Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ලංකාවේ ඕන තරම් නීතිඥවරු ඉන්නවා. හැබැයි ජන සංගීතය වෙනුවෙන් ඉන්නේ අතළොස්සයි" සහන් රංවලගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

1986Views

සිය පියාගේ අඩිපාරේ යමින් දේශීය ජන සංගීතය නැංවීම වෙනුවෙන් මෙහෙවරක නිරතවන සහන රංවල පුවත්පතක් සමග එක්වෙමින් ශ්‍රී ලංකාවේ කලාව පිළිබද අපූරූ තොරතුරු රැසක් හෙළිකර තිබුනා.
එම සංවාදය පහතින් ,

අලුත් අවුරුදු ගැන කතා කරමු මුලින්ම?

අපි අලුතින් ගීතයක් කළා. ජනනාත් වරකාගොඩ, ප්‍රදීපා ධර්මදාස සහ මම එකතුවෙලයි මේ ගීතය නිර්මාණය කළේ රන්වල බළකායත් සමග. ‘එරබදු මල කෝ කෝ’ කියන ගීතය තමයි අලුත් අවුරුද්ද වෙනුවෙන් රූප රචනාවක් එක්ක නිර්මාණය කෙරුණේ.

ඔබ අලුත් අවුරුද්දට නැතිවම බැරි කෙනෙක් වෙලා නේද?

මුලින්ම කියන්න ඕන මම අලුත් අවුරුද්ද සම්බන්ධව ඒ අරමුණින් වැඩ කරන කෙනෙක් ‍නෙවෙයි ඇත්තටම. මම කතා කරන්නේ අපේකම ගැන. ඉතින් ලංකාවේ අපේ සංස්කෘතිය ඇතුළේ අපේකම ගැන හැමෝම කතා කරන එකම කාලය බවට බක් මාසය පත්වෙලා තියෙනවා. එතැනදි මගේ නිර්මාණ එළියට අරන් ඒ ගැන කතාබහක් අවුරුදු කාලෙට ඇතිවෙනවා. එහෙම නැතුව අවුරුදු කාලෙට විතරක් ඒ අරමුණින් නිර්මාණ කරන පිරිසක් ‍නෙවෙයි අපි.

ඔබ නිර්මාණ කරන්නේ කුමන අරමුණින්ද?

මම වැඩ කරන්නේ දේශීය අනන්‍යතාව, අපේ රටේ තියෙන අපේකම නූතනයට සරිලන පරිදි යාවත්කාලීන කිරීම උදෙසා. අපේ කණ්ඩායමේම උත්සාහය වෙන්නේ ඒක. මේ රටේ උරුමයන් සහ අපේකම වර්තමානයට, මේ තියෙන නූතනත්වයට අදාළ කරගැනීම සහ පවතින නූතනත්වයට අනුව යාවත්කාලීන කරගැනීම ගැන තමයි අපි කතා කරන්නේ.

රන්වල බළකායේ වැඩකටයුතු ගැනත් කතා කරමු?

පසුගිය දවසක ලයනල් රන්වලයන්ගේ කා‍ලේ ඉඳන්ම අපිත් එකක් හිටපු පැරණි ‍‍‍ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් එක්ක අපි විශේෂ දර්ශන වාරයක් පැවැත්වූවා. ඒ වගේම අපි ‘ගයමු’ නමින් හැම මාසේම අවසන් සෙනසුරාදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී නොමි‍ලේ සංදර්ශනයක් පවත්වනවා. අපි කවුරුත් ‍පොදුවේ රස විඳපු දැන් මාධ්‍යයෙන් නොඇසෙන අපේ පැරණි ගීත තමයි එහිදී රස විඳින්න අවස්ථාව සලසලා තියෙන්නේ. අප්‍රේල් 28 සවස 6ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙත් සහාය ඇතුව ‘ගයමු’ නැවතත් ඉදිරිපත් කිරීමට අපි සූදානමින් ඉන්නවා.

දේශීය ජන සංගීතයට දරුවන් යොමු කිරීමට ඔබ ගන්නා උත්සාහය ගැනත් කියමු?

අපි ගොඩක් ගනුදෙනු කරන්නේ තරුණ පිරිසක් එක්ක. මාත් එක්ක කතා කරපු තරුණ දරුවෙක් කියපු දෙයක් තමයි අපි මේ දේශීය ජන සංගීතය මැදින් ‍නෙවෙයි, මුලින් ඒ කියන්නේ කුඩා දරුවගේ කා‍ලේ සිටම කාවැද්දවිය යුතුයි කියන කාරණය. එතැනින් අපිට පුළුවන් තවත් පරම්පරාවක් ඉදිරියට අරන් යන්න. ඒ වෙනුවෙන් අපි කොළඹ (බත්තරමුල්ල-අපේගම) ගාල්ල, ගම්පහ (නිවහන), කුරුණෑගල (වයි.එම්.බි.ඒ.) කියන ප්‍රදේශයන්වල රට පුරා දරුවන් 2000කට ආසන්න පිරිසක් එක්ක අපේ මේ ජන ගී ප්‍රාසාංගික කලාව හැදෑරීමේ පාඨමාලා පවත්වනවා. මේක ලංකාවට විතරක් ‍නෙවෙයි ඉන් එහාට ගියපු කාර්යයක්. සංදර්ශන, වැඩමුළු, දේශන ආදියෙන් අපි මේ කාර්යය වෙනුවෙන් ඇපකැපවෙලා වැඩ කටයුතු කරගෙන යනවා.

