට සූදානම් වූවා පමණි. එතෙක්‌ වේලා වෙනත් වාහනයක රැඳී සිටි අනෙක්‌ පොලිස්‌ නිලධාරීන් පිරිස එම ස්‌ථානයට ළඟා වී ඇත්තේ ජාවාරම්කරුවන්ට කිසිවක්‌ සිතා ගැනීමටවත් ඉඩක්‌ නොතබමිනි. "දඟලන්න එපා අපි පොලිසියෙන්" කියනවාත් සමඟ ජාවාරම්කරුවන් හිස්‌ ලූ ලූ අත දුවන්නට ගෙන ඇති අතර පොලිසියෙන් මිදී පලායැම ඔවුනට පහසු කාර්යයක්‌ වී නැත. පලා යන සැකකරුවන් පසුපස පන්නන පොලිසිය පලා ගිය පිරිස අතරින් වැඩි කොටසක්‌ අත්අඩංගුවට ගන්නා අතර ගනුදෙනුව සිදුකළ නිවස වෙත ගජමුතු තුන රැගෙන ආ ජාවාරම්කරුවන් ද ඒ අතර සිට ඇත.
 
අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු තුන සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් වැඩිදුරටත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත. එහිදී සැකකරුවන් විසින් ප්‍රකාශ කර ඇත්තේ පොලිස්‌ අත්අඩංගුවට පත් ගජමුතු තුන රාජාංගණය ඇළේ ෂොපින් කවරයක බහා තිබියදී තමන්ට හමු වූ බවක්‌ ය.

 


 

YOU MAY ALSO LIKE