Tuesday, November 13, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හුඟක් අය වික්ටර් රත්නායකයන්ගේ දුව විදිහට මාව අඳුරන්නේ නෑ. මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි. වික්ටර් රත්නායකගේ දියණිය මුල්වරට මාධ්‍යයට කතාකරයි...!

6298Views

සංගීතවේදී ආචාර්ය  වික්ටර් රත්නායකයන් පිළිබඳව පසුගිය කාලයේ ඇතිවුනු කතාබහත් සමඟ  ජයන්ත රත්නායක  සහ ලෙලුම් රත්නායක ගැනනම් මේ වෙද්දී මුළු රටම දන්නවා. හැබැයි  වික්ටර් රත්නායකයයන්ට පුතුන් දෙදෙනාට අමතරව තවත් දියණියක් ඉන්නවා කියලා මේ වෙනකන් ගොඩක් දෙනා දැනගෙන හිටියෙ නෑ. කොහොම වුනත් ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දෙවැනි විවාහය පිළිබඳ ඔහුගේ දියණිය පසුගියදා පුවත්පතකට කියලා තිබුනෙ මේ විදියට.

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පුතුන් විදියට පමණක් නොවෙයි සංගීතඥයන් විදිහටත් ඔබේ සොහොයුරන් දෙදෙනා රටේ ප්‍රසිද්ධයි. නමුත් ඔබ මේ පළමු වරට තමයි මාධ්‍ය ඉදිරියට ඇවිත් ඔබ ගැන කියන්නේ? 

ඔව්. හුඟක් අය වික්ටර් රත්නායකයන්ගේ දුව විදිහට මාව අඳුරන්නේ නෑ තමයි. හැබැයි ක්ෂේත්‍රයේ අය නම් මාව හඳුනනවා. මොකද, ඉස්සර ඉඳන්ම තාත්තාගේ ප්‍රසංගවලට ඔහුත් එක්ක මම සහභාගි වෙලා තියෙනවා. 

ඒ ප්‍රසංගවලට ඔබ එකතු වුණේ ගායිකාවක් විදිහටද එහෙමත් නැත්නම් තාත්තාගේ තනි නොතනියටද? 

මම ඒ ප්‍රසංගවලදී තාත්තාගේ ගීතවලට සමූහ ගායනයෙන් එක් වුණා. 

ඒ කියන්නේ සහෝදරයන්ට වගේම ඔබටත් ගායන හැකියාවක් තියෙනවා? 

ඔව්. මට හොඳ ගායන හැකියාවක් තියෙනවා. පුංචි කා‍ලේ ඉඳන්ම මම පාස‍ලේදී සහ දහම් පාස‍ලේදිත් ගායන තරගවලට සහභාගි වුණා. සාමාන්‍ය පෙළ දක්වා සංගීතය හැදෑරුවා. 

සහෝදරයෝ දෙන්නා වගේ වැඩිදුරටත් සංගීතය හදාරන්න ඔබට කැමැත්තක් තිබුණේ නැද්ද? 

කැමැත්තක් තිබුණා. නමුත් අක්කයි මාවයි සංගීතය පැත්තෙන් ඉදිරියට යවන්න උනන්දුවක් තාත්තාට තිබුණේ නැහැ. මොකද සංගීත ක්ෂේත්‍රය කියන්නේ ගැහැණු ළමයින්ට ඒ තරම් හොඳ තැනක් ‍නෙවෙයි කියලයි තාත්තා නිතරම කිව්වේ. 

ඒ හේතුව නිසාද ඔබේ සංගීත ගමන නතර වුණේ? 

ඔව්. ඒත් තාත්තාට හොරෙන් මම භාත්කණ්ඩේ විභාග දෙකකටත් පෙනී සිටියා. තාත්තා දිගටම සංගීතය හදාරන්න ඉඩ දුන්නේ නැහැ ඊට පස්සේ මම රැකියාවට ගියා. රැකියාවේ කාර්ය බහුලත්වයත් එක්ක සංගීත කටයුතු ටිකෙන් ටික මගෙන් මග හැරුණා. 

තමන්ගේ හැකියාවෙන් තනිවම ගායිකාවක් විදිහට ඉස්මතු වෙන්න අවස්ථාවක් ලැබුණේම නැද්ද? 

රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ගීත ඇතුළත් කැසට් පටයකට ගීතයක් ගයන්න මට අවස්ථාව ලැබුණා බෝ අතු ඉති නැමි නැමි කියන ඒ ගීතය අදටත් ප්‍රචාරය වෙනවා. දැන් නම් විනෝදාංශයක් විදිහට විතරයි මම ගීත ගායනා කරන්නේ. 

තාත්තාගේ සංගීත කටයුතුත් එක්ක ‍පොඩි කා‍ලේ ගෙදර තිබුනේ මොන වගේ වටපිටාවක්ද? 

තාත්තා ඉස්සර ගෙදර සංගීත පන්ති පැවැත්වුවා. තාත්තා පන්ති කරන වෙලාවට අපි හතර දෙනාට කාමරයෙන් එළියට බහින්නවත් අම්මා ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙලාවට අපි ගෙදර නෑ වගෙයි පේන්නේ. තාත්තා එළියට ගියාම තමයි අපි කාමරයෙන් එළියට ඇවිත් දඟලන්නේ. 

