Tuesday, February 20, 2018
- nethgossip.lk@gmail.com

‘‘සමහරු තවමත් ඉන්නවා මගේ ඇඳුම් ඇඳගෙන මාව දන්නේ නැතිව වගේ.‘‘ කලින් කලට අතුරුදහන් වෙන නිරෝෂා නැවතත් කරළියට.

2683Views

නිරෝෂා පෙරේරා කියන්නෙ තරුණ පරපුරේ ඉන්න ජනප්‍රිය චරිතයක්. කාලයෙන් කාලයට පුවත් මවන ඇය පහුගිය කාලයේනම් අපිට දැකගන්න ලැබුනෙ නෑ. හිටපු ගමන් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් ආයෙමත් අතුරුදහන් වෙන ඇය පසුගියදා පුවත් පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙන් තමන්ගේ කතාව කියලා තිබුනෙ මේ විදියට.

 

නිරෝෂා කොහොමද ගෙවීගිය වසර?

ඔව්. ඉතිං හොඳයි. මට ඉතිං හැමදාම හොඳයිනේ. දෙවියන්ගේ පිහිටෙන් හැමදේම සිද්ධවෙන්නෙත් මගේ හොඳටනේ.

අලුත් අවුරුද්දේ අලුත් වැඩගොඩකට අතගහලා කියන්නේ ?

මම එහෙම කිසිම දෙයක්‌ සැලසුම් කරලා කරන චරිතයක්‌ නෙමෙයි. හැමදේම වෙන්න තියෙන විදිහට තමයි සිද්ධවෙන්නේ. එතකොට අපිට සමහර දේවල්වලට තදබල වුවමනාවක්‌ තියෙනවා නම් වෙනස්‌ කරගන්න පුළුවන්. අපි හිතමු විවාහ වෙන්න අවස්‌ථාව තියෙනවා. නමුත් තදබල අකමැත්ත නිසා විවාහ නොවී ඉන්නවා. ඒවගේ දේවල් තියෙනවා.

කිව්ව වගේම 2018 දී වත් විවාහ වෙන්න තදබල වුවමනාවක්‌ නැතිද?

විවාහ වෙන්න වුවමනාවක්‌ තියෙනවා. මම කිව්වානේ සමහර දේවල් තියෙනවානේ අපි හිතන විදිහටම සිද්ධවෙන්නේ නැහැ කියලා. අපිට ලැබෙන හැමදේම භාරගන්නේ නැහැනේ. අපිට වුවමනාවක්‌ නැතිනම් අපි ඒවා මගහරිනවා. ඉතිං ඒවගේ දෙයක්‌ තමයි විවාහය කියන්නේ. ඔය වගේ මම මගහැරපු තව දේවල් තියෙනවා. හැමෝම හිතන්නේ විවාහය විතරයිනේ.

නිරෝෂා පෙරේරාගේ ජීවිතයේ මගහැරපු දේවල් අනන්තයි, අප්‍රමාණයි. එහෙමද?

ඔව්. වුවමනාවෙන් මගහැරපු, අතහැරපු දේවල් අනන්තවත් තියෙනවා. එහෙම නැතිනම් මම මේ වෙනකොටත් විදේශයක තමයි ජීවත්වෙන්න ඕනෑ.

2018 චිත්‍රපටයකට දායකවෙන්න යනවා කියලත් ආරංචියි ?

ගිය අවුරුද්දේ චිත්‍රපට දෙකක්‌ කිරීමට තිබුණා. හැබැයි ඒ දෙකම මේ අවුරුද්දට කල්ගියා.

නිරෝෂා සෑහෙන කාලයකින් නේද චිත්‍රපටයකට දායකවුණේ ?

මම සෙවනැලි කළේ 2013 අවුරුද්දේ. ඊට පස්‌සේ කන්දක්‌සේමා කළේ 2014 අවුරුද්දේ. ඊට පස්‌සේ ඇත්තටම වැඩකට සම්බන්ධවුණේ නැහැ. මම හිතන්නේ සෑහෙන කාලයකින් තමයි වැඩක්‌ භාරගත්තේ.

ඇයි මේ ඕනෑවට එපාවට වැඩ කරන්නේ ?

