Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"සුදුස්සාට සුදුසු තැන, පුනරුත්ථාපන වගකීම කර්නල් රත්නප්‍රියට දුන්නේ ගෝඨාභය" රියර් අද්මිරාල් සියල්ල හෙළිකරයි!

11331Views

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් එම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබදව බොහෝ තොරතුරු හෙළිකර තිබුනා.
එම සංවාදය පහතින්,

යුද්ධය නිමවීමත් සමඟ වෛරී සහගත මතයක් තමයි එල්ටීටීඊ සාමාජිකයන් සතුව තිබුණේ. ඔවුන්ට ආමි එක හෝ ආමි එකේ නිල ඇඳුමවත් පේන්නවත් කැමැති නැතිවයි හිටියේ. එහෙම තත්ත්වයක් තුළ උතුරේ පුනරුත්ථාපන කටයුතු සිදුකරමින් කොටි සාමාජිකයන් යහමඟට ගැනීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මහත් කැපවීමක් කළා.

මේ කාර්යය සැලැසුම් කළේ කොහොමද?

යුද්ධය නිම වූ පසු තමයි මම 2010 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ භාර ගන්නේ. ඉන් පසු 2012 මුල වන විට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපට උපදෙස් දුන්නා උතුරේ යටිතල පහසුකම් ඇති කළ යුතුයි කියා. මහා මාර්ග, පාසල්, රෝහල්, විදුලිය ඇතුළු සෑම දේම උතුරට දුන්නා. නමුත් මේ අයගේ පුනරුත්ථාපන කටයුතු හරියට සිදු කරන්නේ කොහොමද කියා හිතන්න සිදු වුණා. එහිදී ආමි එකෙන් භාර වූ එල්ටීටීඊ සාමාජිකයන් විතරයි පුනරුත්ථාපනයක් සිදුවෙලා තිබුණේ.
ඒ අයත් එක පාරට සමාජයට මුදා හරින්න බැහැ. මොකද එල්ටීටීඊ යුද්ධයෙන් පරාජය කළාම එයට නායකත්වය ගත්ත කණ්ඩායම් එතැන හිටියා. සමහරුන් හිටියා පුනරුත්ථාපනය නොවී මඟහැර සිටි අය. මේක අනාගතයට ගැටලුවක් නොවී කරන්න කියා ගෝඨාභය සර් උපදෙස් දුන්නා, පුනරුත්ථාපනය වූ අයයි නැති අයයි අරගෙන උතුරේ සංවර්ධන කටයුතු කරන්න කියලා. නැඟෙනහිර පැත්තේ අපි කළේ ගොවිතැන්, ගඩොල් කැපීම, පන්සල් හැදීම, පෙර පාසල් හැදීම. අත්කම් වැඩ තමයි කළේ.

ඒ කියන්නේ උතුරට විශේෂයක් කළාද මේ කාර්යය කිරීමේදී?

නැහැ. අනෙක් පැතිවල වගේ මෙහෙත් කරන්න කිව්වා. උතුරේ සිවිල් ආරක්ෂක බළකායේ කඳවුරු තිබුණේ නැහැ. ඒ නිසා ආසන්නයේ තිබුණු කඳවුරකින් අණදෙන නිලධාරීන් දෙන්නකුයි කොළඹින් තවත් නිලධාරීන් කීප දෙනකුයි මම යැව්වා. කැබිතිගොල්ලෑව සහ වවුනියාවේ අණදෙන නිලධාරියා සහ කොළඹින් බි්‍රගේඩියර් ඇතුළු කිහිප දෙනෙක් උතුරට යැව්වා. යවලා කිව්වා ඒ පැත්තේ ප්‍රචාරයක් දෙන්න කියලා.

මොනවා ගැනද ප්‍රචාරය කළේ?

