Tuesday, November 13, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" ලෝක කුසලානය දිනන්න බැරි වුනොත් අවසන් තරගයට හරි ශ්‍රී ලංකාව ගෙනියන්න බලනවා" රටේම බලාපොරොත්තුව - හතුරුසිංහ සැළසුම් සැදීම අරඹයි .!

4762Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී තිබෙන අභාග්‍ය සම්පන්න ඉරණමෙන් ගොඩ ගැනීමට හැකි යැයි මුලු රටම විස්වාස කරනා වීරයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණ තිබේ. ඒ ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු ලෙස වැඩ භාරගත් චන්දික හතුරුසිංහයි. පසුගියදා ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස වැඩ භාරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ආදරණීය හතුරු , පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව අපූරු කරුණු රැසක් හෙළිකර තිබුණා,

එම සංවාදය පහතින්,

නැවතත් පැමිණ ලංකාවේ තනතුරක් භාරගත්තා නේද? ඒ සම්බන්ධව මොනවද කියන්නේ?

ඇත්තටම මම ඒ ගැන යම් තරමකට පුදුමයකට පත්වෙනවා වගේම ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ආඩම්බරයට පත්වෙනවා.

එළැඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන බවට ඔබ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ගිවිසුමකට එළැඹ සිටියා. ඊට පෙර එම තනතුරෙන් ඉවත්වීමේදී ඔබට කුමන හෝ අයුරින් ප්‍රශ්නයක් මතුවුණේ නැද්ද?

නැහැ. කිසිම ප්‍රශ්නයක් මතු වුණේ නැහැ. මමයි කීවේ මට අස්වෙන්න අවශ්‍යයි කියලා. මම ඔවුන් සමඟ අස්සන් කරපු ගිවිසුම අනුවත් මට අවශ්‍ය ඕනෑම වෙලාවක මාස තුනක් කලින් දැනුම් දීලා ඉල්ලා අස්වීමේ අවස්ථාව තිබුණා.

ඔබ බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරුවා ලෙස එරට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවෙත් සාමාජිකයකු ලෙස කටයුතු කළා. ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට ඇතුළත් වෙන්නට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පවා වෙනස් කිරීමට සිදු වී තිබෙනවා නේද?

ඔව්. එවැනි වෙනසකට යන්න සිදුවෙලා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරිනුත් පැවැසුවා. නමුත් බංග්ලාදේශ රටේ නීතිය බැලුවම ජාතික ක්‍රිකට් පුහුණුකරුවාට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකත්වය දැරීමට බාධාවක් තිබුණේ නැහැ. අපේ රටේ ක්‍රීඩා නීතියත් එහාට වඩා වෙනස් නේ.

කොහොම නමුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙක් විය යුතුයි කියන ඔබේ ඉල්ලීමක් අනුවද ක්‍රිකට් නීතිය වෙනස් කරන්න සිදුවෙලා තියෙන්නේ?

ඔව්. කණ්ඩායමේ දක්‍ෂතා සම්බන්ධව වගකීම මට පැවැරෙනවා නම් මටත් ඊට අදාළ ක්‍රීඩකයන් ගැන කතා කිරීමේ අයිතියක් තියෙන්න ඕන. එහෙම නැතිව ප්‍රතිඵලය දිහා පමණක් බලල ඒකෙ වගකීම මට ගන්න කියන එක සාධාරණ නැහැනේ. වෙන අය ක්‍රීඩකයෝ තෝරල ඒකෙ වගකීම මට ගන්න බැහැනේ.

ඔබ සිතන විදියට මුල් අවධියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මොන වගේ අංශයන් ගැනද වැඩි අවධානයක් යොමු කළ යුත්තේ කියලා අදහස් කරන්නේ?

පළමුවෙන්ම මම දකින විදියට අපේ කණ්ඩායමට නිවැරදි ස්ථාවර සම්බන්ධතාවන් අවශ්‍යයි. අපි යන රට අනුව අපිට හමුවන ප්‍රතිවාදියාට අනුව මොන විදියේ ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත යුුතු දැයි අවබෝධයක් ලබාගන්න ඕන. අනෙක අපේ තරග සැලැස්මට අනුව කුමන ක්‍රීඩකයන් හරහා එම සැලැස්ම ජයග්‍රහණයක් කරා මෙහෙයවන්න හැකියාව ලැබෙනවද කියන තීරණයකට එන්න ඕන. අනෙක එක්දින තරගාවලියන් සලකා බැලුවොත් ඊළඟ ලෝක කුසලාන තරගාවලියට යන ගමන සාර්ථක කරගන්න පුළුවන් විදියට සැලසුමකින් වැඩ කරන්න ඕන. ටෙස්ට් ක්‍රිකට් ගත්තොත් ප්‍රතිවාදියාට අනුව අපේ සැලසුම් සකස් කර ගැනීම අවශ්‍යයි. අනෙක් වැදගත් කාරණය තමයි කණ්ඩායමේ නිසි සංස්කෘතියක් ගොඩනඟාගන්න ඕන. ඕනෑම කණ්ඩායමකට කණ්ඩායම් සංස්කෘතිය ප්‍රධානම අවශ්‍යතාවක්. එම කණ්ඩායමේ සංස්කෘතිය ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන්ගේ මෙහෙයවීම යටතේ ගොඩනැඟිය යුත්තක්. ඒක තේරීම් කමිටුවවත්, පාලකයොවත් නැත්නම් මාධ්‍ය විසින්වත් කළ යුත්තක් නොවෙයි. යහපත් කණ්ඩායම් සංස්කෘතියක් ඇති තැන ක්‍රීඩකයන්ටත් යහපතක් ඇතිවෙන එක නියතයි. ඒ අනුව මගේ භූමිකාව වෙන්නේ ක්‍රීඩකයන් හරි මඟට යොමු කරගෙන ඔවුන්ට යහපත් පරිසරයක් සකස් කරදෙමින් ඉදිරියට යෑමයි.

