Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සරත් ෆොන්සේකාට නීතිය හා සාමය ඇමතිකම දුන්නොත් කරන දේ ගැන ෆොන්සේකාගේ හිටපු බෑණා ධනුන තිලකරත්න කියයි..!

16490Views

ධනුන තිලකරත්න එහෙමත් නැත්තම් සරත් ෆොන්සේකාගේ බෑනා  2010 වසරේ ජනාධිපතිවරණයත් එක්ක  රටම හඳුනාගත්තා.දේශපාලනය චරිත පමණක් නොව දේශපාලනය ඇසුරුකරන අයටත් වන්දි ගෙවන්නට සිදුවන බව සනාථ කරමින් ධනුනගේ තරුණ ජීවිතයෙන් වසර පහක් පමණ කැපකරමින් සැඟව සිටින්නටත් සිදුවුනා. කොහොම වුනත් නිදහස් තරුණයෙක් විදියට  නැවතත් අප ඉදිරියට පැමිණ තිබෙන ඔහු තමන්ගේ අතීතය සහ අනාගතය ගැන පුවත්පතකට කිවුවෙ මේ විදියට. ඒ වගේම මේ දවස්වල හැමදෙනාම වගේ කතා කරන නීතිය හා සාමය ඇමතිකම සරත් ෆොන්සේකාට දුන්නොත් කරන දේ ගැනත් ඔහු ප්‍රකාශ කලා. 

ධනුන තිලකරත්නව හඳුන්වා දිය හැකි එක්‌ ක්‍රමයක්‌ තමයි, සරත් ෆොන්සේකා මහතාගේ බෑනා යන යෙදුම. තවමත් ඔබ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බෑනාද...?

නැහැ... දැන් මම එහෙම නෙමෙයි... ඒ පවුලෙන් මම වෙන්වෙලා ඉන්නේ. හැබැයි සරත් ෆොන්සේකා මහතා සමග මගේ තියෙන සම්බන්ධය එහෙමමයි. මම එතුමාව දන්නේ, බෑනා වෙන්න කලින් ඉඳන්... මගේ තාත්තා ආමි එකේ. තාත්තා බ්‍රිගේඩියර් කෙනෙක්‌ විදියට තමයි විශ්‍රාම ගියේ. අපි 'ආමි කමියුනිටි' එකක ජීවත් වුණේ. එක කාලයක්‌ අපි හමුදාවේ නිල නිවාසවල ජීවත් වුණා. අපේ සහ සරත් ෆොන්සේකා මහත්තයලගේ ගෙවල් පිහිටා තිබුණේ ආසන්නයේ... මම ජෙනරාල් සරත් ෆොන්සේකා දන්නේ මගේ වයස අවුරුදු දහයක දොළහක කාලයක ඉඳලයි. එතුමා මම කැමති චරිතයක්‌... අපේ තිබුණු ළඟ හිතවත්කම නෑදෑකමක්‌ බවට පරිවර්තනය වුණා. දැන් ඒක යළිත් පරණ පුරුදු හිතවත්කම බවට පත්වුණා. මම හිතන්නේ ඒක 'කාලය මැව් වෙනසක අරුමේ' කියලයි. පසුගිය කාලයේ ඇතිවුණු ප්‍රශ්නත් එක්‌ක අප්සරා සහ මම සුහදව වෙන්වෙන්න තීරණය කළා. එහෙම වුණත් සරත් ෆොන්සේකා මහතා සමඟ තිබුණු මගේ හිතවත්කම දිගටම තිබුණා. අපි වෙන් වුණාට පස්‌සෙත් මම එතුමා සමග දිගටම දේශපාලන කටයුතු කළා. එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ නැගෙනහිර කොළඹ සංවිධායක වුණේ මම. එතුමා, එජාපය සමග සන්ධාන ගත වෙන්න තීරණය කළාට පස්‌සේ මමත් එජාපයට එක්‌ වෙනවා. දැන් මම නැගෙනහිර කොළඹ, එජාපයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරනවා. තාම මම එතුමාගේ දේශපාලනයට සහයෝගය දක්‌වනවා.