අපි එල්ටීටීඊ සාමාජිකයන්ව පුනරුත්ථාපනය කරලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ගන්නවා කියලා අපි කිව්වා අයැදුම්පත් එවන්න කියලා. අපි 4,000ක් විතර ඇයදුම්පත් භාර දුන්නා. අපි පොඩි උත්සවයක් තියලා අයැදුම්පත් දුන්නා. අපි හිතුවේ වැඩේ සාර්ථකයි කියලා. ගෝඨාභය සර්ටත් කතා කරලා කිව්වා. අයැදුම්පත් පුරවාගෙන අහවල් දවසේ එන්න කිව්වා. එන්න ජොබ් එක දෙනවා පඩිය මෙච්චරයි අපි කරන්නේ මේකයි කියලා මම කතාවකුත් කරලා කිව්වා. මේක යුද හමුදාව නෙවෙයි කියලා මේ අයට පැහැදිලි කළා. මොකද යුද්දෙට බයවෙලා හිටපු අය, හමුදාව එපා වෙලයි මේ අය හිටියේ. අනෙක සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් හමුදාවක්නේ. අපිත් යුනිෆෝම් අඳිනවා. ඒ නිසා දැඩි වෙහෙසක් ගන්න සිදු වුණා මේ අයගේ හිත් හදන්න. එයාලව යහමඟට ගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා මට උපදෙස් දුන්නා ඔයාලව පුනරුත්ථාපනය කරලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගන්න කියලා.

අයැදුම්පත් ගන්න සියලුම දෙනා ආවද?

සති දෙකක් විතර අපි එයාලට අවස්ථාව දුන්නා. ආවේ එකසිය ගණනයි. මට කේන්තිත් ගියා, මොකද වුණේ කියලා. මගේ නිලධාරීන් හරියට වැඩේ කරලා නැහැ කියලා. බලන කොට එල්ටීටීඊ එකට සම්බන්ධ පරණ අය, පිටරට ඉන්න අය මේ අයට කියලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට යන්න එපා කියලා. විශේෂයෙන්ම උතුරේ දේශපාලකයන් මේකට විරුද්ධ වෙලා. මොකද අපි ඒ අයව රවටනවා කියලා. කොහොම හරි ආයි ගමින් ගමට ගියා. යනකොට මට හමුවුණා අකිලන් කියලා එල්ටීටීඊයේ හිටපු කෙනෙක්. මෙයා මට හිතවත් වුණා. මගේ නිලධාරීන් එක්ක කතා කළා. ඒ වෙනකොට අපේ වැඩේ අසාර්ථක නිසා ගෝඨාභය සර්ගෙන් දක්ෂ නිලධාරියෙක් ඉල්ලුවා.

ඒ නිසා මට ලැබුණු දක්ෂ නිලධාරියා තමයි ලුතිනන් කර්නල් රත්නප්‍රිය. එයා අම්පාර පැත්තේ කඳවුරක තමයි හිටියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගල්කිරියාව පුහුණු පාසලේ පුහුණුවීම් භාර නිලධාරියා ලෙස හිටියා. එයා දක්ෂයි. නමුත් මේ වගේ වැඩ කරලා තිබුණේ නැහැ.

ලුතිනන් කර්නල් රත්නප්‍රියව කොහොමද මේ වැඩේට යොදා ගන්නේ. ඔහුට යම් සැලැසුමක් දුන්නද. නැත්නම් ස්වාධීනව වැඩ කරන්න දුන්නද?

නැහැ. එයා මුලින්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නිදහස් කරන්නත් ආමි එකෙන් කැමැති වුණේ නැහැ. පස්සේ ගෝඨාභය සර්ට කියලා මම මේ දක්ෂ නිලධාරියාව, ඕන කියලා ඉල්ලුවා. ගෝඨාභය සර් මට නිලධාරියා දුන්නා. පස්සේ මම රත්නප්‍රිය එක්ක ගිහින් අකිලන්ව මුණගැහිලා තව අය හම්බවෙලා එයාලට දුන්න වගකීම. ඊට පස්සේ රත්නප්‍රියට වැඩේ කරන හැටි කියලා එයාට නිදහසේ වැඩේ කරන්න දුන්නා.

