Monday, April 23, 2018
- 0770586666

මැති ඇමැතිවරුන්ටත් කිවුවා..! ඒත් අපි තවම ජීවත් වෙන්නෙ ගල්ලෙනක..! කබලෙන් ලිපට වැටුනු පවුලකගේ සංවේදී කතාව..!

1623Views

ගල් ලෙන්වල ජීවත් වුනු මිනිසුන් ගැන කතා කරද්දි අපේ සිහියට එන්නෙ ආදි මානවයින්. මීට ශත වර්ෂ ගණනාවකට පෙර බළන්ගොඩ කල්තොට කූරගල, පනාන අළුගල් ලෙන, ලුණුගල් ලෙන, පරගහමඩිත්ත ගල් ලෙන, දියවින්නේ උඩුපියන් ගල් ලෙන, කිරි මකුළු ගොල්ලේ යකුන්ගේ විමන ආදී ප්‍රදේශවල ඔවුන් ජීවත් වුන බවට සාක්ෂි තිබෙනවා.දඩයම සහ ගොවිතැන තම ජීවනෝපාය කරගත් ඔවුන්ට ගල්ලෙනක වාසය කරමින් තම ජීවිතට ගැට ගසා ගැනීම එතරම් අරුමයක් වුනේ නැහැ.

නමුත් වත්මන් දියුණු සමාජයේ දරුවන් දෙදෙනෙකු සමඟ පවුලක් ගල්ලෙනක ජීවත් වෙනවා කිවුවොත් ඔබ පුදුමයට පත්වේවි. නමුත් සත්‍ය කතාව එයයි. බළන්ගොඩ මානවයන්ගෙන් පැවැත එන පිරිසක් තවමත් ගල් ලෙන්වල ජීවත් වෙනවා. ප්‍රශ්න ගොඩක් මැද බළන්ගොඩ එගොඩ වලේබොඩ ප්‍රදේශයේ ගල් ලෙනක  ජීවත් වෙන මේ පවුලේ ගෘහ මූලිකයා  පී.කේ. විජිත නන්දසිරි පසුගියදා තමන්ට විඳින්න වෙලා තියෙන දුක් ගැහැට ගැන මේ විදියට කියලා තිබුණා.

2015 වසරේ මාගේ නිවෙසට ගසක් කඩාවැටුණා. ඒ නිවෙස කටුමැටි එකක්. ඊට පස්සේ මට යන්න එන්න තැනක් නැති වුණා. මේ පිළිබඳව බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ටත් දැනුම් දුන්නා. ඊට අමතරව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාටත් දැනුම් දුන්නා. මට ඉන්න තැනක් නැති නිසා අපිට අයිති හවුල් කුඹුරක ගල් ලෙනක් තිබෙනවා. එදා සිට දරුවො දෙන්නයි බිරියයි මමයි ජීවත් වෙන්නේ එම ගල් ලෙනේ හදාගත් තාවකාලික මඩුවකයි.

කොහොම වුණත් අපි කලින් පදිංචි වෙලා හිටිය ඉඩම නාය යෑමට ඉඩ ඇති බවට හඳුනාගෙන අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා. අපට යන්න වෙන තැනක් නැහැ. බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මට වෙන තැනකින් ඉඩම් කොටසක් ලබා දෙන්න කියලා. දරුවන් දෙදෙනාම පාසල් යනවා. ඔවුන් මැද්දේකන්ද පාසලට යන්නේ. දරුවන්ට පාඩම් කරන්න විදියක් නැහැ. වැස්ස වෙලාවට තෙමෙනවා. මම කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. ඊට අමතරව තේ අක්කර කාලක් පමණ තියෙනවා. ඒකෙ ආදායම මදි දරුවෝ දෙන්නාගේ අධ්‍යාපන කටයුතු කරන්න.

අනතුරුව මෙම ගල් ලෙනේ ජීවත් වන ඔහුගේ බිරිඳ  පුෂ්පා දමයන්ති කියලා තිබුනෙ මේ වගේ කතාවක්.

අපි මේ ගල් ලේනේ ජීවත් වුණාට ඉන්නෙ හරිම පරිස්සමින්. හිටපු ගමන් සත්තු සර්පයෝ එනවා. බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ සොයා බලා අපට ඉඩම් කොටසක් ලබාදී නිවෙසක් හදන්න උදවු කරන්න කියලා. දරුවෝ දෙදෙනාත් ඉගෙනගන්න බොහොම ආසයි.

කොහොම වුනත් මේ ගැන බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරි උපුල් ශාන්ත අනුරසිරි යන අයගෙන් කල විමසීමකදි ‘‘මොවුන් පදිංචි වෙලා සිටි නිවෙසට 2015 වසරේ ගසක් කඩා වැටී හානි සිදු වෙලා තිබුණාු බවත්, ඒ අනුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැදිහත් වී නිවෙස තනා ගැනීමට රුපියල් පනස් දහසක (50,000) පමණ මුදලක් ලබා දුන් බවත් ප්‍රකාශ කරද්දි  බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා කියලා තිබුනෙ මේ වගේ කතාවක්.

මේ පිරිස ජීවත් වන ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බවත් ඔවුන් කලින් ජීවත් වූ නිවෙසට ඉහළින් විශාල ගලක් ඇති අතර එය පෙරැළී යම් අනතුරක් සිදු වීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් මේ ප්‍රදේශය ස්ථීර ලෙසම නාය යන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට තම කාර්යාලය මඟින් ලිඛිතව දන්වා ඇති බවයි. තවමත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් මේ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව වාර්තාව තම කාර්යාලයට ලැබී නැහැ. 

(මව්බිම පුවත්පත ඇසුරෙන්)

 

YOU MAY ALSO LIKE