Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘ මගේ විකාර හීන ගැන සමහරු මට හිනා වුණා. ඒත් මම මගේ අරමුණ අතඇරියෙ නෑ‘‘ ලංකාවට අභිමානයක් ගෙන එමින් නාසා ආයතනයේ ලාබාලතම තානාපතිවරිය වූ මල්මි...!

18748Views

 

කුඩා කල සිටම හිරු, සඳු, තරු ගැන ඇතිවූ කුතුහලය නිසාම ඒ ක්ෂේත්‍රයේ දිගු ගමනක් ගිය ශ්‍රී ලාංකීය දිරිය දියණියක් ගැන තොරතුරු වාර්තා වුනා. කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය තම සිහිනය සැබෑ කර ගන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයේ සෞරග්‍රහ මණ්ඩල වැඩසටහනේ ලාබාලතම තානාපතිවරියක ලෙස පත්වන්නේ ශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක් එකතු කරමින්.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන  ඇය නමින් මල්මි ප්‍රසන්දි. කපිල කිරිවන්දලගේ සහ සමන්මලී කිරිවන්දලගේ යන මව්පිය යුවළගේ දියණිය වන ඇය කුඩා කල සිටම අභ්‍යවකාශය පිළිබඳ තොරතුරු ගවේශනය කරන්නට විශාල උනන්දුවක් දක්වා තිබෙනවා. එහි ප්‍රථිපලයක් ලෙස ඇය නාසා ආයතනයේ ලාබාලතම තානාපතිවරියක ලෙස පත්වුනා සේම ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ලෝන් අයිලන්ඩ් ප්‍රදේශයේ ජනතාවට නාසා ආයතනයේ කටයුතු පිළිබඳ අලුත්ම දැනුම ලබා දෙන්නේ ඇය විසින් වීම විශේෂත්වයක්.

පාසලේ පහළ ශ්‍රේණිවල සිටම මල්මි අනුර සී. පෙරේරා විසින් තාරකා විද්‍යාව පිළිබඳව ලියූ පොත්පත් කියවන්නට පුරුදු වී සිටි අතර කෙදිනක හෝ තාරකා විද්‍යාඥවරියක වන බවට ඇය තුල තිබූ අධිෂ්ඨාන සපථ කරමින් ඇය 2018 වසරේදී නාසා ආයතනයේ නියෝජිතවරියක වශයෙන් පත්වනවා. ඇමෙරිකානු ෆෙඩරල් කාර්යාංශය මඟින්  ඇගේ ජීවින චර්යාවන් පිළිබඳව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව ඇයට මෙම  තනතුර ලබා දී තිබනෙවා. මෙවැනි තනතුරක් දරණ ඇමෙරිකානු පුරවැසියන් සිටින්නේද අතළොස්සක් වන අතර ඇයට හිමි වූ මෙම අවස්ථාව සමස්ථ ශ්‍රී ලංකාවටම අභිමානයකි.

තමන්ට හිමිවුන මෙම අවස්ථාව පිළිබඳව ඇය පුවත්පතකට මෙලෙස ප්‍රකාශකර තිබුනා.

"මම කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකාවෙ ඉගෙන ගනිද්දි තාරකා විද්‍යා සංගමයේ සාමාජිකාවක වුණා. පස්සෙ සංගමයෙ සභාපති වෙලා බාහිර ක්‍රියාකාරකම් රැසකට දායක වුණා. අපි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වෙලා "රොකට්" එකකුත් හැදුවා. සෞරග්‍රහ මණ්ඩලය ගැන දැන ගන්න විශ්වය ගැන ඉගෙන ගන්න මහා කුතුහලයකින් මම හිටියෙ. පන්තියෙ විෂයයන් ගැන උනන්දුවක් නෑ කියලා ටීචර් මගෙ අම්ම ඉස්සරහදි මට බැනලත් තියෙනවා.