අලුතෙන් එල්ටීටීඊ සාමාජිකයන් බඳවාගෙන මේ වැඩේ කරන කොට ප්‍රතිපාදන ලැබුණේ නැහැ. ඒ සෑම දෙයක්ම කර ගත්තේ සිවිල් ආරක්ෂක බළකාය කියන කතාව ඇත්තද?

ඔව්. අපට ප්‍රතිපාදන නැහැ. ගෝඨාභය සර් අපට වැඩ භාර දෙන්නේ එහෙමයි. අමාරුවෙන් නැඟිටලා වැඩේ සාර්ථක කරලා ප්‍රතිඵල පෙන්නන්න අපි දැන ගන්න ඕන. ගෝඨාභය සර්ගේ සාර්ථකත්වය ඒකයි. එයා තනතුරුවලට අපිව පත් කළෙත් තෝරලා. මම නාවික හමුදාවේ. නමුත් දාලා තිබ්බේ යුද හමුදාවේ වැඩවලට. සිවිල් ආරක්ෂක බළකාය පටන් ගෙන ජෙනරාල්ලා සිය ගණනක් ඉන්න කොට අද්මිරාල් සරත් වීරසේකරට එම වැඩේ භාර දෙන්න විශේෂ හේතුවක් තිබුණා. ගෝඨාභය සර්ට මිනිසුන්ව ඇතුළෙන්ම පේනවා. මේ දේ මේ මිනිහට දුන්නොත් වැඩේ හොඳට කරනවා කියලා ගෝඨාභය සර් දන්නවා. එහෙම විශ්වාසයක් තියලා භාරදුන්නම අපිටත් ඒක නොකර බැහැ. අපිත් උපරිමයෙන් වැඩ කරනවා. කොහොම හරි අපි වැඩේ ලස්සනට කළා.

පුනරුත්ථාපනය කළ අය සිවිල් ආරක්ෂක සේවයට බඳවා ගත්තත් ඒ අයගේ ඇඳුම වෙනස් කළේ ඇයි?

මේ අය යුද්ධය නිසා ආමි එකත් එක්ක තරහින් හිටියේ. ඒ වගේම ආමි එකේ නිල ඇඳුමත් එක්ක. තරහින් හිටියේ. මේ අයට අපි අවි ආයුධ දුන්නේ නැහැ. ඒ වෙනුවට කැත්ත, උදැල්ල, ගඩොල් අච්චුව තමයි දුන්නේ. අපි අනෙක් පැතිවල කරන වැඩේම කළා. මේ පුනරුත්ථාපන වැඩේට කාන්තාවන් ආවා. ඒකත් අපට ප්‍රශ්නයක් වුණා. නමුත් අපි ඒ අයව බඳවා ගත්තා. යුද්ධයට පෙර නම් අපි සුදුසුකම් බලලයි සිවිල් ආරක්ෂක සේවයට ගත්තේ. නමුත් උතුරේදී අපට එහෙම බැරි වුණා. අත් පා නැති අය, උස නැති අය ගත්තා. මොකද අපේ වැඩේ සාර්ථක කරගන්න ඕන නිසා ඕන තරම් බඳවා ගන්න කියලයි කිව්වේ. වැඩ කරන්න පුළුවන් අය ගත්තා. ඒකට අනුමැතිය ලැබුණා. මෙහෙම බඳවා ගන්න අය එනකොට ඒ අයට එල්ටීටීඊ හිතවාදීන් බැනලා තිබුණා. රත්නප්‍රිය මට ඕක කිව්වා. පස්සේ මම ගිහින් උත්සවයක් තියලා පිරිමි අයට මෝටර් සයිකල්, ගැහැනු අයට ස්කූටර් සහ පාපැදි අඩු මිලකට ලබා දුන්නා ගෙවීමේ පදනම මත. එහෙම කරලා මේ අයගේ විශ්වාසය දිනා ගත්තා.