ඔබ අදහස් කළේ තාත්තාගේ වැඩ කටයුතුවලට අම්මාගෙන් විශාල සහයෝගයක් ලැබුණා කියන එකද? 

ඔව්. තාත්තා වෙනුවෙන් අම්මා ලොකු මෙහෙවරක් කළා. ඒ කා‍ලේ හැම සතියකම වගේ ස ප්‍රසංග තිබුණ නිසා අපේ ගෙදර තිබුණේ බොහොම කාර්ය බහුල පරිසරයක්. අපේ ගෙදරට එන තාත්තාගේ යාළුවන්ට අම්මා තමයි තනිවම සංග්‍රහ කළේ. තාත්තා ගායනා කළ ගීත පවා ‍පොත්වල ලියැවුණේ අම්මාගේ අත් අකුරෙන්. අපි හතර දෙනා අතර ලොකු වයස් පරතරයක් නොතිබුණු නිසා අම්මාට ඒ දවස්වල හුඟක් මහන්සි වෙන්න සිද්ධ වුණා. 

ඔබේ සොහොයුරන් දෙදෙනාට නම් සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑම තාත්තා තහනම් කළේ නැහැ නේද? 

ඒ දෙන්නාටත් තාත්තා ලොකු අනුබලයක් දුන්නේ නැහැ. ඒත් තාත්තා පස්සේ  ජයන්ත අයියාව ඔහුගේ ප්‍රසංගවලට එකතු කරගත්තා. 

සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න උනන්දු නොකළාට පියකු විදියට ඔහු තමන්ගේ යුතුකම් කොටස ඉටු කරන්න ඇති? 

ඔව්. තාත්තා අප වෙනුවෙන් යුතුකම් ඉටු නොකළා කියලා කියන්න බැහැ. අපි කසාද බැන්දාට පස්සේත් ඔහු අපි ගැන සොයා බැලුවා. 

අම්මාගේ අභාවයෙන් දරුවන් ඔහු ගැන සොයා බැලුවේ නැහැ කියලා චෝදනාවක් ඔබේ පියාගේ පැත්තෙන් එල්ල වුණා. ඇත්තද ඒ කතාව? 

අම්මාගේ අභාවයෙන් පස්සේ තාත්තාටත් අපි හතර දෙනා එක්කම ලොකු සම්බන්ධතාවක් තිබුණා. අපි ඔහුව සැලකුවේ නෑ කියනවා නම් ඒක බොරුවක්. අපි ගැන දන්නා අය නම් දන්නවා ඇත්ත. මොකක්ද කියලා මෑතකදී ඇතිවුණු ගැටලුවත් එක්ක තමයි අපේ සම්බන්ධතාවය දුරස් වෙලා ගියේ. 

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දෙවැනි විවාහය ගැන මෑත කාලයේ විශාල වශයෙන් කතා බහට ලක් වුණා. ඔබේ සහෝදරයන් දෙදෙනාත් ඔබේ පියාව විවේචනය කරමින් මාධ්‍ය වෙත අදහස් පළකර තිබුණා.  දියණිය විදිහට ඔබ මේ කියන සිදුවීම දකින්නේ මොන විදිහටද? 

ඔය ප්‍රශ්නයේදී අයියයි මල්ලියි ඉන්න මතයේම තමයි මමත් ඉන්නේ. ඇත්තටම දැන් මම ඒක කතා කරන්නත් අකමැති මාතෘකාවක්. තාත්තාට හොඳ නම් අපිටත් කමක් නෑ කියලා මම පැත්තකට වෙලා ඉන්නවා. 

ආචාර්ය වික්ටර් රත්නායකයන් රටම ගරු කරන සංගීතඥයෙක්. මේ සිදුවීම නිසා ඔහුව විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. ඔබ අද තාත්තාව දකින්නේ මොන විදිහටද? 

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි. ඔහු ඒ කා‍ලේ රජෙක් වගේ බොහොම ගාම්භීර බවකින් ජීවත් වුණු කෙනෙක්. ඔහු කවදාවත් ඔය විදිහට ජීවත් වෙන්න ඕනෑ කෙනෙක් ‍නෙවෙයි.  ඒ කාන්තාව කළේ කපටි කමක්. මට නම් හිතෙන්නේ මේක ඔහුට මොනවා හරි දීලා කරපු දෙයක් කියලයි.   

කවදා හරි පියාත් සමග සමගිවෙන්න අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන ඔබේ තීරණය මොන වගේ වේවිද? 

මට හිතෙනවා තාත්තා කවදා හරි ඇත්ත වටහා ගනීවි කියලා. තාත්තා කවදා හරි තනිවම ආවොත් විතරක් අපි ඔහුව බාර ගන්න ඉඩ තියෙනවා. ඒක ඒ අවස්ථාව අනුව තීරණය වේවි. 

කිෂාන්  කනංකෙ 

YOU MAY ALSO LIKE