ලයනල් රන්වලයන් නිසාද සහන් රන්වලව මිනිස්සු අඳුරගත්තේ?

මගේ වෘත්තිය, මම අධ්‍යාපනය ලබපු ක්ෂේත්‍රය වෙනමම එකක්. හැබැයි මිනිස්සු මාව දන්නේ වෙනමම කෙනෙක් විදිහට. මාත් එක්ක එකට ඉගෙනගත් පිරිස අද ඉහළ තැන්වල ඉන්නකොට මම දිගටම කලාවේ නියැළෙනවා. තාත්තගෙන් පස්සේ මම හිතුවා මේක ඉදිරියට අරන් යාම මගේ වගකීමක් කියලා. හරියට ධීවර පවුලක දරුවෙක් ධීවරයෙක්ම වෙනවා වගේ මමත් මට ඇහැ ගැටුණු දේත් එක්ක ඉස්සරහට ආවා. හැබැයි එක දෙයක් තියෙනවා. තාත්තා ලයනල් රන්වල විම නිසා සහන් රන්වලට ඒක වාසියක් වුණා. නමුත් ඒක පවතින්න වාසියක් ‍නෙවෙයි. මොකද දෙමව්පියෝ නිසා කෙනෙක්ට මෙතැනට එන්න පුළුවන්. හැබැයි දිගටම ඉන්න අමාරුයි.

ඔබ ඉලක්ක කරගන්නේ ගමට වඩා නගරය කීවොත් මම හරිද?

නගරයේ මිනිස්සු අනුකරණය කරනවා පිටරට දේ. ගමේ මිනිස්සු අනුකරණය කරනවා නගරයේ මිනිස්සු කරන දේ. නමුත් ගමේ මනුස්සයාට තමන් ළඟ තියෙන නිසා ඒ ළඟ තියෙන අපේකම ගැන වටිනාකමක් නෑ. ඉතින් මට නම් සීමාවක් නෑ. විවිධ පිරිස් අතර මේ ජන ගීය බෙදී යා යුතුයි කියන තැනයි මම ඉන්නේ. හැබැයි ජන ගීය ගැන වැඩිම උනන්දුව තියෙන්නේ අපේ රටින් පිට ඉන්න ලාංකිකයන් ළඟ කියලා මම අඳුරගෙන තියෙන්නේ.

ඇයි ග්‍රාමීය පරිසරය තුළ ජන ගීයට තියෙන වටිනාකම අඩුයි කියලා ඔබ කියන්නේ?

ඇත්තටම කීවොත් අපේකම, ජාතිකත්වය, දේශීය අනන්‍යතාව ගැන හිතනවට වඩා ඒ වෙනුවෙන් කැපවෙනවට වඩා ඔවුන්ට මූලික අවශ්‍යතා ඉටුකර ගන්න සටනක් දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ සටන ජයගත්තු ඉහළ මධ්‍යම පාන්තික පිරිස තමයි අපේකම ගැන හොයන්න, මේ ඉතිහාසය ගැන හදාරන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න යොමුවෙලා තියෙන්නේ.

දේශීයත්වය ජාත්‍යන්තරයට අරන් යන්න ඔබ මොනවද කරන්නේ?

දේශීයත්වය ජාත්‍යන්තරයට අරන් යාමට වඩා දේශීය ලාංකික මොඩලයක් හදාගන්නයි අපි උත්සාහ කරන්නේ. එතැනදි ජාත්‍යන්තරයට පිවිසෙන්න ලයනල් රන්වලයන් විවිධ රටවල් එක්ක ගනුදෙනු කළත් අපිට ඒ වෙනුවෙන් සලකුණක් තියන්න පුළුවන් වුණේ 2006දී. ලංකාවේ ජන සංගීතය සම්බන්ධයෙන් වැදගත් වසරක් තමයි 2006 කියන්නේ. මොකද ජන ගී සංදර්ශනයක් බලන්න ප්‍රවේශපතක් අරන් විදෙස් පිරිසක් ආවා නම් ආවේ 2006දී. ඒ වගේම 2011දී ලෝකේ හොඳම ප්‍රාසාංගික ජන ගී කණ්ඩායමට හිමි සම්මානය අපි ලබාගන්නවා. ඒක අපේ හොඳ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා බොහෝ පිරිසකගේ ඇස් ඇරවන්න ජන සංගීතය වෙනුවෙන්. හැබැයි තාම මම කියන්න කැමති නෑ අපි ජන ගීය ජාත්‍යන්තරයට අරන් ගියා කියලා.