ඔබේ සැලසුම් ගැන කතා කළාම අවසන් වරට කටයුතු කළේ බංග්ලාදේශ කණ්ඩායමත් සමඟයි. ඔබට පළමු රාජකාරිය ලෙස සංචාරය කරන්න ලැබෙන්නෙත් බංග්ලාදේශයටමයි. ඒ අනුව ඒ කළ සැලසුම් ලංකාවටත් අනුගත කරන්න අදහසක් තියෙනවද? නැත්නම් මෙහිදී වෙනත් සැලසුම් ගැන අත්හදා බැලීමක් සිදුවෙනවාද?

ඒ කණ්ඩායම පුහුණු කළ විදියට මේ කණ්ඩායම පුහුණු කරන්න බැහැ. මේ කණ්ඩායම පුහුණු කරන විදියට නිව්සවුත්වේල්ස් කණ්ඩායම පුහුණු කරන්න බැහැ. හේතුව කණ්ඩායමක් පුහුණු කරනකොට ඒ කණ්ඩායමට තිබෙන දක්‍ෂතාවන්, ඔවුන් සතුව තිබෙන සම්පත්, ඔවුන්ට තිබෙන තුරුම්පු, ඒ වගේ ඔවුන් සතු පරිණත බව යනාදී කරුණු ගැන පුහුණුකරුවා දැනගන්න ඕන. එහෙම බලල තමයි කණ්ඩායමකට තරග සැලසුමක් හදන්න ඕන. දැන් ඕස්ට්‍රේලියාව ගහන විදියට අපට ගහන්න බැහැ. තවත් කණ්ඩායමක් අනුකරණය කරලා අපිට ගහන්න බැහැ. එයාලාගේ කණ්ඩායමේ ඉන්නවා පැයට කිලෝමීටර් 150ට පන්දු යවන තුන් දෙනෙක්. ඒ වගේම ගොඩක් උස ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාව සතුයි. අපිට තියෙන සම්පත් අනුවයි අපේ කණ්ඩායම හදාගන්න වෙන්නේ. එහෙම වුණාම සමහර රටවලට එරෙහිව අපි දක්‍ෂතා පෙන්නුවත් තවත් සමහර රටකට එරෙහිව අපි දක්‍ෂතා නොපෙන්වන්න පුළුවන්. අපිට තියෙන අවස්ථාව සහ අභියෝග මොනවාද කියලා අපි හඳුනාගන්න ඕන. ඒ අනුවයි තරග සැලැස්මක් සාදාගත යුත්තේ. ඒවා ගැන තමයි මම බලන්නේ.

අනෙක් කාරණය ශ්‍රී ලංකාවාසීන් ඔබ ගැන අධික බලාපොරොත්තු තබා තිබෙනවා. මේ තත්ත්වය ඔබට මානසිකව පීඩාවක් ගෙනදීමට හේතුවක් වේවිද?

නැහැ. මට නම් ඒක ප්‍රශ්නයක් නොවෙයි. අනෙක ඒ අධි බලාපොරොත්තුව කිසිසේත්ම මට පීඩනයක් නොවෙයි. මොකද මම දන්නවා මට කරන්න පුළුවන් මොනවද කරන්න බැරි මොනවද කියලා. මට පුළුවන් දේවල් මම කරන තාක්කල් මට කිසි දෙයක් අභියෝගයක් නොවෙයි කියලා මම විශ්වාස කරනවා.

බංග්ලාදේශ පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමේදී එරට තරුණ ක්‍රීඩකයන් සොයා ගොස් ඔවුන්ට අවස්ථාව ලබා දෙමින් තේරීම් කමිටුව සමඟ වාද විවාදවල පැටලෙමින් පවා කටයුතු කළ අවස්ථා තිබුණා. ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ඔබේ ආකල්පය සහ ඊට අදාළ සැලසුම් මොනවාද?

