Tuesday, November 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"විශේෂ කණ්ඩායම් හදලා සාක්ෂි ඉතිරි නොකර බැංකු කඩලා" අනුරාධපුරයම කොල්ල කන්න සැලසුම් සෑදු මොලකරුවා පොලිස් ලොක්කෙක්!

30638Views

අතිශය සූක්ෂමව සැලසුම් කරන ලද බැංකු මංකොල්ලයක් පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළා. බටහිර චිත්‍රපටයක සිදුවන බැංකු කොල්ලයක් මෙන් විවිධ අංශයන්ට දක්ෂ අපරාධකරුවන් කණ්ඩායම් ලෙසින් එක්කොට සූක්ෂම සැලසුමකින් කිසිදු සාක්ෂියක් ඉතිරි නොකොට සිදුකළ ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම බැංකු කොල්ලය අනුරාධපුර තලාව ප්‍රදේශයේදි සිදුව තිබුනි.

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ලංකා බැංකු ශාඛාවේ සිදුවන මෙම කොල්ලයේදි බැංකුවේ පිටුපස දොරගුළු බිඳ ඒ තුළින් කොල්ලකරුවන් බැංකුවට කඩා වැදී මෙම කොල්ලය සිදු කර තිබුනි.

කොල්ලකා ඇත්තේ සේප්පුවල ආරක්ෂිතව තිබුණු මුදල් සහ රන් ආභරණය. ගණනය කිරීම්වලට අනුව කිලෝ 22යි ග්‍රෑම් 806ක් බරැති රන් ආභරණ සේප්පුවල තිබි ඇත. එම රන් භාණ්ඩවල වටිනාකම  පමණක් රුපියල් කෝටි 14 ඉක්මවා යන බව සඳහන්ය. සේප්පුවල මුදල් තිබී ඇත්තේ එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණි. ඒ සියලු මුදල්ද කොල්ලකා ඇත්තේය. සියල්ලේම එකතුව රුපියල් කෝටි 16කට අධිකය.

මෙම කොල්ලය සිදුවන කාල වකවානුව තුළ අනුරාධපුරයේ ‍පොලිස් ස්ථානවල නිලධාරීන් සිටින්නේ දැඩි කාර්ය බහුලත්වයකි. ඒ ‍පොසොන් සතිය හේතුවෙනි. කොල්ලකරුවන් ඒ ගැනද යම් අවබෝධයක් ඇතිව මෙම කොල්ලය සැලසුම් කර ඇති බව කියවේ. මේ අනුව මෙම කොල්ලකරුවන් ‍පොලිසියේ හැසිරීම ගැන හොඳ අවබෝධයක් ඇති පිරිසක් බව පැහැදිලිය. මෙම කොල්ලයට ඔවුන් ‍පොසොන් සතියම තෝරා ගන්නේ ඒ නිසාය.

මෙම බැංකු ශාඛාවේ ආරක්ෂකයා සිටින්නේ බැංකුව විවෘත කර තබන විට පමණි. රාත්‍රි කාලයට කිසිදු ආරක්ෂකයෙක් සේවයට යොදවා නැත. බැංකුව වසා එහි යතුර ‍පොලිස් භාරයේ තබා නැවත විවෘත කරන විට යතුර ‍පොලිසියෙන් ලබා ගන්නවා හැරුණු වට රාත්‍රි කාලයට බැංකුවේ ආරක්ෂාවට කිසිවක් සිදුවන්නේ  නැත. ‍පොලිසියද රාත්‍රී කාලයට පාමුර සංචාරයේ නිරත වෙමින් සැකකටයුතු පුද්ගලයින් පරීක්ෂා කරනවා හැරුණු කොට නගරයේ ආරක්ෂාවට යැයි කියා වෙනම විශේෂ යමක් කරන්නේද නැත.  කොල්ලකරුවන් මෙම අපරාධය සිදුකරන්නේ මේ බවද දැගෙනය.

විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට කොල්ලකරුවන් අතර තාෂණය පිළිබද යම් දැනීමක් ඇති අයද සිටින්නට ඇත. ඒ බව සනාථ වන්නේ  බැංකුවේ සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධතියත් අනතුරු නළා පද්ධතියත් ගලවා තිබිමෙනි.

බැංකුවට ඇතුළු වූ කොල්ලකරුවන් සේප්පු විවරකර ඇත්තේ අගුල් කපාය. අගුල් කැපීමට යොදාගෙන ඇත්තේ ග්‍රයින්ඩරයකි. සේපුවක් වැනි දැඩි වානේ තහඩුවක් කැපීමට ග්‍රයින්ඩරය අතට හුරු පුද්ගලයෙක්ට විනා  වෙනත් අයෙකුට කළ නොහැකිය. ග්‍රයින්ඩර් තල 11 ක්ම ඒ සඳහා යොදාගෙන ඇති බව බැංකුවේ සේප්පු අසල බිම තිබි හමුවුණු මොට වූ ග්‍රයින්ඩර් තලවලින් විමර්ශකයන්ට පෙනී ගොස් හමාරය. ඒ අනුව විශ්වාස කළ හැක්කේ වෑල්ඩින්කරුවෙක්ද මේ කොල්ලකරුවන් අතර සිට ඇති බවය.

