Friday, October 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" මම යුනිෆෝම් එක පිටින්ම සුදර්ශියට එනවා, පාසලේදි වත් ඊට පස්‌සෙවත් මගේ ආදර සම්බන්ධයක්‌ තිබිලා නෑ" නයනා කුමාරි අතීතයේ රසතැන් මතක් කෙරූ හැටි .!

3206Views

නයනා කුමාරි ජනප්‍රිය රංගන ශිල්පිණිය කාලෙන් කාලෙට කතාබහට ලක්වන චරිතයක්. සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වන නයනා කුමාරි සිය යොවුන් විය පිළිබද අපූරු මතකයන් රැසක් දිගහැර තිබුණා.
එම සංවාදය පහතින් ,

 

බඩපිස්‌සි කාලෙ

මගේ පාසල් කාලය වගේම ඉන් පස්‌සෙත් ගෙවුණෙ නාට්‍ය කලාවත් එක්‌ක. මම කලාවට සම්බන්ධ වෙනකොට සාමාන්‍ය පෙළවත් කරලා නෑ. මම පාසල් යන කාලෙදිම නාට්‍යකරණය පාඨමාලාවක්‌ හැදැරුවා. ඉතිං මම යුනිෆෝම් එක පිටින්ම සුදර්ශියට එනවා. එතන ළමයි 300 විතර සිටියා. මගේ ඔළුවෙ තිබුණෙ නාට්‍ය විතරයි. මං හිතන්නෙ ඒ හොඳම කාලෙ ගත වුණේ කලාවත් එක්‌ක කියලයි.

පාසල

මගේ පාසල බත්තරමුල්ල මධ්‍ය මහා විද්‍යාලය. පාසල් යන කාලෙ මම ක්‍රීඩාවට තමයි හුඟාක්‌ම දක්‍ෂ. ඒ වගේම මුළු දවසම මම හිටියෙ පිට්‌ටනියෙ. ඒ කාලෙ මම කොල්ලෙක්‌ වගේ කොණ්‌ඩෙ කොටට කපලා හිටියෙ. අව්වට හම පිච්චිලා කැත වෙයි කියලා සිතුවිල්ලක්‌ ඒ කාලෙ තිබුණේ නෑ. මුළු දවසෙම අව්වෙ සෙල්ලම් කරනවා. මම ක්‍රීඩිකාවක්‌ විදිහට පාසලේ ජනප්‍රිය චරිතයක්‌. 'නෙට්‌බෝල්' තමයි මම සෙල්ලම් කරේ.

බලාපොරොත්තු

අපිට ක්‍රීඩා ඉගැන්නුව ටීචර් හරිම ලස්‌සන, කරුණාවන්ත කෙනෙක්‌. ඉතිං මටත් ඕන වුණා කවදා හරි ටීචර් වගේ වෙන්න. මගේ ලොකුම බලාපොරොත්තුව වුණේ ක්‍රීඩා ගුරුවරියක්‌ වෙන එක.

යාළුවෝ

පුංචි කාලෙ ඉඳන්ම මගේ හොඳම යාළුවා තමයි 'රුවිනා' එයා මුස්‌ලිම් කෙනෙක්‌. අදටත් අපේ යාළුකම තියෙනවා. ඊළඟට දීපහානි, දිනේෂා, ගයනි තමයි මගේ යාළුවෝ.

කල්ලි ගැසුනු තැන්

අපිට එහෙම ගෙවල්වලින් කොහේවත් යන්න දුන්නෙ නෑ. අපි එහෙම ගියෙත් නෑ. අපේ ඉස්‌කෝලෙ නිතරම නාට්‍ය පෙන්නුවා. ඉතිං අපි එනවා නාට්‍ය බලන්න. ඒවා වරද්දන්නෙ නෑ. ඒ වගේම ක්‍රීඩා උත්සවය තියෙන කාලෙට අපි රෑටත් නැවතිලා ඒ වැඩ කටයුතු කරනවා. එතකොට ඉස්‌කෝලෙ පිරිත් තියෙනවා. ඒවට එනවා. ඒ ඇරුණාම අපි එහෙම කල්ලි ගැහිලා කොහේවත් ගියේ නෑ.

