Tuesday, November 13, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ඥානසාර හිමියන් සිවුර ගලවා භාර දිය යුතුයි, උපසම්පදා හිමිනමක් වුනත් කරන්න දෙයක් නෑ" සිරගත වූ භික්ෂූන් වහන්සේලාට බන්ධනාගාරයෙන් නීතියක් .!

8315Views

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් සිර ගත කිරීම සමාජයේ ආන්දෝලනයට ලක්ව තිබේ. ඒ අතර උන්වහන්සේ සිරගතව සිටින සමයේ චීවරය දරනවාද නැත්ද යන්න පිළිබදවද කතාබහක් ඇතිව තිබේ. මෙහි නිතීමය තත්වය පිළිබදව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුනා.

එම සංවාදය පහතින්,


අධිකරණයෙන් දඬුවම් ලැබූ කිසියම් හිමි නමක් බන්ධනාගාරයට ගෙන එමෙන් පසු ගනු ලබන මූලික පියවර කුමක්ද?

සිරගත කෙරෙන සෑම සිරකරුවකුම බන්ධනාගාරයට ගෙන ඒමෙන් පසුව ලියාපදිංචි කිරීමේ අංශයට යොමු කර ඔහුට හෝ ඇයට ලියාපදිංචි අංකයක් ලබාදෙනවා. ස්වාමීන් වහන්සේ නමකට වුණත් සිදුකෙරෙන්නේ එම ක්‍රියාදාමයම තමයි.

ඊට පසු එම හිමිනම යොමු කරන්නේ කුමන අංශයටද?

ඊට පසු ඒ හිමිනම ගබඩා අංශය වෙත යොමු කරනවා.

ගබඩා අංශය වෙත යොමු කරන්නේ කුමන හේතුවක් සඳහාද?

සිරදඬුවම් ලබලා බන්ධනාගාරගත වන පුද්ගලයන්ට පෞද්ගලික දේපළ භාවිත කරන්න අයිතියක් නැහැ. ඔවුන් සතුව තිබෙන ඇඳුම් පැලඳුම් ඇතුළු සියලු දේ එම ගබඩා අංශයට භාරදිය යුතුයි. හිමිනමකට වුණත් එම නීතිරීති අදාළයි.

එසේ සිරගත කෙරෙන කිසියම් හිමිනමක් චීවරය ගලවාදීම ප්‍රතික්ෂේප කළොත් ගන්නා පියවර කුමක්ද?

හිමිනමකට පමණක් නොවෙයි කිසිම අයකුට එවැනි ප්‍රතික්ෂේප කිරීමක් කරන්න හැකියාවක් නැහැ. ඒක බන්ධනාගාරයේ පවතින නීතියක්. ඒ නීතියට කිසිවෙක් අවනත නොවුණොත් ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා.

තමන් වහන්සේගේ චීවරය ගෞරවාන්විතව ගැලවිය යුතු බැවින් ඒ සඳහා තමන්ට අවස්ථාව සලසා දෙන්න කියලා එවැනි දඬුවමකට ලක්වූ හිමිනමක් ඉල්ලීමක් කළොත් ගන්නා පියවර කුමක්ද?

හිමිනමක් පමණක් නොවෙයි වෙනත් පූජකවරයකු වුණත් එහෙම ඉල්ලීමක් කළොත් අපි ඒ සඳහා අවස්ථාව සලසා දෙනවා. සෑම බන්ධනාගාරයකම ආගමික ස්ථාන තියෙනවා. ඒ ස්ථාන වෙත ගිහින් ඒ කටයුත්ත කරලා එම චීවරය ගබඩා අංශයට භාරදීමේ හැකියාව තිබෙනවා.

දඬුවම් ලැබූ හිමිනමකගේ පෞද්ගලික දේපොළ ගබඩා අංශයට භාර ගැනීමෙන් පසු උන්වහන්සේට ගබඩා අංශයෙන් ලබා දෙන්නේ මොනවාද?

දඬුවම් ලබා එන සෑම සිරකරුවකුටම ඔවුන්ගේ පරිහරණය සඳහා ඇඳුමක් (ජම්පර්), කොට්ටයක්, පැදුරක්, සබන් කෑල්ලක්, දත්බෙහෙත්, පිඟානක්, කෝප්පයක් වැනි දෛනික අවශ්‍යතාවලට අවශ්‍ය දේ ලබාදෙනවා. ස්වාමීන් වහන්සේ නමකට කියලා වෙනසක් නැහැ. උන්වහන්සේලාටත් ලබාදෙන්නේ ඒ දේවල්ම තමයි.

උපසම්පදා ලැබූ හිමිනමකගේ චීවරය ඉවත් කළ යුත්තේ එවැනිම හිමිවරුන් තිදෙනකු විසින් කියලා අපි අහලා තියෙනවා. සිරගතවූ එවැනි හිමිනමකගේ චීවරය ඉවත් කරන්නට කටයුතු කිරීමේදී එවැනි ක්‍රවේදයක් අනුගමනය කළ යුතුයි කියා බන්ධනාගාරයේ නීතිරීතිවල තිබෙනවාද?

