Friday, October 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මට උඹත් එක්‌ක ප්‍රශ්නයක්‌ තියෙනවා බේරගන්න උඹ ගණන්කාරයෙක්‌ නම් පහළට වරෙන්" එක් සිසුවෙකුගේ ජීවිතය අහිමි වී තවත් සිසුවෙක් සිරගත වූ පාසල් සිසුන්ගේ අවාසනාවන්ත ගැටුම .!

3942Views

පාසල් සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකුගේ ජිවීතය අහිමි වි , තවත් සිසුවෙකු බන්ධනාගාර ගත වීමට සිදුවූ පුවතක් වාර්තා වේ. ක්ෂණික ආවේගයන් පාලනය කර ගැනීමට නොහැකිව රටේ අනාගතය භාර ගැනීමට සිටි තරුණයන් දෙදෙනෙකු අතර සිදුවූ මේ මහා විනාශය අවසන් වන්නේ තරුණ පරපුරට මෙන්ම සමාජයටම පාඩමක් උගන්වමින්. 

මෙම සිදුවීමෙන් ජිවීතය අහිමි වන්නේ බෝපගේ ප්‍රමෝද් කාවින්ද නමැති දාහත් හැවිරිදි පාසල් සිසුවෙකුටය. ගෝනාපීනුවල, හැරිස්‌ලන්ඩ්වත්ත ගම්මානයේ පදිංචිව සිටි ප්‍රමෝද් කාවින්ද හා කවීන් එරංග ගජමිතුරන්ය. ප්‍රමෝද් කාවින්දගේ වයස අවුරුදු දාහතකි. ඔහු අ.පො.ස. සා. පෙළ විභාගයට පෙනී සිට රැකියාවක්‌ බලාපොරොත්තුවෙන් සිටියේය. කවීන් එරංග අ.පො.ස. සා. පෙළ විභාගයට පෙනී සිටියේ ඉකුත් වසරේය. ඔහු දාසය හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවෙකි. අ.පො.ස සා. පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු එරංග කාර්මික පාඨමාලාවක්‌ හදාරමින් සිටියේය.

මෙම මිතුරන් දෙදෙනාගේ නිවාස පිහිටා තිබුණේ එක ළඟය. ඒ විතරක්‌ නොව මෙකී මිතුරන් දෙදෙනා තම ඡායාරූප මුහුණු පොතේ ද පළ කොට තිබුණි. කෙසේ වෙතත් එලෙසට ගජමිතුරන්ව සිටි ප්‍රමෝද් කාවින්ද හා කවීන් එරංග අමනාප වීමට ද වැඩි කාලයක්‌ ගියේ නැත. සුළු ප්‍රශ්නයක්‌ මුල්කරගෙන මෙම අමනාපය ඇතිවිය. ඉන්පසු එරංග කාවින්ද සමඟ ඇසුරට ගියේ ද නැත. දෙදෙනා අතරමඟදී හමුවුණ ද කතාබස්‌ කළේ ද නැත. දෙදෙනා අතර පැවති අරෝව මේ දෙදෙනාගේ මිතුරන් ද දැන සිටියහ.
 
"උඹ දැන් ඉන්නේ ලොකු ලයින් එකෙන්. උඹ ගාණට වඩා වැඩියි." ප්‍රමෝද්, එරංගට කිහිප අවස්‌ථාවකදීම කීවේය. කවින් ද ඒ සඳහා ප්‍රතිචාර දක්‌වමින් නොයෙකුත් කතා කියන්නට විය. මේ දෙදෙනා අතර පැවති මිතුදම බද්ධ වෛරයක්‌ බවට පත්වීමට ද වැඩි කාලයක්‌ ගියේ නැත. දෙදෙනාගේම හිත්වල වෛරය බුර බුරා නැඟෙන්නට විය. "උඹ මහ නපුංසකයා. උඹට හොඳ වැඩක්‌ කරන්නේ. ආදී දේවල් ප්‍රමෝද්" , කවීන්ට කිහිප විටක්‌ම කීවේය.
 
නපුංසකයා කියූ කතාව කවීන්ට ගෙන ආවේ දැඩි කෝපයකි. මේ කතාවට ඔහු ප්‍රමෝද් සමඟ දැඩි ලෙස වෛර බැඳගත්තේය. කවීන් හමුවූ හැම විටම නපුසංක කතාව ප්‍රමෝද් කීවේය.
 
ඉකුත් දිනක ප්‍රමෝදගේ ජංගම දුරකථනයට කවීන් දුරකථන ඇමතුමක්‌ ගත්තේය. "මට උඹත් එක්‌ක ප්‍රශ්නයක්‌ තියෙනවා බේරගන්න උඹ ගණන්කාරයෙක්‌ නම් පහළට වරෙන්" කවින් කීවේය. මෙකී දුරකථන ඇමතුම ලැබෙන විට ප්‍රමෝද්ගේ මිතුරන් සිවු දෙනකු ද සිටියහ. 'මචං කවින් කතා කරනවා මොකට ද දන්නේ නැහැ' ප්‍රමෝද් මිතුරන් සමඟ කීවේය. ඒ වන විට ප්‍රමෝද් කෙරෙහි කවීන්ගේ සිතේ හටගත් වෛරය බුර බුරා නැඟෙන්නට විය. අද නම් දෙකෙන් එකක්‌ බේරාගන්න ඕන කවීන් එසේ සිතන්නට ඇත.
 
කවීන් කිණිස්‌සක්‌ ඉනේ ගසාගෙන පහළට ගියේය. ප්‍රමෝද් වත්ත පහළට ආවේය. මිතුරන් එම ස්‌ථානයට ආවේ නැත. ඔවුන් පැත්තකට වී සිටියහ. වත්ත පහළදී ප්‍රමෝද් හා කවීන් එරංග අතර බහින් බස්‌විමක්‌ ඇතිවිය. ඒ ගැටුම දුරදිග යන්නට වැඩි වේලාවක්‌ ගතවූයේ නැත. ඒ සමඟ කවින්  සඟවාගෙන පැමිණි කිණිස්‌සෙන් ප්‍රමෝද්ට අනිනු ලැබීය. ප්‍රමෝද් බිම ඇදවැටුණේය. මෙකී ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ප්‍රමෝද්  ආරච්චිකන්ද රෝහලට රැගෙන යනු ලැබීය. ඉන්පසුව ඔහු ආරච්චිකන්ද රෝහලෙන් කරාපිටිය ශික්‌ෂණ රෝහලට මාරුකරනු ලැබීය. 
 
ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි ප්‍රමෝද් රෝහලේදී මියගියේය. සුළු සිද්ධියක්‌ මෙන්ම මිතුරා තුළ පැවති ක්‌ෂණික කෝපය නිසා අවසානයේ ප්‍රමෝද්ට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. 
 
මෙකී ඝාතනය සම්බන්ධයෙන් කවීන් එරංග හික්‌කඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාරගත කරනු ලැබිය.

කලක් හොදම මිතුරන්ව සිටි සිටි මෙම පාසල් වයසේ දරුවන් දෙදෙනා ක්ෂණික ආවේගයන් පාලනය කර ගැනීමට නොහැකිව සිය ජීවිතය විනාශ කර ගත්තේ සමාජයටම වටිනා පාඩමක් ඉතිරි කරය.

YOU MAY ALSO LIKE