ඔබගේ සහ අප්සරාගේ වෙන්වීම සිදුවුණේ කොහොමද...?

පසුගිය කාලයේ ආපු ප්‍රශ්නත් එක්‌ක අප්සරාට සහ මට ඉන්න සිද්ධවුණේ, දෙතැනක. අඩුම ගාණේ අපි දෙන්නට දුරකථනයෙන්වත් කතාබහ කරන්න බැරි වුණු කාලයක්‌ තිබ්බා. ඒ දේවල් එක්‌කයි මේ වෙන්වීම සිද්ධ වුණේ. අප්සරා ඇමරිකාවේ ජීවත් වෙනවා. මම ශ්‍රී ලංකාවට ඇවිත් මගේ ව්‍යාපාරික කටයුතු කරගෙන ඉන්නවා. ඇත්තටම අප්සරාට ඕනේ වුණේ ඇමරිකාවේ ඉඳන් පවුල් ජීවිතයක්‌ ගත කරන්න. මම කැමති වුණේ ලංකාවට එන්න. ඒ නිසා අවසානයේ අපි දෙන්නා තීරණය කළා වෙන් වෙන්න.

සරත් ෆොන්සේකා කියන චරිතය රට විසින් හඳුනාගෙන තිබෙන්නේ, දරුණු ගණයේ පුද්ගලයෙක්‌ ලෙස. ඒ වගේම ඔහු සිය දියණියන් දෙදෙනාට පණ වගේ ආදරය කරන ලද පියෙක්‌ බව සඳහන් වෙනවා. මේ නිසා ඔබගේ සහ අප්සරාගේ වෙන්වීම සමග සරත් ෆොන්සේකා මහතා, ඔබ සමග උරණ වීමට හේතුවක්‌ වුණේ නැද්ද...?

 කිසිසේත්ම එහෙම උරණවිමක්‌ ඇති වුණේ නැහැ. එතුමාගේ සහ මා අතර තියන්නේ වෙනම සම්බන්ධයක්‌. ඒ පවුලේ හැමෝම එක්‌ක මම වෙන වෙනම සම්බන්ධයි. අපේ සම්බන්ධතාවය පටන් ගත්තේ අසල්වැසියන් ලෙස. බෑනාගේ සම්බන්ධය නැතිවුණා, කියලා එදා අසල්වැසියන් ලෙස, අපේ ඇතිවුණු සම්බන්ධයට කිසිම හානියක්‌ වුණේ නැහැ.

ඔබට අප්සරා සමග ප්‍රේම සම්බන්ධයක්‌ ගොඩනැඟෙන්නේ, අසල්වැසියන් ලෙස සිටින කාලයේදීම ද...?

ඔව්... ඒක සිද්ධ වෙන්නේ අපි දෙගොල්ලෝ, කොළඹ සමුළු නිවාසවල ජීවත්වූ කාලයේදීමයි.

වසර හතරක පමණ කාලයක්‌ ඔබ සැඟවී ජීවත්වුණා... ඔබ සැඟවී සිටින්නේ තානාපති කාර්යාලයක බව සමහරු කිව්වා. තව සමහරු කිව්වේ ඔබ විදේශ ගත වෙලා ජීවත් වෙන බවයි. ඇත්තටම ඔබ කොහෙද සැගවී සිටියේ...?

ඒකට කියන්න කරුණු ගොඩාක්‌ තියෙනවා. මාව ගෲප්ස්‌ ගොඩාක්‌ ආරක්‌ෂා කළා. ඒ අය මේ රටට ආදරය කරන පිරිසක්‌. මාව අමාරුවේ වැටුණාම ගොඩගන්න පිරිසක්‌ හිටියා. අපි හමුදා පවුල් හැටියට ඔක්‌කොම ට්‍රික්ස් දන්නවා. මොකද්ද වෙන්නේ, මොකද්ද කරන්න යන්නේ කියලා, අපිට කලින්ම තේරුණා... ලංකාවේ හැම තැනම මම හැංගිලා හිටියා. ඔබ කියපු තැන්වලත් හිටියා.

ඔබ අල්ලා ගන්න බැරිවුණත්, අහම්බෙන් හෝ ඔබ සිටින තැනක්‌ පිළිබඳව පොලීසියට දැනුණු අවස්‌ථා තිබුණේ නැද්ද...?