එහෙම කළ යුතුයි කියලා නීතියක් බන්ධනාගාර නීතිරීතිවල නැහැ.

ගබඩා අංශයෙන් බඩු ලබාදීමෙන් පසු එම හිමිවරුන් සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවාද?

ස්වාමීන් වහන්සේ නමක් පමණක් නොවෙයි සිරගත වෙලා එන සෑම පුද්ගලයකුටම බන්ධනාගාරය තුළදී පිළිපැදිය යුතු නීති රෙගුලාසි ඇතුළත් කරුණු කාරණා පහදා දෙනවා. එම නීතිවලට එරෙහිව ක්‍රියා කළොත් ගන්නා නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් එම බන්ධනාගාරයේ සිටින විනය අංශ නිලධාරීන් මඟින් අවශ්‍ය උපදෙස් ලබා දෙනවා.

එසේ උපදෙස් ලබාදීමෙන් පසු ස්වාමීන් වහන්සේ නමක් යොමු කරන්නේ කුමක ස්ථානයකටද?

ඒ උපදෙස් ලබාදීමෙන් පසු ස්වාමීන් වහන්සේලා ඇතුළු සෑම සිරකරුවකුම ජම්පර කියන බන්ධනාගාරයේ භාවිත කරන ඇඳුම ඇඳිය යුතුයි. ඊට පසුව ඒ සෑම සිරකරුවකුම අදාළ බන්ධනාගාරයේ ප්‍රධාන අධිකාරිවරයා වෙත යොමු කරනවා.

අධිකාරිවරයා එම සිරකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමන පියවරක්ද?

අධිකාරිවරයා විසින්ද ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙනවා. ඒ අයගේ පෞද්ගලික ප්‍රශ්න, හැකියාවන් පිළිබඳ මෙන්ම ඔවුන් නිරත වෙලා සිටි රැකියාවන් පිළිබඳවද විමසීමක් කරලා ඔවුන්ගේ උගත් බුද්ධිමත්කම් හැකියාවන් පිළිබඳ අවධානය යොමු කරනවා.

ස්වාමීන් වහන්සේ නමක් වෙනම පහසුකම් සහිත සිර මැදිරියක රඳවා තැබීමට පියවර ගන්නවාද?

ස්වාමීන් වහන්සේ නමකට කියලා විශේෂයක් දක්වන්න හැකියාවක් නැහැ. මම පෙර කියපු පරිදි උගත්, බුද්ධිමත්, හැකියාවන් තිබෙන රැකියාවල නිරත වූ යහපත් යැයි සිතෙන පිරිස් හඳුනාගෙන ඔවුන් සියලු දෙනා සෙසු සිරකරුවන්ගෙන් වෙන්කර තැබීමට කටයුතු කරනවා.

ඇයි එහෙම වෙන් කිරීමක් කරන්නේ?

ස්වාමීන් වහන්සේ නමක් වැනි එවැනි පුද්ගලයන්ව වෙන් කර තැබීමට බන්ධනාගාර අධිකාරිවරයාට හැකියාවක් තියෙනවා. ඔහු ඒ දෙවල් කරන්නේ ඒ පුද්ගලයන්ගේ මානසික තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය වැනි කරුණු කාරණා පිළිබඳ අවධානය යොමු කරලා විශේෂයෙන් ඒ අයගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා.

දඬුවම් ලබා බන්ධනාගාර ගතව සිටින ස්වාමීන් වහන්සේ නමක් අධිකරණයක් වෙත රැගෙන යන අවස්ථාවන්හිදී උන්වහන්සේට චීවරය අඳින්න හැකියාව තිබෙනවාද?

එම දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ස්වාමින් වහන්සේ නමකට හෝ වෙනත් ඕනෑම පූජකවරයකුට ඒ අයට නියමිත ඇඳුම් හෝ ජාතික ඇඳුම ඇඳගෙන යන්න හැකියාව තියෙනවා. නමුත් අභියාචනයක් නොමැති අවස්ථාවක අධිකරණයට රැගෙන යනවා නම් අනිවාර්යයෙන්ම බන්ධනාගාර සිර ඇඳුම (ජම්පර්) ඇඳගෙන යා යුතුයි.

සිරගත වූ ස්වාමීන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් දෙන මාංස ආහාර ප්‍රතික්‍ෂේප කළොත් ඒ පිළිබඳව කටයුතු කරන්නේ කොහොමද?

අනිවාර්යයෙන්ම බන්ධනාගාරයෙන් ලබාදෙන සෑම කෑම වේලකටම මස් මාළු ලැබෙනවා. ස්වාමීන් වහන්සේ නමක් නොවෙයි කවුරු හෝ වෙනයම් සිරකරුවෙක් එවැනි ප්‍රතික්‍ෂේප කිරීමක් කරනවා නම් ඊට විකල්ප ආහාර ලබාදීමට අපි ක්‍රියා කරනවා. හැබැයි ඒ බව එම සිරකරුවන් ලියාපදිංචි කරන අවස්ථාවේදීම අදාළ අංශය වෙත දැනුම් දී තිබිය යුතුයි.