දුෂ්කරතා මැද මේ වැඩේ සාර්ථක කරගත්තා කියලයි ඔබ මුලින් කිව්වේ. පහසුකම් දුන්නේ නැතිව නොපුරුදු කට්ටියක් එක්ක වැඩේ කරන්න ලෙහෙසි වුණාද?

ඒක තදින්ම දැනුණා. මොකද දෙමළ කතා කරන අය අපට නැහැ. රත්නප්‍රියටත් ඒ දවස්වල දෙමළ බැහැ. අපි කළේ දෙමළ කතා කරන්න පුළුවන් නිලධාරීන් සහ සෙබළුන් දුර පළාත්වලින් මෙහෙට ගෙන්නුවා. මාස 3,6 වශයෙන් කඩින් කඩ. ඒ වගේම යුද්දෙන් පරාජය වූ අය අරගෙන මේ වැඩේ කරන එක ලෙහෙසි නැහැ. කොහොම හරි මේ අය එක්ක පිට පළාත්වලින් තව ළමයින් 200ක් විතර දුන්නා. රත්නප්‍රිය ඉල්ලන්නේ මොනවද මම දෙනවා. අපට අලුත් වාහන නැහැ. යුද්ධය නිමවෙලා තිබුණ නිසා ප්‍රතිපාදන නැහැ.

ගෝඨාභය මහත්තයගෙන් අවශ්‍ය පහසුකම්වත් ඉල්ලුවේ නැද්ද?

අපි ඉල්ලුවේ නැහැ. එයා බලාපොරොත්තු වෙන්නේ අවම වියදමින් වැඩේ සාර්ථක වෙන්නයි ගෝඨාභය මහත්තයට ඕන. අනෙක රජයෙන් ඉල්ලුවම ඒක ගන්න කල් යනවා. අය - වැයෙන් මුදල් වෙන්වෙලා නැත්නම් වැඩේ කල් යනවා. කොහොම හරි කැති, උදලු, ට්‍රැක්ටර් අපි අනෙක් තැන්වලින් ගත්තා. ආමි එකෙන් අපට උදවු කළා. මුලින් අපට ඉන්න තැනක් තිබුණේ නැහැ. නිලධාරීන් වැඩට ආවේ ළඟ තියෙන යුද හමුදා කඳවුරුවල ඉඳන්. අපට ඒ අයගේ සහාය තිබුණා. මේ තරම් දුක් විඳලා තමයි අපි උතුර ජය ගත්තේ. මට හම්බවුණා කැබ් එකක්. මම ඒක රත්නප්‍රියට දුන්නා. මොකද දිරිමත් කළා. අනෙක් අයට වඩා සැලකිල්ලක් එයාට කළා. මොකද එයා වැඩේ හරියට කරන නිසා. ගෝඨාභය සර් තමයි එහෙම දේවල් කරන්න කිව්වේ. මම වරින් වර ප්‍රගතිය කියද්දී ඒ හැමවෙලේම කිව්වේ රත්නප්‍රිය දිරිමත් කරන්න කියලයි. අනෙක් නිලධාරීන් ඒකට ටිකක් කලකිරුණා. මුලදී මම සති දෙකෙන් දෙකට ගියා. පස්සේ මාසෙකට සැරයක් ගිහින් රත්නප්‍රියව දිරිමත් කරලා වැඩේ සාර්ථක කරගත්තා.