පිළිතුර - මම වාහන වල යනකොට පොලිස්‌ චෙක්‌ පොයින්ට්‌ දෙක තුනක නැවැත්තුවා. නේවි චෙක්‌ පොයින්ට්‌ එකක නැවැත්තුවා. මම හිටපු තැන්වලටත් ආවා. ආවා කියන්නේ මම ඉන්නකොට නොවෙයි, මම ගියාට පස්‌සෙ ඇවිත් තියෙනවා. ඒ අයත් ලයින් එකක්‌ දිගේ ආවා... ඒත් මම ඉන්න තැනක්‌ හොයාගන්න බැරි වුණා.

ඔබගේ මවට සහ තවත් ඥාතීන් දෙදෙනකුට අයත් බැංකු සේප්පුවල අමෙරිකානු ඩොලර් 525000 ක්‌ද ස්‌ටර්ලින් පවුම් 2000ක්‌ ඇතුළු මෙරට මුදල් තොගයක්‌ තිබුණු බවට එකල වාර්තා වුණා. කොහෙන්ද ඒ සල්ලි ලැබුණේ...?

 ඒ සඳහා පැහැදිලි පිළිතුරක්‌ දෙන්න මම කැමති වුණත්, එය අධිකරණය හමුවේ විභාග වෙන නඩුවක්‌... නිසා ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඒ ගැන සඳහන් කිරීමට මට හැකියාවක්‌ නැහැ.

ඔබගේ අධ්‍යාපන පසුබිම කිව්වොත්...

පිළිතුර - කොළඹ රාජකීය විද්‍යාලයට එක වසරේ සිට ගිහින් ඊට පස්‌සේ උසස්‌ අධ්‍යාපනයට මම ඇමරිකාවට ගියා. වසර හතරක්‌ අයි.ටී. මැනේඡ්මන්ට්‌ ඩිගි්‍රය කරලා අවුරුදු හතරක්‌ අයි.ටී. කන්සල්ටන් කෙනෙක්‌ විදියට වැඩ කරලා ආවේ. ලංකාවේ කොම්පැණියක්‌ හැටියට ලංකා ඇඩ්වෙන්චර් ටේ්‍රනින් කොම්පැණිය ආරම්භ කරලා ව්‍යාපාරික ලෝකයට ඇතුල් වුණා.

දැන් ඔබ මොකද කරන්නේ...

මම ආරක්‌ෂක සේවා සපයන ආයතනයක්‌, ඒ කියන්නේ සිකියුරිටි ආයතනයක්‌ පවත්වාගෙන යනවා...

 එතකොට දැන් හයිකොප් ආයතනය නැද්ද..?

යුද්දෙ පටන් ගත්ත කාලේ ඉඳන් රජය තීරණය කළා, නීත්‍යානුකූලව ආයුධ ගෙන්වීමේ සමාගමක්‌ ආරම්භ කරන්න. ලංකා ලොජිස්‌ටික්‌ කියලා තමයි ඒක හැඳින්වුණේ. එතකොට ලංකාවට ආයුධයක්‌ ගේනවා කියන්නේ ඒක ලංකාවෙ විතරක්‌ නොවෙයි එන තැන ඉඳන්ම 'ඩොකියුමන්ට්‌' වෙන දෙයක්‌. ඒ නිසා කාටවත් කියන්න බෑ ආයුධ ගෙනාවේ හොරෙන් කියලා. ආයුධ එකක්‌ දෙකක්‌ නොවෙයිනේ ගෙනාවේ. ඒ ආයුධ ගන්නා තැන ඉඳලා ලංකාවේ හමුදාවට බාර දෙනකම්ම සාක්‌කි සාධක ඇතිවයි ගේන්නේ. මේක පාර්ලිමේන්තුවේදීත් කියෑවුණා. ඒ කියන්නේ ඒ ගනුදෙනුවලට මගේ කිසිම සම්බන්ධයක්‌ නැහැ කියලා. මම ඔය ගනුදෙනුවලට සම්බන්ධ නම් ඔය ලියකියවිලිවල මගේ නමක්‌ හෝ කොම්පැණියක නමක්‌ හෝ සඳහන් වෙන්න ඕනෑනේ. නමුත් එහෙම නෑ... හයිකෝප් ගනුදෙනුවට මම සම්බන්ධයි කියලයි චෝදනා කළේ, සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගෙන ගිය සංවිධානාත්මක මඩ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස ලෙසයි. ඒක දිග කතාවක්‌. එක්‌තරා පුද්ගලයෙක්‌ හිටියා එයා උපුල්. එයා මේ මඩ ව්‍යාපාරයට සම්බන්ධ කරන්න ආනයනය කරපු පුද්ගලයෙක්‌. ඔහු ගෙන්නුවේ කවුද... ඔහු ගෙන්නුවේ කොහොමද... එයාට ගෙවපු ගාන, මේ ඔක්‌කොම විස්‌තර අපි ළඟ තියෙනවා. මං ඒකයි කිව්වේ ඔබ අහපු ප්‍රශ්නයට තියෙන්නේ ලොකු උත්තරයක්‌ කියලා. හයිකොප් එකත් එක්‌ක මගේ කිසිම සම්බන්ධයක්‌ තිබුණේ නැහැ... ඒ නඩුවෙන් මාව නිදොස්‌ කර නිදහස්‌ වුණේ ඒ නිසයි.