ඕනෑවට එපාවට නෙමෙයි ඕනෑ නම් වැඩකරනවා. එපානම් නොකර ඉන්නවා. හැබැයි භාරගන්න වැඩේ මම කවදාවත් ඕනෑවට එපාවට කරන්නේ නැහැ. මම එක්‌ක වැඩකරපු ඕනෑකෙනෙක්‌ ඒක හොඳින් දන්නවා. මට හිතෙන්න ඕනෑ දෙයක්‌ කරන්න. ගොඩක්‌ දෙනෙක්‌ මට කියන කතාවක්‌ තමයි හැමෝම කාර්යබහුලවෙන්න හදනකොට ඔයා නිදහසේ ඉන්න හදනවා කියලා.

නිරෝෂා නිදහස හොයන චරිතයක්‌ ?

අපොයි ඔව්. මොනවා තිබුණත් වැඩක්‌ නැහැනේ හිතට නිදහසක්‌ නැතිනම්. මට නම් එහෙමයි. මම දන්නේ නැහැ වෙන අයට කොහොමද කියලා.

ඔබ ජනප්‍රියත්වයට අකමැතිද?

ජනප්‍රිය වෙන්න තියෙන කෙනා කොහොමත් ජනප්‍රිය වෙනවානේ. කෙනෙක්‌ ජනප්‍රිය වෙන්න තියෙනවා නම් ඒක වළක්‌වන්නත් බැහැනේ.

නිරෝෂා කරපු පොඩි වැඩ ටිකකින් ජනප්‍රිය වුණා නේද?

ඒක ඇත්ත. මම කරලා තියෙන්නේ අඩුවැඩ ටිකක්‌. ඒවා හොඳ වැඩ. මං හිතන්නේ මගේ ජනප්‍රියත්වගේ රහස තමයි ජනප්‍රියත්වය පස්‌සේ පන්නන්නේ නැති එක. මං හැංගිලා ඉන්න තරමට තමයි මාව හොයන්න උත්සාහ කරන්නේ.

ඔබ මාධ්‍යය ඉස්‌සරහට එන්නේ ඉඳලා හිටලා? ඒක මාර්කට්‌ වෙන්න කරන වැඩක්‌ද?

ඒක මාර්කට්‌ වෙන්න කරන වැඩක්‌ නෙමෙයි. සමහර වෙලාවට මගේ හිතහොඳකම මට අවාසියක්‌ වෙලත් තියෙනවානේ. මම ඔයාට මේ කතාව පටන්ගන්නකොටම කිව්වා නේද හැමදාම හැමදේම සිද්ධවෙන්නේ මගේ හොඳට කියලා. ඇයි දන්නවාද?.

ඇයි ඒ?

මම හැමදාම හැමදේම කළේ අනුන්ගේ හොඳට.

අනුන් වෙනුවෙන් උදව් කරලා අනන්තවත් බැටකාලා තියෙනවා ?

මම ඕනෑතරම් මිනිස්‌සුන්ට උදව් කරන්න ගිහිං, කතාවට මිනිස්‌සු කියනවා වගෙ ටොපි කාලා තියෙනවා. සමහරුන්ට ඉන්න තැන, ඇඳුම්, කෑමබීම වගේම වැඩවලටත් දාලා අනන්තවත් බැටකාලා තියෙනවා. සමහරු තවමත් ඉන්නවා මගේ ඇඳුම් ඇඳගෙන මාව දන්නේ නැතිව වගේ.

ටෙලිනාට්‍ය භාරගන්න කැමැති නැතිද?

මම කාලයක්‌ ටෙලිනාට්‍ය කළා. මගේ ජීවිතයේ හැමතිස්‌සේම දෙයක්‌ ඉගෙන ගන්න ගමන් තමයි රඟපාන්නේ. එතකොට සමහර දේවල් නොකර ඉන්න වෙලා තියෙනවා කාලය හින්දා. සමහර ඒවා කම්මැලිකමට. ඉස්‌සර මට හම්බවුණේ හොඳ ටෙලිනාට්‍ය. ඒ කාලේ මම ටෙලිනාට්‍ය කළා. ඊට පසුව ආපුවට මම කැමැති වුණේ නැහැ.

ඇයි ඒ ?

මට බැහැ හැමදාම ෂූටින් යන්න. අනිත් එක මට බැහැ ඉවරයක්‌ නොවන දෙයකට සම්බන්ධවෙන්න. ඕනෑම දෙයක පටන් ගැන්ම වගේම ඉවරයක්‌ තියෙන්න එපායෑ.

දිනේෂ් විතාන

YOU MAY ALSO LIKE