සමහර දේවල් ගැන දැන්ම කතා කරන එක ඔබටත් මටත් වැඩක් වෙන්නේ නැහැ. ඉදිරියට යන ගමන ගැන හිතුවොත් යම් ක්‍රීඩකයෙක් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් කියලා මම දැක්කොත් මම ඔහු වෙනුවෙන් පෙනී සිට ඒ වෙනුවෙන් සටන් කරලා ඔහුගේ දායකත්වය කණ්ඩායමට ලබා ගන්න නොබියව අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නවා.

ඉන්දියාවේ අයි.පී.එල්. තරගාවලියත් බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. තරගාවලියත් යන දේශීය තරගාවලි දෙස බැලුවාම ඒවායේ දායකත්වය රටේ ක්‍රිකට්වලට කුමන අන්දමින් බලපානවා කියලද ඔබ හිතන්නේ?

ඉන්දියාවේ ක්‍රිකට් මේ තත්ත්වයට ගේන්න අයි.පී.එල්. තරගාවලිය සෑහෙන උදව්වක් වුණා. මොකද ලෝකෙම ඉන්න දක්‍ෂ ක්‍රීඩකයෝ එක්ක එකතු වෙලා ක්‍රීඩා කළාම තමන් ඉන්නේ කොතැනද කියන තක්සේරුව ලබාගන්න පුළුවන්. ඉන්දියානු ක්‍රීඩකයෝ ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ ක්‍රීඩාවේ ගොඩාක්ම තියෙන්නේ මානසික තත්ත්වය කළමනාකරණය කරගැනීමයි. ඒ වගේම බංග්ලාදේශයේ බී.පී.එල්. තරගාවලියේදී විදෙස් ක්‍රීඩකයෝ පස් දෙනෙක්ට කණ්ඩායමකට ක්‍රීඩා කරන්න මෙවර අවස්ථාව ලබා දුන්නා.

අපේ රටෙත් ඒ වගේ තරගාවලියක් දියත් කළොත් හොඳයි කියන මතයේද ඔබ ඉන්නේ?

එක වචනයෙන්ම කීවොත්...ඔව්..

එවැනි තරගාවලියකට අපේ රටකින් ක්‍රීඩකයෙක් යැව්වාම අපි වැනි කණ්ඩායමකට පාඩුවක් නොවෙයිද?

ඒක දැන් කාලේ නවත්වන්න බැහැ. ඒ තරමටම තාක්‍ෂණය දියුණුයි නේ. අලුතෙන්ම යන කෙනකුට ප්‍රශ්නයක් නැහැ. පළමු තරගාවලියේදී හඳුනාගන්න අපහසු වුණාට පසුව ඔහුගේ දක්‍ෂතා හඳුනාගන්නවා. මතකද අජන්ත මෙන්ඩිස් පළමු තරගාවලියේදී තරගාවලියේ වීරයා, ලෝක වාර්තා තිබ්බා. ඊට පසුව ක්‍රීඩකයා කවුද මොන වගේද කියලා සොයාගන්නවා. අද කාලේ තොරතුරු ගැනීම වළක්වන්න බැහැනේ.

ඔබේ බලාපොරොත්තු සපුරමින් අනාගතයේ යහපත් ගමනක් යන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ බලාපොරොත්තු ඉටුවන ගමනක් යන්න ලැබේවි කියලා ඔබ විශ්වාස කරනවාද?

ඔව්. දැඩි විශ්වාසයක් තිබෙනවා. මට මේ කණ්ඩායම සෑහෙන දුරට ගෙනියන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.

ඔබට තිබෙන ප්‍රධානම ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් කිරීමයි. ඒ සඳහා ඔබට ලැබී තිබෙන කාලය ප්‍රමාණවත්ද?

මදි වුණත් මට කාලය තවත් ලැබෙන්නේ නැහැනේ. (සිනාසෙමින්). ඇත්තටම මට කාලය ඇති. මම නිතරම ධනාත්මකයි. මට තියෙන්නේ් මොනවද මම ඒකෙන් තෘප්තිමත් වෙලා කරන්න පුළුවන් උපරිම කරනවා. මං හිතනවා කාලය ඇති. මේ වගේම කාලයක් තමයි බංග්ලාදේශ පිලත් එක්ක මට ලැබුණේ. 2014 ජුනි ඒ කණ්ඩායම භාරගෙන 2015 මාර්තු මාසයේදී ලෝක කුසලානයට ගියා. මීටත් අඩු කාලයක් ලැබුණේ. එහිදී අපි ඕස්ට්‍රේලියාවේදී අර්ධ අවසන් පූර්ව වටයට ගියා. මම කියන්නේ නැහැ 2019 ලෝක කුසලානය දිනන්න පුළුවන් කියලා. ඒත් අඩු තරමේ අවසන් මහා තරගයට හෝ අවසන් පූර්ව තරගයට යන්න බලනවා. අනාවැකි කියන්න කැමැති නැහැ. නමුත් දැනට වඩා හොඳ තත්ත්වයකට අපි යනවා කියන එක විශ්වාසයි.

 

 

 සංවාදය : සිරිනාම රාජපක්‍ෂ / මවුබිම

YOU MAY ALSO LIKE