හිටපු බෑනාට අනුව, සරත් ෆොන්සේකා කියන්නේ කොයි වගේ චරිතයක්‌ ද...?

එතුමා ගැන රටේ ඇතිවෙලා තිබෙන ප්‍රතිරූපය මම දන්නවා... එතුමා යම් තද ගති ගුණ සහිත චරිතයක්‌ බවයි බොහෝ දෙනාගේ හැඟීම... ඔව්... එතුමා තදින්ම නීතියට අනුව වැඩ කරන කෙනෙක්‌... ඒ මිසක්‌ කවදාවත් එතුමා නීතියට පිටින් වැඩ කරලා නැහැ. ත්‍රස්‌තවාදය පරාජය කරන්න එතුමාට හැකිවුණෙත් ඒ නිසයි. ඔහු සිය දියණියන් දෙදෙනාට සහ පවුලට ආදරය කරන කෙනෙක්‌. මම දන්නවා, එතුමා තමන්ගේ දරුවන්ට කොයිතරම් ආදරය කළාදා කිව්වොත්, කොයි තරම් වැඩ රාජකාරි මැද්දේ, ලෝකේ කොහේ හිටියත්, දුවලාට දවසකට දෙවතාවක්‌ ඔහු කතා කරනවා. එතුමා සංගීතය රස විඳින කෙනෙක්‌. එතුමා හමුදා විනය අනුව ජීවත්වුණු කෙනෙක්‌... ඒ නිසා බාහිරෙන් සරත් ෆොන්සේකා මහතාව දකින කෙනෙකුට, ඔහු දැඩි පුද්ගලයෙක්‌ කියලා හිතෙන්න පුළුවන්. මාධ්‍ය මගින් සමහර ප්‍රශ්න අහනකොට, එතුමා පිළිතුරු දෙන විලාසය නිසයි සමාජයට එතුමා ගැන මේ ප්‍රතිරූපය මැවී තිබෙන්නේ...

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ලබා දෙන බවට ආරංචි විටින් විට පැතිරෙනවා... ඒත් බොහෝ දෙනා සිතන්නේ එවැනි තනතුරක්‌ ලබා දුන්නොත් සරත් ෆොන්සේකා මහතා රාජපක්‌ෂලාගෙන් පළිගැනීම සඳහා ක්‍රියා කරාවි කියලයි... ඔබ මේ ගැන මොකද හිතන්නේ...?

