Wednesday, October 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" එදා අයියා මට දිනන්න දීලා එයා පැරදුනා , අපි දෙන්නම ආමි එකේ , ඇහිබැම පැලුනත් ඉන්දීය ක්‍රීඩකයාට වැටෙන්න ගැහුවේ ආමි එකේ මොරාල් එකෙන් " මවුබිමේ වීරයා ඉෂාන් බණ්ඩාර කියූ සංවේදී කතාව .!

4028Views

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 52 බර පන්තියේ බොක්‌සිං අවසන් පූර්ව තරගයයි. ශ්‍රී ලංකා ක්‍රීඩක ඉෂාන් බණ්‌ඩාරගේ ප්‍රහාරයෙන් පළමු වටයේදී දෙවතාවක්‌ම ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩකයා එහිදී බිම ඇද වැටුණත් වට තුනක්‌ අවසන් වනවිට ලකුණු අනුව ජයග්‍රහනය ඉන්දියාවට හිමි විය. කෙසේ වෙතත් එලෙසින් මවුබිම වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කමක් දිනු ඉෂාන් බණ්ඩාර , පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය ක්‍රීඩා දිවියේ අපූරූ තොරතුරු රැසක් හෙළිකර තිබුනා.

එම සංවාදය පහතින් ,
 

කොහොමද මේ බොක්‌සිං ක්‍රීඩාවට යොමු වුණේ?
 
ලොකු අයියා ඉස්‌සර බොක්‌සිං ක්‍රීඩා කළා. එයාගේ උදව්වට මාව ගන්නව ප්‍රැක්‌ටිස්‌ කරන්න. එතැනින් තමයි පටන් ගත්තේ.
 
එතකොට අයියා නිසා ද බොක්‌සිං ගහන්නේ?
 
ඔව්. ලොකු අයියා තමයි මගේ මුල් ගුරුවරයා. එයා තමයි මගේ දක්‍ෂතාව මුලින්ම හඳුනාගත්තේ.
 
ඒ කාලේ අයියත් එක්‌ක ප්‍රැක්‌ටිස්‌ කරද්දි අනතුරු වෙලා නැද්ද?
 
පොඩි පොඩි අනතුරු වෙලා තියෙනවා. එතකොට අම්මා කෑගහනවා අයිය නේද මෙහෙම දෙන්නත් එක්‌ක ගහමරා ගන්නව ද කියලා.
 
දැන් පොදුරාජ්‍ය මණ්‌ඩලීය ලෝකඩ පදක්‌කම් ලාභියෙක්‌?
 
ඒ ගැන ගොඩක්‌ සතුටුයි. හිතේ තිබුණ හීනයක්‌ මේ ඉෂ්ඨ වෙලා තියෙන්නේ.
 
අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ක්‍රීඩකයාව පරාජය කරන්න තිබුණා නේද?
 
ඔව්. මට අන්තිම වටේදී ඔහුව පාලනය කරගන්න ටිකක්‌ අමාරු වුණා.
 
ඒත් ඔබ පළවැනි වටයේදී ඔහුට දෙපාරක්‌ වැටෙන්න ගැහුවා?
 
16 2 ඒ වටේදී මගේ ලකුණු ගොඩක්‌ ඉහළින් තිබුණා. දෙවැනි, තුන්වැනි වටවලදී තමයි ටිකක්‌ අමාරු වුණේ.
 
මේ පාර පොදුරාජ්‍ය මණ්‌ඩලීය තරගාවලිය මඟහැරෙන්න ගියා නේද?
 
මගේ විවාහය තිබුණේ සුදුසුකම් ලැබීමේ තරග තිබුණ දවසේ. ඒ නිසා මට තරගයට යන්න ලැබුණේ නෑ. ඊට පස්‌සේ ඩයන් සර් යුද හමුදාවේ විශේෂ අවසරයක්‌ ඇතිව ආයෙත් මට තරගයක්‌ තියලා අවස්‌ථාව ලබාදුන්නා.
 
විවාහ වෙලා මාස කීයද?
 
දැන් මාස 6 ක්‌. එයා පාසල් කාලේ ඉඳන් දන්නවා.
 
බිරිඳගෙන් ලැබෙන සහයෝගය?
 
මුල් කාලේ කැමති නෑ ගහගන්න ක්‍රීඩාවක්‌ නිසා. ඒත් දැන් එයාගේ උපරිමය ලබාදෙනවා.
 
අයියලා දෙන්නම යුද හමුදාවේ නිසා ඉෂාන් යුද හමුදාවට යනවට ගෙදරින් කැමති වුණාද?

 
අම්මා යන්න දුන්නෙම නෑ. අයියගේ කීමට තමයි අම්මා කැමති වුණේ.
 
අයියත් එක්‌ක තරගවලදී ක්‍රීඩා කරලා නැද්ද?
 
ලොකු අයියා ගයාන් සංජීව. එයත් එක්‌ක එකපාරක්‌ ලේට්‌න් කප් ෆයිනල් එකට ආවා. අපි තරග කළා. අයියා එදා මට ගැහුවේ නෑ, දිනන්න දුන්නා. එයා එදායින් පස්‌සේ බොක්‌සිං ක්‍රීඩා කළේ නෑ. දැන් එයා බොක්‌සිං පුහුණුකරුවෙක්‌.
 
 දැන් යුද හමුදාවේ තනතුර?
 
 ලාන්ස්‌ කෝප්‍රල්
 
 බොක්‌සිං ක්‍රීඩකයෙක්‌ නොවුණා නම්?
 
 හිතාගන්න අමාරුයි.
 
 බොක්‌සිං හැර කැමති වෙනත් ක්‍රීඩා?
 
 ක්‍රිකට්‌
 
පොදුරාජ්‍ය මණ්‌ඩලීය අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ගැන කිව්වොත්?
 
එදා ක්‍රීඩා කළ ක්‍රීඩකයා කවුද කියලා බැලුවේ නෑ. ඇහෙන් කෑල්ලක්‌ ගියත් දිනන්න තමයි ඕනෙ වෙලා තිබුණේ.
 
එදා ඇහිබැමි දෙකම පැලුණා?
 
ඒක සාමාන්‍ය දෙයක්‌. ආමි එකේ මොරාල් එකටයි, ගමේ හයියටයි සෙල්ලම් කළා.
 
ළඟම තියෙන බලාපොරොත්තුව?
 
ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්‌කමක්‌ ගේන්න.


 

සංවාදය : ගයාශාන් විතානආරච්චි / දිවයින

YOU MAY ALSO LIKE