මගෙ විශාල සිහිනයක් තිබුණා මම කවදා හරි ඇමෙරිකාවෙ නාසා ආයතනයේ රැකියාවකට යනව තාරකා විද්‍යාඥවරියක වෙලා. අලුත් ග්‍රහ ලෝක සොයා ගන්නවා කියන සිහිනය ඔස්සේ මම ගියා. ඒ සඳහා යන පාර මොකක්ද කියන එක ගැන මට වැටහීමක් තිබුණෙ නැහැ. මගෙ විකාර හීන ගැන සමහරු මට හිනා වුණා. ඒත් මම මගේ අරමුණ අතඇරියෙ නැහැ. මම සෞරග්‍රහ මණ්ඩලය ගැන පර්යේෂණ කරන නොයකුත් ආයතන සමඟ සම්බන්ධ වුණා. මේ අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙද්දි මට ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලය මඟින් පැවැත්වූ හය මාසික වැඩමුළුවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූ බව කිව හැකියි.වැඩිදුර අධ්‍යාපනය ලැබිය යුතු කොයි ආකාරයෙන්ද කියලා මම එහිදී තේරුම් ගත්තා. 

නාසා ආයතනය හා සම්බන්ධ මගේ විශ්වවිද්‍යාලෙ මහාචාර්යවරයාගේ උපදේශකත්වය යටතේ මා සිදුකළ පර්යේෂණය පදනම් කර ගනිමින් ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාවක් නාසා ආයතනය 2017දී පිළිගත්තා. මගේ පර්යේෂණයට විෂය වූයේ අඟහරු ග්‍රහයාගේ දක්ෂිණාර්ධ ගෝලයේ හඳුනා ගත් ජල විවර සම්බන්ධවයි. අඟහරුගේ උත්තරාර්ධ ගෝලයේ කුහර තුළ ජලය පවතින බව නාසා ආයතනය සොයාගෙන තිබුණා. මම දක්ෂිණාර්ධ ගෝලයේ පවතින විවර සිතියම් ගත කර එම විවරයන්හි ජලය නොමැති බව තහවුරු කළා. මගේ දෙවැනි පර්යේෂණ පත්‍රිකාව තරු පොකුරේ විකිරණ වර්ගීකරණය සම්බන්ධව සිදුකළා. මේ සියලු පර්යේෂණයන් සමීක්ෂණය කිරීමෙන් පසුවයි 2018 මාව නාසා ආයතනයේ සෞරග්‍රහ මණ්ඩල වැඩසටහන් තානාපතිවරියක වශයෙන් පත්කර ගත්තේ.

වෘත්තීයමය වශයෙන් මා මේ කාර්යයේ නිරත වන්නේ මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අතරමයි. මම දැනට නිව්යෝර්ක් සෙල්ඩන්හි සෆ්ලොක් ප්‍රාන්ත විද්‍යාලයේ තාරකා විද්‍යා හා භූ විද්‍යා ශාස්ත්‍රපති උපාධිය ලබා සිටිනවා. ලබන මාසයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පවත්වන විද්‍යාඥයන් 3000ක් සහභාගි වන වැඩමුළුවකටද සහභාගි වීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මේ වැඩමුළුව මගේ ජීවිතයේ අමතක නොවන දින 10ක් වේ යැයි මා හිතනවා. මා අපේක්ෂා කළ ඉලක්කය වූ තාරකා විද්‍යාඥවරියක් වී ලංකාවට කීර්තියක් අත්කරදීම අතේ දුරට සමීප වීම ගැන මා අවංකවම සතුටු වෙනවා.

අන්තර්ජාලය ඔස්සේ මට හමුවන බොහෝ නංගිලා මල්ලිලා අජටාකාශ විෂයන් ගැන උනන්දුවෙන් කතා කරනවා. ඒ හැම දෙනාටම මම කියන්නෙ "ඔබ සිහින දකින්න. ඒ සිහින සැබෑ කරගන්න. ආත්ම ශක්තිය ඇති කරගන්න. කුමන බාධක ආවත් ඉලක්කය අත්නොහරින්න. අභියෝග ජය ගන්න කැපවීම් කරන්න මැළිවන්න එපා. අධිෂ්ඨාන සහගතව ඉදිරියට යන්න ඔබට වරදින්නේ නැහැ" කියලා.

- උදේනි සමන් කුමාර මව්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් - 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

3876
2018-07-19

Narmadha Yapa Abewardena

1549
2018-07-18

INAMI

729
2018-07-18

Rashmi Madushika

678
2018-07-18