එතුමා කාගෙන්වත් පළිගනී කියලා, මම නම් හිතන්නේ නැහැ... නීතිය සහ සාමය කියන ඇමතිකම එතුමාට හොඳටම ගැලපෙනවා... මේ රටේ තිබෙන මත් උවදුර නැති කරන්න, ජනතාවගේ ආරක්‌ෂාව සහ රටේ ආරක්‌ෂාව සඳහා විධිමත් ක්‍රමවේදයක්‌ හදන්න සරත් ෆොන්සේකා වැනි චරිතයක්‌ රටට වුවමනයි. එතුමා හමුදාපති ලෙස මුලින්ම කළේ, හමුදාවේ තිබුණු ක්‍රමවේදය වෙනුවට විධිමත් ක්‍රමවේදයක්‌ අනුව එය පෙළගැස්‌සවීමයි. අනවශ්‍ය පුද්ගලයන් ඉවත් කරලා, දක්‌ෂයන් නිසි තැන්වලට යොදවලා, තාක්‌ෂණය සහ නිසි ක්‍රමවේදය හමුදාවට යොදවපු නිසා තමයි එතුමාට යුද්ධය ජය ගන්න පුළුවන් වුණේ... එවැනි ක්‍රමවේදයක්‌ අද රට අවශ්‍යයි. එතුමා මේ වගේ තනතුරකට ආවොත්, රටේ නීතිය හා සාමය තහවුරු කරනවා වගේම ඒ සඳහා රටට ගැලපෙන නව ක්‍රමවේදයක්‌ පිහිටුවාවී... එතුමා කාගෙන්වත් පළිගන්නවත්, නීති විරෝධීව කාටවත් උදව් කරන්නවත් යන කෙනෙක්‌ නෙමෙයි. එතුමා තමන්ගේ හිතේ තියෙන එක කෙලින්ම කියලා දානවා... ඒ වුණාට කාගෙන්වත් පළිගන්න යන්නේ නැහැ...

සාමාන්‍ය පවුලක මාමා කෙනෙක්‌ සිය දියණියගෙන් වෙන්වූ බෑනා කෙනෙක්‌ සමග මෙතරම් සුහද ලෙස ක්‍රියා කරන්නේ නැහැ... එසේ වුවත් ඔබ සහ සරත් ෆොන්සේකා මහතා අතර සම්බන්ධය එදා මෙන්ම අදත් මෙසේ පැවතීමට වෙනත් හේතුවක්‌ තිබෙනවාද...? ෆොන්සේකා මහතාගේ ව්‍යාපාරයන්හි භාරකරු ලෙස ඔබ ක්‍රියා කරනවාද...?

එතුමා කිසි දවසක ව්‍යපාර කරපු කෙනක්‌ නෙමෙයි... එතුමා හොඳ හමුදා නිලධාරියෙක්‌... එතුමා සිය ජීවිතයෙන් වැඩි කොටසක්‌ වෙන් කළේ මේ රට ආරක්‌ෂා කර ගන්න... මම එතුමා සමග විශ්වාසයෙන් වැඩ කරපු කෙනක්‌. අපි අතර හොඳ අවබෝධයක්‌ කාලයක්‌ තිස්‌සේ ගොඩනැගිලා තියෙනවා. අපේ තරුණ පරම්පරාවේ අය මෙවැනි ලෙස පවුලේ ගැටලුවක්‌ මතු වුණහම, ගහ මරා ගන්න යන්නේ නැහැ. ඒ අනුවයි මම හැමවිටම කටයුතු කළේ... එතුමා අපේ තරුණ පරම්පරාවේ කෙනෙක්‌ නොවුණත් ඒ විදිහට වැඩ කරන එක එතුමා සතු හොඳ ලක්‌ෂණයක්‌... මම ඒකයි කියන්නේ, රටේ ජනතාවට මවා පාලා තියෙන බිල්ලා එතුමා ළඟ නැහැ කියලා. මම හිතන්නේ එතුමා මේ රටට සම්පතක්‌... මාධ්‍ය සහ දේශපාලනයෙන් එතුමා විවිධ පැතිවලට නම්මන්න හදනවා මිසක්‌, එතුමාගෙන් මේ රට තව වැඩ ගන්න තියෙනවා නේද කියලා, හිතන්නේ නැහැ...

 නීතිය සහ සාමය අමාත්‍යාංශය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දිය යුතු බවට සමහරු චෝදනා කරන්නේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව, කුමන හෝ චෝදනාවක්‌ එල්ල කර ගෝඨාභය රාජපක්‌ෂ මහතාව හිරේ දැමීම සඳහා නේද...?