මේ පැත්තේ පෙර පාසල් තියෙනවා ප්‍රභාකරන් ඉන්න කාලේ පටන්ගෙන. එයා පඩි දීලා තිබුණේ මාසෙකට 1,000යි. අපේ සේවා වනිතා ඒකකය පෙර පාසල් 500ක් විතර ලංකාව වටේම අරඹලා තිබුණා. සේවා වනිතා ඒකකයේ සභාපතිනි ලෙස වැඩ කළේ මගේ නෝනා කුමුදුනි පීරිස්. උතුරු පළාතෙම පෙර පාසල් 200ක් විතර තිබුණා. අපි ඒක 261 දක්වා වර්ධනය කරලා ගුරුවරු යොදවලා වැඩේ සාර්ථක කර ගත්තා. සිවිල් ආරක්ෂක සේවාවට බැඳුණම රුපියල් 25,000ක වැටුපක් ඒ කාලේ දුන්නා. ඒ වගේම ඒ අයට පෙර පාසල් පුහුණුව ලබා දුන්නා. ගීතාංජලී නගුඩේෂන් කියලා කාන්තාවක් හිටියා. එයා මේ වැඩේට උපරිම සහායක් දුන්නා. එයා ස්වේච්ඡාවෙන් ඒ වැඩේ කළා. නිල ඇඳුමක් දුන්නා. ස්කූටි දුන්නා. මේ වැඩේ සාර්ථක වුණා.

මේ වැඩේ සාර්ථක කරගන්න ඔබට කොපමණ කල් ගියාද?

වසරක කාලයක් තුළ අපි වැඩේ සාර්ථක කරගත්තා. හැබැයි අපි ප්‍රචාරක වැඩ කළේ නැහැ. සිවිල් ආරක්ෂක බළකායේ ප්‍රතිපත්තියක් තියෙනවා. අපි ඒක කළේ ගෝඨාභය මහත්තයාගේ උපදෙස් පිට. ඒ අනුව අපි පුනරුත්ථාපනය වෙන අයගේ සුබසාධන වැඩ සොයා බැලුවා. විශේෂයෙන්ම අධ්‍යාපනික කටයුතුවලට අදාළ දේවල් දුන්නා. සේවා වනිතා ඒකකය මඟින් පුනරුත්ථාපනය වන අයගේ ළමයින්ට අභ්‍යාස පොත් දුන්නා. හැමදේම සොයා බැලුවා. ඒකේ ප්‍රතිඵලය අපි දැක්කා රත්නප්‍රිය එන කොට. ඒ අපි හැමෝගෙම ධෛර්යයේ ප්‍රතිඵලයක්. මේ සමස්ත වැඩපිළිවෙළේ පිටු පසින් හිටියේ මට උපදෙස් දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. රත්නප්‍රියට වගේම මටයි මගේ නෝනටත් ඇස් නොපෙනෙන ගාණට මල් මාලා දාලා ඒ ජනතාව අපිව පිළිගත්තා. මොකද ඒ අයට අපි කෙරෙහි විශ්වාසයක් ඇති වුණා. අපට දෙවිවරුන්ට වගේ සැලකුවේ. ගෝඨාභය සර් අපට මේ වැඩේ කියලා පටන් ගන්න කොට ඒ අයට සමාජයේ තිබුණු තත්ත්වයයි අද ඉන්න වටපිටාව ඒ අය තේරුම් ගත්තා.

රත්නප්‍රිය මහතා උතුරෙන් ඉවත් කළේ ඇයි?