පටබැඳි නම්

අපෝ මට නම් කීපයක්‌ම කිව්වා. එකක්‌ තමයි නෑඹිලි කට්‌, අනිත් නම තමයි 'අල නැති ගාල' එහෙම හැදුනෙ අපේ පන්තියෙ ටීචර් කිව්වා ඉස්‌කෝලෙ හිටවන්න මල් ජාති අරගෙන එන්න කියලා. එක එක්‌කෙනා මල් වර්ග බෙදා ගත්තා. මම කිව්වා අපේ වත්ත පහළ තිත් තිත් හබරල තියෙනවා. ඒවා හරිම ලස්‌සනයි මම ගේන්නම් කියලා. ටීචර් හා කිව්වා. මම වත්ත පහළට ගිහින් හබරල ගැලෙව්වා. නමුත් පඳුරු ගැලවිලා ආවෙ නෑ. කොළ විතරයි ආවේ. මම ඒ ඔක්‌කොම ඉස්‌කෝලෙට අරගෙන ගියා. ටීචර් ඒවා බලලා කිව්වා 'නයනා මේ මොනාද මේ අල නැති ගාලක්‌ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ කියලා' එදා ඉඳන් කොල්ලො මට කිව්වෙ 'අල නැති ගාල' කියලා.

ආදර සම්බන්ධතා ?

පාසලේදි වත් ඊට පස්‌සෙවත් මගේ ආදර සම්බන්ධයක්‌ තිබිලා නෑ.

විනෝදාංශ

රඟපාන එක තමයි මගේ ලොකුම විනෝදාංශය. ඊට අමතරව නාට්‍ය බලනවා. ටී වී එකේ යන චිත්‍රපට බලන එකත් විනෝදාංශයක්‌.

අත්දැකීම්

ඉස්‌සර ටී වී එකේ යන චිත්‍රපට බලලා ඒ කතාව පහුවදා ඉස්‌කෝලෙ ගිහින් කියන පුරුද්දක්‌ මට තිබුණා. හැබැයි චිත්‍රපටියෙ භාගයක්‌ බලනකොට මට නින්ද යනවා. ඒ වුණාට මම ඉතුරු ටික ගොතල කියනවා. කොහොම හරි කතාව කියලා මම පන්තියෙ කෙල්ලො කොල්ලො අඬවනවා. දවසක්‌ මම කතාවක්‌ කිය කිය ඉන්නකොට පන්තියට ටීචර් ආවා. එයා දන්නවා මම චිත්‍රපටි කතා කියනවා කියලා. පන්තියට ටීචර් ආවත් මම දිගටම කතාව කියාගෙන ගියා. අන්තිමේදි ටීචර් මට හුනු කෙට්‌ටෙන් දමල ගැහුවා. මාව හුනුවලින් නෑවිලා ගියා. ඒවා ඉතිං හරිම සුන්දර අත්දැකීම්. ආ මම ඔය චිත්‍රපටි කතා කියලා සල්ලිත් හම්බුකරා.

දෙමවුපියෝ

අපේ පවුලෙ කෙල්ලො හතර දෙනයි. අපි ඔක්‌කොටම එක වගේ ඇඳුම් මහලා දෙනවා. අක්‌කලාට අරන් දෙන හැම දේම මටත් අරන් දෙන්න ඕන. මම බොහොම නිදහසේ මගේ ළමා කාලය ගෙවපු කෙනෙක්‌. හොඳට සෙල්ලම් කරල දුවලා පැනලා මම බොහෝම හොඳින් මගේ ළමා කාලය විඳපු කෙනෙක්‌. මගේ දෙමවුපියෝ එහෙම නීති රීති දාලා අපිව කොටු කරලා හැදුවෙ නෑ. නමුත් කවදාවත්ම අපි වැරදි වැඩක්‌ කරලත් නෑ.

අහල පහල අය

මම අහල පහල අය අතර බොහොම ජනප්‍රිය කෙනෙක්‌. මං පුංචි කාලෙ මට හොඳට කැවුම් පුච්චන්න පුළුවන්. ඉතිං ගමේ වැඩිහිටියෝ පවා මාව එක්‌කං යනවා කැවුම් පුච්ච ගන්න. ඒ නිසා මම කා අතරත් හිත දිනාගත්ත ජනප්‍රිය චරිතයක්‌.

 


 

සංවාදය ; මාලක නන්දන , දිවයින

YOU MAY ALSO LIKE