මොනවද මේ බරපතළ වැරැදි සුළු වැරැදි කියන්නේ සිරගතවන ස්වාමීන් වහන්සේටත් බරපතළ වැඩ දෙනවාද?

බරපතළ වැඩ කියන්නේ ගල් කැඩීම, වැලිකොට්ට කරේ තියාගෙන යෑම වැනි දේවල්. ඒවා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ බොහෝම ඉස්සර. දැන් ඒවා ක්‍රියාත්මක වන්නේ නැහැ. දැන් සිදු කෙරෙන්නේ බන්ධනාගාර සුද්ධ පවිත්‍ර කිරීම වැනි සුළු දඬුවම්. අනෙක් කාරණය දැන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරෙන්නේ බන්ධනාගාරගත කෙරෙන පුද්ගලයන් පුනරුත්ථාපනය කරලා දඬුවම් කාලය ඉවර වුණාට පසුව ඔවුන් නිදහස් කර හැරීමේ ක්‍රමයයි.

තමන්ට පොතක් පතක් ලියන්න අවශ්‍යයි කියා යම් සිරගත ස්වාමීන් වහන්සේ නමක් අවස්ථාව ඉල්ලුවොත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ සඳහා පහසුකම් සලසනවාද?

ස්වාමීන් වහන්සේ නමකට විතරක් නොවෙයි එවැනි දක්‍ෂතා තියෙන ඕනෑම අයකුට තමන්ට කැමැති ඕනෑම දක්‍ෂතාවක් පෙන්වන්න බන්ධනාගාරයෙන් අවසර හා පහසුකම් දෙනවා. හැබැයි ඒවා බන්ධනාගාර නීතිරීතිවලට අනුව තමයි කළ යුත්තේ. එසේ දක්‍ෂතා පෙන්වලා උපාධි පවා ලබා ගත්තු සිරකරුවන් බන්ධනාගාරගතව ඉන්නවා.

සිරකරුවකුයි සැකකරුවකුයි අතර තිබෙන වෙනස පැහැදිලි කරන්න පුළුවන්ද?

සැකකරුවෙක් කියන්නේ අධිකරණයෙන් වරදකරුවකු නොවුණු අධිකරණයේ නඩුවක් පවතින පුද්ගලයෙක්. සිරකරුවකු කියන්නේ අධිකරණයෙන් දඬුවම් ලැබූ පුද්ගලයෙක්. සැකකරුවන්ට ඕනෑම ඇඳුමක් අඳින්න පුළුවන්. පිටතින් කෑම ගෙන්වාගෙන කන්න පුළුවන්. අමුත්තන්ට දින 6ක් ඔවුන්ව හමුවීමට හැකියාව තිබෙනවා. ඔවුන්ගෙන් වැඩ ගන්න බැහැ. නමුත් සිරකරුවකු වුණාට පසුව කොණ්ඩය, රැවුල කපලා ජම්පර් ඇඳුම ඇඳගෙන ඉන්නවා විනා ගෙවල්වලින් කෑම ගෙන්වාගෙන කෑමේ හැකියාවක් නැහැ. මාසයකට එක් දිනක් පමණයි ඥාතීන් හෝ අමුත්තන්ට ඔවුන් බලන්නට හැකියාව ලැබෙන්නේ.

සිරගත වන ස්වාමීන් වහන්සේ නමක් බන්ධනාගාරයේ සිදු කෙරෙන ආගමිකවතාවත් සඳහා යොදා ගැනීමේ හැකියාව තිබෙනවාද?

එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඒ අයට පුළුවන් සිර ඇඳුම ඇඳගෙන ඒ කාර්යය කරන්න. සිරගත වෙලා ඉන්න විවිධ ආගම්වල පූජකවරුන් එවැනි ආගමික වතාවත්වල යෙදෙනවා.

සිරගතව සිට බන්ධනාගාරයෙන් නිදහස්ව යන ස්වාමීන් වහන්සේ නමකට චීවරය දරාගෙන නැවත බන්ධනාගාරයෙන් පිටතට යෑමේ හැකියාව තිබෙනවාද?

ඔව්. සිරගත කාලය අවසන් වුණාට පසුව ඒ ස්වාමීන් වහන්සේට චීවරය ඇඳගෙන යන්න හැකියාව තියෙනවා. නිදහස් වූ අයකුට නීති පනවන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හැකියාවක් නැහැ.

අවසන් වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ?

සිරගත වෙලා තමන්ගේ මුළු ජීවිතයම අවාසනාවන්ත කර ගන්න හදන්න එපා. වැරැදි වැඩ කරන්න එපා. යහපත් මිනිසුන් වශයෙන් ජීවත් වෙන්න කියලයි හැමෝටම කියන්න තියෙන්නේ.

සංවාදය : කුමුදු උපුල් ශාන්ත - මවුබිම 

YOU MAY ALSO LIKE