රත්නප්‍රිය දක්ෂ නිලධාරියෙක්. එයාගේ සේවා කාලය ඉවරයි. නමුත් ආණ්ඩුවට ඕන නම් සේවා දිගුවක් දීලා මේ දක්ෂ නිලධාරියාගෙන් වැඩක් ගන්න තිබුණා. ඒත් මේ සේවා දිගුව දෙන්න ඉහළ නිලධාරීන් අකැමැති වෙලා. රත්නප්‍රිය කියන්නේ දක්ෂයෙක්. එයාට හයිටි යන්න අවස්ථාවක් ආවා. එයාලගේ සේනාංකයෙන් ඒක කියලා තිබ්බා. රත්නප්‍රිය හයිටි ගියොත් මම අසරණ වෙනවා. මම එයාට පහදලා දුන්නා කැමැති තීන්දුවක් ගන්න කියලා. මොකද රත්නප්‍රිය කිලිනොච්චි සහ මුලතිව් බළකා දෙකේම ප්‍රධානියා ලෙස වැඩ කළා. රත්නප්‍රිය එහෙට ගියා නම් අපේ වැඩේ මේ සාර්ථකත්වයක් ගන්න බැහැ. රත්නප්‍රියගේ තැනට ආදේශ කරන්න පුළුවන් නිලධාරියෙක් මට හිටියේ නැහැ. කොහොම හරි අන්තිමට හයිටි වැඩේ අතඇරලා අපි එක්ක හිටියා. එයාගේ කැපවීම උපරිමයයි. කොහොමහරි අන්තිමට සිවිල් ආරක්ෂක සේවයට බැඳෙන්න පෝලිමේ සෙනඟ ආවා. අපට කට්ටිය වැඩි වුණා. රත්නප්‍රියට බේරෙන්න බැරි වුණා. මේ වන විට 3,500ක් විතර හිටියා. අපි කොහොම හරි ඒ ගාණෙන් ෂේප් කර ගත්තා. අපි මේ අයට විශ්‍රාම වැටුපක් දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ සැකසුවා. වසර දෙකක් ගිහින් වැඩේ සාර්ථක කර ගත්තා.

ලංකාව වටා ඉන්න හැමෝටමත් එක්කද විශ්‍රාම වැටුප සැකැසුවේ?

ඔව්. සිවිල් ආරක්ෂක බළකාය කියන්න ඉස්සර මේ අය ග්‍රාම ආරක්ෂක සේවය කියලයි හැඳින්වූයේ. මේ අයගේ වසර 20ක් සම්පූර්ණ වූ අයට ස්වේච්ඡා හමුදා සේවයේ වසර 20ක් හිටියොත් විශ්‍රාම වැටුපක් දෙන විදියට විශ්‍රාම වැටුපක් ලබා දුන්නා. උතුරේ පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ අයට ස්ථිර රැකියාවක්, සමාජ පිළිගැනීමක් විශ්‍රාම වැටුපක්, නිල ඇඳුමක්, හොඳ වැටුපක්, ළමයින්ගේ අධ්‍යාපනයට පොත්පත් දුන්නම පෙරපාසල් හදලා කෝවිල් 4ක් හදලා ඒ අය වෙනුවෙන් හැමදේම කළාම අපි ගැන විශ්වාසය වැඩිවුණා.

මේ තරම් වැඩ කොටසක් කරපු ඔබ ඇයි එක පාරටම විශ්‍රාම ගියේ?

මම විශ්‍රාම ගියේ නැහැ. බලෙන් විශ්‍රාම යැව්වා. මේ ආණ්ඩුව ආවා විතරයි මාව ගෙදර යැව්වා. මට එක පැයක්වත් දුන්නේ නැහැ කාර්යාලයේ ඉන්න. කතා කරලා යන්න කිව්වා.

මේ ඇති කළ සංහිඳියාව ආරක්ෂා කර ගන්න වත්මන් ආණ්ඩුවට හැකිවෙලා නැහැ. ඒකට හේතුව මොකක්ද?

