Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘මම වෙලාවක ඇවිත් ඕකාගේ බොටුව මිරිකනවා‘‘ මියගිය බිරිඳ සැමියාට තර්ජනය කරන්න යුවතියකගේ ශරීරයට ඇතුල් වුන හැටි...!

4861Views

 

මිනිසුන්ට කායික රෝග මෙන්ම මානසික රෝගද වැළඳීම සාමාන්‍ය දෙයක්. තම ජීවිතයට බලපාන බොහෝ කරණු මුල්කර ගනිමින් විවිධ වූ මානසික රෝග පීඩාවන්ට ගොදුරු වන අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබෙනවා. පසුගිය කාලයේදී මිය ගිය බිරිඳක් එම ප්‍රදේශයේ යුවතියකගේ මාර්ගයෙන් තම සැමියාට තර්ජනය කිරීමට කටයුතු කළා යැයි පුවතක් දැන ගන්නට ලැබුණා. කෙසේ වෙතත් මෙම සිදුවීම පිටුපස සැඟවුනු කතාව ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ  විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අනාවරණය කළ අයුරු පුවත්පතක් වාර්තා කර තිබුණා.

එම සටහන පහතින්.

රාත්‍රී නිහැඬියාව බිඳිමින් අමරසිංහ නිවසින් මර විලාපයක් ඇසිණ. එම විලාපයෙන් නිවැසියන් සේම යාබද නිවෙස්වල සිටියවුන්ද අන්ද මන්ද වූහ. එම විලාපය නැගුණේ අමරසිංහ මහතාගේ වැඩිමල් දියණිය වන සචිත්‍රාගේ මුවෙනි. ඉන් කලබලයට පත් අමරසිංහ දෙමහල්ලෝ තම දියණියට සිදුවූ විපත කුමක් දැයි දැනගැනීමට වහා ඇගේ යහන වෙත දිව ආහ.

‘තොපි මාව අඳුනනවද? මම තමයි යකෝ ඩේසි ඇන්ටි‘. සචිත්‍රා ගොර ගොර හඬින් බෙරිහන් දුන්නාය. ඩේසි ඇන්ටි යනු ඔවුන්ගේ නිවසට අද්දර නිවසක සිටි වියපත් කාන්තාවකි. මීට වසරකට පමණ පෙර ඇය පිළිකා රෝගයකින් මිය ගියාය.

‘තොපි කියාපියව් හර්බට් ගැන මම හොඳ සෝදිසියෙන් ඉන්නේ කියලා. මම වෙලාවක ඇවිත් ඕකාගේ බොටුව මිරිකනවා‘. සචිත්‍රා වෙව්ලමින් බෙරිහන් දුන්නාය.

හර්බට් යනු ඩේසි ඇන්ටි නමින් හඳුන්වනු ලැබූ කාන්තාවගේ සැමියාය. 70 හැවිරිදි ඔහු විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකි.

අමරසිංහගේ දුවට ඩේසි ඇන්ටිව වැහිලා!

පසුදා පහන්වන විට එම පුවත ප්‍රදේශය පුරා පැතිර යන්නට විය. ඒ පුවතට අනුව අසල්වාසීහු ඔවුන්ගේ නිවසට වැලනොකැඩී එන්නට වූහ.

එහෙත් මියගිය කාන්තාවගේ සැමියා වන හර්බට් ඒ පැත්ත පලාතක පැමිණියේ නැත. එසේ නොයෑමට හේතුව අසල්වැසියන් විමසූ විට ඔහු කීයේ ‘ඕවා පිස්සු විකාර මම ඕවා පිළිගන්නේ නැහැ‘ යනුවෙනි.

ඒ කෙසේ හෝ ඊට ආසන්නම දිනයක හර්බට් තම මියගිය බිරිඳට පිං පිණිස නිවසේ සාංගික දානයක් සංවිධානය කොට තිබිණ.

මිය ගිය පුද්ගලයන් ජීවත් වන්නවුන්ට ආරූඩ වන බවට පිළිනොගන්නා ඔහු එවැනි පිං කමක් සංවිධානය කිරීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ සිත්වල සැකයක් ජනිත විණි.

එහෙත් එම පිංකමෙන් පසුව වුව සචිත්‍රාට ඩේසි ඇන්ටි ආරූඬ වීම නතර වුයේ නැත. ඒ ආරූඬ වූ සෑම විටකම ඇය තම සැමියා වන හර්බට් ගෙන් පළිගන්නා බවට දිවුරමින් සපථ කිරීම විශේෂත්වයක් විය.

එසේ ආරූඬ වන සෑම විටකම මිය ගිය කාන්තාවගේ හඬින් කතා කරන ඇය අන් සෑම විටකම නිහඬ සෝමාරී දිවි පෙ‍වෙතකට අවතීර්ණ වුවාය. මින් සචිත්‍රාගේ ඉගෙනීමේ කටයුතුද මුළුමනින් අඩාල වූ අතර ඇය ප්‍රකෘතියෙන් සිටින සෑම විටකම ඒ ආරූඬය පිළිබඳව මතක් කරනවාටවත් අකමැති විය.

මින් අමරසිංහ පවුලේ එදිනෙදා කටයුතු පවා අඩාල වූ අතර බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත සචිත්‍රා සඳහා ශාන්ති කර්ම කිහිපයක්ද සිදු කරන ලදී.

එහෙත් ඒ කිසිවකින් වත් ඇයට නිසි ගුණයක් අත් නොවිණි. කෙසේ හෝ අවසානයේ අමරසිංහ යුවල වෙත ලැබුණු එක් උපදෙසක් වූයේ ඇය හැකි ඉක්මනින් මනෝවෛද්‍ය වරයෙකු වෙත යොමු කරවන ලෙසය.