 මේ වෙලාවේ, මෙරටේ තිබෙන ප්‍රශ්නය ගෝඨාභය රාජපක්‌ෂ මහතාව හිරේ දැමීම හෝ රාජපක්‌ෂලා හිරේ දැමීම නෙමෙයි... මේ රට තුළ සිද්ධ වෙන අපරාධ රැල්ල නවත්වාලීම සහ රටේ තරුණ පරපුර ගිලගනිමින් සිටින මත්ද්‍රව්‍ය වසංගතය දුරු කර දැමීමයි. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ, නීතිය සහ සාමය රටට තුළ නිසියාකාරව ක්‍රියාත්මක කරවීමයි. ඒ වගේම ඒ සඳහා රට යාන්ත්‍රණයක්‌ අවශ්‍යයි. සරත් ෆොන්සේකා මහතා ඒ සඳහා සුදුසුම පුද්ගලයා බවයි මගේ හැඟීම.

 නිතිය සහ සාමය යනුවෙන් සඳහන් කරන විට, මේ ආණ්‌ඩුව යටතේ ඒ තනතුර මුලින්ම දැරුවේ, තිලක්‌ මාරපන අමාත්‍යවරයා... ඊට පසුව එම තනතුර දැරුවේ සාගල රත්නායක මහතා. දැන් එම අමාත්‍ය ධුරය හොබවන්නේ අග්‍රාමාත්‍යවරයා... මේ අයට වඩා එම තනතුර දරන්නට සරත් ෆොන්සේකා මහතා සුදුසුයි කියලා ඔබ කියන්නේ කුමන හේතු සාධක මත ද...?

සරත් ෆොන්සේකා මහතාට තියන්නේ මිලිටරි පසුබිමක්‌... දේශපාලන පසුබිමක්‌ සහිත කෙනෙක්‌ දැනට මේ තනතුරට සුදුසු නැහැ කියන එකයි මගේ මතය. යම් දෙයක්‌ දූෂිත වූ විට එය ශුද්ධ කිරීම කියන්නේ විශේෂිත තත්ත්වයක්‌... මේ රටේ දැන් තිබෙන තත්ත්වය අනුව, නීතිය සහ සාමය සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ, අලුත් සහ පක්‌ෂපාති නොවූ ක්‍රමවේදයක්‌... ඒ සඳහා සිටින සුදුසුම කෙනා සරත් ෆොන්සේකා මහතායි. එතුමා ඒ යාන්ත්‍රණය ගොඩනැගුවාට පස්‌සේ, වෙනත් දේශපාලන චරිතයකට එය කරගෙන යන්න පුළුවන් වේවි... එතුමා හමුදාව තුළත් ඒ වෙනස කළා...

රාජපක්‌ෂලා සමග ඔබට තරහක්‌, වෛරයක්‌ තිබෙනවාද...?

පිළිතුර - නැහැ... ඇත්තටම නැහැ... එතුමන්ලා තිබෙන දේශපාලන තත්ත්වය උඩ කටයුතු කළා... මමත් ඒ තත්ත්වය තුළ කටයුතු කළා... එච්චරයි...

ඔබ දැන් ක්‍රියාකාරී දේශපාලනයට ඇවිත් සිටිනවා... මොකක්‌ද ඔබේ දේශපාලන ඉලක්‌කය...?

මම දේශපාලනයට ආවේ 2009 අවුරුද්දේ... දැනට මම, එජාපයේ නැගෙනහිර කොළඹ සම්බන්ධිකරණ තනතුර දරනවා... මට තවම, එහෙම ලොකු දේශපාලන ඉලක්‌කයක්‌ නැහැ... ඒවා ඉස්‌සරහට බලමු...

ඔබ දැන් අලුත් විවාහයක්‌ කරගෙන ද ඉන්නේ...?

නැහැ... මම දැන් තනිකඩ ජීවිතයක්‌ ගත කරනවා...

සාකච්ඡා කළේ මනෝඡ් අබයදීර - දිවයින පුවත්පත

YOU MAY ALSO LIKE