සංහිඳියාව ගොඩනඟන්න කතා පවත්වලා වැඩක් නැහැ. පත්තරවල ලිපි දාලා රූපවාහිනි වැඩසටහන් කරලා වැඩක් නැහැ. සංහිඳියාව කියන්නේ අපි දෙගොල්ලෝ අතර සුහදත්වයයි. දකුණෙන් කොල්ලෝ ගියා එහේ වැඩට. මේ අයට දෙමළ පුළුවන්. ඔවුන් එහේ පුනරුත්ථාපනය වෙන්න ආපු දෙමළ තරුණියන් හා විවාහ වුණා. දෙමළ තරුණයෝ අපේ සිංහල ගැහැනු ළමයින් එක්ක විවාහ වුණා. මේ අය අද හොඳ සතුටින් ඉන්නවා. ගොවිතැන් කරගෙන සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා. ඉතින් ඊටත් වඩා සංහිඳියාව ගැන කියන්න වෙන කතා ඕන නෑනේ. සංහිඳියාව දෝරේ ගලා යනවා මේ බැඳීම නිසා. ඉතින් මේ වැඩේ තව සාර්ථක කර ගන්න තිබුණා. රත්නප්‍රිය එක කාලයක් එකම නිලයේ හිටියා. ඒ නිල කාලය අවසන් වුණාම ඊළඟ නිලයට උසස් වෙන්නේ නැත්නම් විශ්‍රාම ගන්න ඕන. ඒක තමයි ත්‍රිවිධ හමුදාවේ නීතිය. එහෙම නැතිව රත්නප්‍රිය මාරු කළා නෙවේ. රත්නප්‍රියගේ කැප කිරීමේ ප්‍රතිඵලය මේ ආණ්ඩුව හඳුනාගතතේ් නැහැ. රත්නප්‍රියගේ සේවාව ධනාත්මකව බැලුවේ නැහැ. බැලුවේ ඍණාත්මකව. එහෙම බලලා විශ්‍රාම ගන්න කිව්වා.

ගෝඨාභය මහත්තයා හිටිය කාලේ මම අධ්‍යක්ෂ ජනරාල් විදියට ඉන්න කොට මෙහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ. සර් මෙයා තියාගන්න කියලා ඒක ටක්ගාලා කරනවා. මේ තරම් කැපවීම් කරපු කෙනකුට උසස්වීමක් දීලා තියා ගන්න කිව්ව නම් තියාගන්නවා. රත්නප්‍රිය ඉල්ලීම් කළා. ඒවා ශත පහකට ගණන් ගත්තේ නැහැ. මේවා ජාතික අපරාධ. මෙහෙම වෙනකොට අපේ රට දියුණු වෙයිද? ගෝඨාභය මහත්තයා මාව විශ්‍රාම නොයවා වැඩ ගත්තේ අපේ දක්ෂතා දැක්ක නිසයි. එතුමා කළේ මගෙන් වැඩ ගත්ත එක ඒකයි ගෝඨාභය මහත්තයාගේ සාර්ථකත්වය. සරත් ෆොන්සේකායි කරන්නාගොඩයි නයි වෛරයි. ඒත් ඒ දෙදෙනා තියාගෙන දෙන්නාගෙන්ම වැඩගත්තා. ඒක තමයි හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහජ හැකියාව.

දැන් ඉන්න ආරක්ෂක ලේකම් සහ ඉහළ නිලධාරීන් රත්නප්‍රිය වගේ දක්ෂ අය ගැන දන්නේ නැද්ද? ඒකද මෙහෙම වෙන්නේ?

දැන් ඉන්න අය දන්නේ නැහැ. මේ අය දන්නේ අඬගහලා විශ්‍රාම යනකොට ප්‍රශංසා කරන්න විතරයි. සාර්ථක රාජ්‍යයක් පරිපාලනය කරන කොට ඉහළ නිලධාරීන්ට ඒවා දැනෙන්න ඕන. ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒක මේ අයට නැහැ.

ගෝඨාභය සර්ට ඒක තිබුණා. ඒකයි ගෝඨාභය සර්ගේ සාර්ථකත්වය. අද ඒක යුද හමුදාවෙත් නැහැ. එහෙම දෙයක් යුද හමුදාවේ තිබ්බා නම් රත්නප්‍රිය වගේ අය තවම වැඩ.
දෙමළ ජනතාව සෑම කෙනාම එල්ටීටීඊ අය නොවේ. මේ අයට ප්‍රශ්න තිබුණා. අපි ඒ ප්‍රශ්නවලට පිළිතුරු දීලා සමාජයේ පිළිගැනීමක් ඇති කළා. මම රත්නප්‍රිය සහ අනෙක් නිලධාරීන් තම කාර්යයන් හරියට කළා. ඒ නිසා අපේ වැඩේ සාර්ථක වුණා.

සංවාදය : ප්‍රගීත් සම්පත් කරුණාතිලක/ මවුබිම