ඔබේ කැපවීමට ලැබෙන ඇගයීම ගැන ඔබ තෘප්තිමත්ද?

මම මහා දේවල් කරලා නෑ. නමුත් ඒ කරලා තියෙන දේට මට නිසි ඇගයීම ලැබිලා තියෙනවා. මේ රටෙන් වගේම විදේශයන්ගෙනුත් මට ඒ ඇගයීම ලැබිලා තියෙනවා. ඉතින් ගමින් ගමට, රටින් රටට මට මේ ලැබෙන පිළිගැනීම තරම් ඇගයීමක් මම හිතන්නේ නෑ තවත් අවශ්‍යයි කියලා.

දැන් ඔබ තුළ හිටපු රංගන ශිල්පියා මගහැරිලද ඉන්නේ?

මම කොහොමත් වැඩිය රංගනයට සම්බන්ධ වුණු කෙනෙක් ‍නෙවෙයි. ඉඳහිට තමයි රඟපාන්න යොමුවුණේ. ඉස්සරහටත් ඒ විදිහටමයි මම රංගනයට දායක වෙන්නේ.

අවුරුදු ළංවෙනකොට තියෙන කාර්යබහුලත්වය නිසා ගෙදර අය වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තියෙනවාද?

ඒක මෙහෙමයි. අවුරුද්දට සාපේක්ෂව මම අනිත් මාසවල මීට වඩා කාර්යබහුලයි. මාධ්‍යයෙන් මාව අවුරුද්දට විතරක් දකින්න ලැබුණත් මම බොහෝ සෙයින් කාර්යබහුල කෙනෙක්. ඉතින් ඒ කාර්යබහුලත්වය ටිකක් අවුරුදු කාලෙට අඩු වෙනවා අනිත් මාසවලට සාපේක්ෂව. මගේ වැඩ කටයුතු සේරම සිද්ධ වෙන්නේ ගෙදරමයි. ඒ හින්දා මට එයාලව මගහැරෙන්නේ නැහැ. මොකද හැමෝම මාත් එක්ක පේන මානයේම ඉන්නවා.

මෙහෙම යනකොට නීති වෘත්තියට මොකද වෙන්නේ?

නීතිය විතරක් ‍නෙවෙයි, මම කළමනාකරණයත් හැදෑරුවා. ලංකාවේ ඕන තරම් නීතිඥවරු ඉන්නවා. හැබැයි මේ ක්ෂේත්‍රය වෙනුවෙන් ඉන්නේ අතළොස්සයි. ඒ නිසාම මට කළ හැකි උපරිමය මම ජන ගී ක්ෂේත්‍රය වෙනුවෙනුයි ඉටු කරන්නේ. ජන සංගීතය කියන්නේ මට පැවරුණු වගකීමක්.

ඔබ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයටත් යොමුවුණා නේද?

‘වෙලාව කීයද?’ නමින් කෙරුණු රාජ්‍ය නාට්‍ය සම්මාන පවා ලද ඒ වේදිකා නාට්‍යය මම කළේ අධ්‍යනමය  කාර්යයක් වෙනුවෙන්. මම කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ශාස්ත්‍රයෙහි උපාධිය වෙනුවෙනුයි වේදිකා නාට්‍යයක් ප්‍රසිද්ධ වේදිකාවට අරන් ආවේ. හැබැයි ඒ පළමුවෙනි සහ අන්තිම වතාවට.

ලයනල් රන්වලයන්ගේ පාරේ සහන් රන්වල ගියා වගේ දවසක සෙත් රන්වලත් ඒ පාරේම යාවිද?

දැනට එහෙම ලක්ෂණ පේන්න තියෙනවා. හැබැයි තාම එයා පුංචි වැඩියි. නමුත් එයා මේවට හරි උනන්දුයි. රන්වල ළමා බළකායෙත් ඔහු ඉන්නවා. මමත් ආසයි ඔහු මේ ක්ෂේත්‍රයට යොමුවෙනවා දකින්න. නමුත් එයා මතම බලා‍පොරොත්තු තියාගෙන මම ඉන්නේ නෑ. මොකද ඔහු වගේ දහස් ගණන් පිරිසක් මම මේ ක්ෂේත්‍රයට අරන් ආවා. ඉන් කිහිප දෙනෙක් හෝ දවසක ඉදිරි ගමනක් යයි කියන බලා‍පොරොත්තුව නම් මට තියෙනවා.

 

 

සංවාදය : නඳුනි ආරියවංශ / රිවිර