එම සංසිද්ධිය මුළුමනින් අසා සිටි මනෝවෛද්‍යවරයා ඇගේ මාපියන්ගේ අවසරය මත ඔවුන්ගෙන් ඇය වෙන් කොට හෙදියක පමණක් ළඟතබාගෙන ඇය මෝහනය කළාය.

එහිදී මනෝ වෛද්‍යවරයාගේ විධානයට අනුව ඇයට යළි එම මියගිය කාන්තාව ආරූඬ විය. එහිදී මනෝවෛද්‍යවරයා සහ එම යුවතිය අතර පැවැති කතාබහ මෙසේය.

මනෝවෛද්‍යවරයා : කවුද මේ කතා කරන්නේ

සචිත්‍රා : මට තමයි ඩේසි ඇන්ටි.

මනෝ:  ඒ කියන්නේ හර්බට්ගේ බිරිඳ?

සචිත්‍රා : ඔව්.

මනෝ : ඉතින් ඇයි ඔබ මේ ළමයාට ආරූඬ වෙන්නේ.

සචිත්‍රා : මේ මිනිහගෙන් ඔය ගෑනු ළමයට කරදරයි. මට ඕනේ ඔය මිනිහට හොඳ පාඩමක් උගන්වන්න.

මනෝ : මොනවද ස්වාමිපුරුෂයාගෙන් ඒ ළමයට වන කරදර?

සචිත්‍රා : ඒ ළමයගේ ගෙදර කවුරුවත් නැතිවන වේලාවක් බලලා ඔය මිනිහා ඒ ගෙදරට රිංගනවා.

මනෝ : ඊට පස්සේ

සචිත්‍රා : ඔය මිනිහා ඒ ළමයගේ අතින් අල්ලනවා මුණට මුණ කිට්ටු කරනවා ඔය ළමයට එක එක යෝජනා කරනවා. මට ඒක බලාගෙන ඉන්න බැහැ.

මනෝ : හොඳයි මම ඒක දැන්මම නවත්වනවා. එහෙම වුණොත් ආයේමත් ඒ ළමයට වැහෙන්නේ නැත්ද?

සචිත්‍රා : එහෙම වුණොත් ඉතින් මම ආරූඬ වෙන්න ඕන නැහැ නේ.

මනෝ : එහෙම නම් මේ ගෑනු ළමයා දැන්මම අතාරින්න ඕන. මං ඔය ප්‍රශ්නය දැන් විසඳනවා

සචිත්‍රා : මේ දැන්?

මනෝ : මේ මොහොතෙම.

සචිත්‍රා : බැරි වෙලාවත් ඒ මිනිහා ආයිමත් මේ ළමයට කරදර කළොත්?

මනෝ : එහෙම සිද්ධ නොවෙන බවට මම සහතික වෙනවා.

සචිත්‍රා  : එහෙම නම් මම ඒ ළමයව අතාරින්නම්.

මනෝ : ඔව් මේ මොහොතෙම අතාරින්න ඕන. දැන් මේ ළමයා ඉන්නේ මගේ භාරයේ. ඔය මළ යක්කු ලක්ෂයකට වැඩි බලයක් මට තියෙනවා. මම ඒ බලය පාවිච්චි කරනවා. හොඳින් හරි නරකින් හරි.

සචිත්‍රාට මෙසේ කියු මනෝවෛද්‍යවරයා ඇය යළි ප්‍රකෘති මානසිකත්වයට පත් කළේය. ඉන් පසු සචිත්‍රාගේ මාපියන් කැඳවු මනෝවෛද්‍යවරයා සචිත්‍රාගේ එම භීතියට හේතුව එම හර්බට් නමැති පුද්ගලයා පිළිබඳ යටි සිතේ හටගත් භීතියක් බව දෙමාපියන් හමුවේ කියා සිටියේය. එනිසා ඇයට යළි ඔහු හමුවීමට ඇති ඉඩකඩ මුළුමනින් නවතා පවුල තුළ ඇය සුරක්ෂිත කරන මෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම තම දියණියගේ සිත තුළ හර්බට් නමැති පුද්ගලයා පිළිබඳ භීතියක් හටගෙන ඇති බව මනෝවෛද්‍යවරයෙකු පැවසූ බව ඔහුට පවසන ලෙස සචිත්‍රාගේ දෙමාපියන්ට උපදෙස් දුන් මනෝවෛද්‍යවරයා මින්පසු අඩුම තරමින් ඇයට පෙනෙන තෙක් මානයේ හෝ නොසිටින ලෙස ඔහුට උපදෙස් දෙන්නැයි කියා සිටියේ එසේ නොකළහොත් ඒ සම්බන්ධ නීතිමය පියවර ගැනීමේ මනෝවෛද්‍ය සාක්ෂියක් අධිකරණය හමුවට ගෙන ඒමටද වෛද්‍යවරයා කටයුතු කරන බව ඔහුට දන්වන ලෙස පවසමිනි.

කෙසේ හෝ එම ක්‍රියාමාර්ගයෙන් පසු හර්බට් නමැති පුද්ගලයා එම පවුල ඇසුරු කිරීම මුළුමනින් නතර කර දැමූ අතර ඉන් පසු සචිත්‍රාට ඩේසි ඇන්ටි ආරූඬ වූයේ නැත.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ  විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අනාවරණය කරයි

උපුටා ගැනීම - දමයන්ති ගමගේ , ලක්බිම පුවත්පත

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

3876
2018-07-19

Narmadha Yapa Abewardena

1550
2018-07-18

INAMI

729
2018-07-18

Rashmi Madushika

678
2018-07-18