Tuesday, February 20, 2018
- nethgossip.lk@gmail.com

කෝටි ගණනක රන්බඩු තැන්පත් කර තිබූ වෙලේ සුදාගේ බිරිඳගේ සේප්පුවේ යතුර නඩු භාණ්ඩ කාර්යාලයෙන් හිටි හැටියේ අතුරුදන් වෙලා ..!

2996Views

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙ‍ලේ සුදා හෙවත් ගම්පළ විතානගේ සමන්ත කුමාර නමැත්තාගේ බිරිඳට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා රන් ආභරණ තොගයක් තැන්පත් කර ඇති නුගේගොඩ මහජන බැංකුවේ ආරක්ෂිත සේප්පුවේ යතුර කොළඹ මහාධිකරණ නඩු භාණ්ඩ කාර්යාලය භාරයේ තිබියදී අස්ථාන ගත වී ඇති බව වාර්තාවෙයි.

මේ  සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් පරීක්ෂණයක් සිදුකර වහාම වාර්තාවක් ඉදිරිපත් කරනා ලෙසට මහාධිකරණ විනිසුරුවරයා එහිදී කොළඹ ප්‍රධාන මහාධිකරණයේ ප්‍රධාන ‍ලේඛකාධිකාරිවරයාටද වැඩිදුරටත් නියෝග කර ඇත.

අධිකරණය කළ නියෝගය පරිදි මේ වන විට තහනමට ලක්කර ඇති එම නඩු භාණ්ඩ (රන් ආභරණ) හඳුනා ගැනීම සඳහා විත්තිකාර ගයනි ප්‍රියදර්ශනී සිය නීතිඥවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එම බැංකු ශාඛාවට පසුගිය 18 වැනිදා ගිය බවත් බැංකුව භාරයේ තිබූ සේප්පුවේ යතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවත් නීතිඥ අසේල මුතුමුදලිගේ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ආරක්ෂිත සේප්පුවේ යතුර මහාධිකරණ නඩු භාණ්ඩ භාරකරු භාරයට පත්කර ඇති නමුත් එය මේ වන විට අස්ථානගතවී ඇති බවට වාර්තා වී ඇතැයිද පෙන්වා දුන් රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ චතුරංගි මහවඩුගේ මහත්මිය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනා ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහාධිකරණ විනිසුරුවරයා එම නඩුව ලබන පෙබරවාරි 16 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.

2010.01.01 හා 2012.02.25 වැනිදා කාලය අතරතුරදී කොළඹ, දෙහිවල යනාදී තදාසන්න ප්‍රදේශවලදී හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 17 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි අධිචෝදනා නගමින් ගම්පළ විතානගේ සමන්ත කුමාර, ඔහුගේ බිරිඳ වන ගයනි ප්‍රියදර්ශනී හා වසන්ති වසුන්දරා යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණි.

 

 


 

YOU MAY ALSO LIKE