මෙවැනිම තවත් මංකොල්ලයක් අනුරාධපුර ප්‍රදේශයේ මින් පෙර සිදුවිය. එම මංකොල්ලයකට උසස් පොලිස් නිළධාරියෙක් සම්බන්ධ බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ. අනුරාධපුර එල්.බි. ෆිනෑන්ස් ආයතනය මින්පෙර මේ ආකාරයටම කොල්ල කෑමට ලක්විය. එය සිදුවන්නේ 2016 වසරේ නොවැම්බර් මාසයේදීය. එම කොල්ලය සිදුවන්නේද තලාවේ බැංකු කොල්ලය සිදුවූ ආකාරයටම පිටුපස දොරගුළු බිදය. එහි සේප්පු කපා ඇත්තේද ග්‍රයින්ඩර් තලවලිනි. කිලෝ 11යි ග්‍රම් 700 ක් බරැති රන් භාණ්ඩ එදා කොල්ලකා තිබුණේය. රන් භාණ්ඩවල වටිනාකම ගණනය කර තිබුණේ රුපියල් කෝටි 08 කටය.

එම කොල්ලයට පෙර සහ පසු ඒ ආකාරයේම තවත් කොල්ලකෑම් රැසක්ම අනුරාධපුරයේ සිදුවිය. ඒ අතර මූල්‍යායතන පමණක් නොව ස්වර්ණාභරණ අලෙවිසැල් ද තිබුණේය.

වාර්තා වන අන්දමට මෙම කොල්ලකෑම් පසුපස මහ මොලකරු ‍පොලිසියේ ලොක්කෙකි. ඔහු සාමාන්‍ය නිළධාරියෙක් නොව පාතාල අපරාධකරුවන් මට්ටු කිරීමටත් අපරාධ විමර්ශනයටත් නමක් දිනා සිටින ‍පොලිස් අධිකාරීවයෙකි. සියල්ල සිදුවන්නේ ඔහු අනුරාධපුරයේ සේවයේ නිරතව සිටියදීය. 

ඔහුත් සමග මේ අපරාධ පිටුපස තවත් ‍පොලිස් නිළධාරීන් රැසක්ම සිටින බව කියවේ. ඒ අය අතර ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අනුරාධපුර පැත්තේ කඳවුරක් භාරව සිටි ස්ථානාධිපතිරයෙක් ඇතුළු කිහිප දෙනෙක්ම සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හදුනා ගෙන තිබේ. මෙම කණ්ඩායම සමග අනුරාධපුරයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයෙක්ද හවුල් වී සිටියේය. 

මෙම පිරිස බැංකු සහ මූල්‍යායතන කොල්ලකෑමේ අනුරාධපුරයේ සිටින පාතාලය යොදාගෙන ය.  ඒ අතර එස්.එෆ්. බණ්ඩා නැමැති පාතාල කල්ලි නායකයාද සිටියේය. යුද හමුදා විශේෂ බළකායෙන් පලාවිත් සිටි සෙබළෙක් වූ එස්.එෆ් බණ්ඩා අනුරාධපුරයම හොල්ලාගෙන සිටියෙකි. අනුරාධපුරයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් පවා ඔහු ලබා ගත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් අනුරාධපුරයේ කොල්ලකෑම් ගැන පරීක්ෂණ පවත්වන්නට 2017 වසරේ මැයි මාසයේ අනුරාධපුරයට එන විට එස්.එෆ් බණ්ඩා සිටියේ මරු වැලඳගෙනය. ඒ ඔහු ඇතුළු තිදෙනෙක් ගමන් කරමින් සිටි මෝටර් රථයට 2016 වසරේ අප්‍රේල් 30 වෙනිදා තිරප්පනේ සෙලෙස්තිමඩු  පැත්තේ කැලෑබද ප්‍රදේශයකදී එල්ලවුණු  වෙඩි ප්‍රහාරයකිනි. ඒ වන විටත් ඔවුන්ව ඝාතනය කරනු ලැබුවේ කවුරුන්දැයි අනාවරණය වී තිබුණේ නැත. ඒ ගැන පරීක්ෂණ පවත්වන්නට පවා ‍පොලිසියට එතරම් උනන්දු වී නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් අනුරාධපුරයට යන්නේ එල්.බි.ෆිනෑන්ස් කොල්ලය මුල්කරගනිමින් බැංකු සහ මූල්‍යායතන කොල්ලකන කල්ලිය ගැන පරීක්ෂණ පැවැත්වීමට වූවත් අවසානයේදි එම කොල්ලකෑම්වල සුල මුල පමණක් නොව, එස්.එෆ් බණ්ඩාගේ ඝාතනයේ අබිරහස පවා සොයා ගත්තේය. අනාවරණය වෙමින් ඇති ආකාරයට එස්.එෆ්. බණ්ඩා සහ ඔහුගේ සගයන්ව ඝාතනය කර ඇත්තේ ‍පොලිස් කණ්ඩායමකි. ඊට නායකත්වය දී ඇත්තේ ‍පොලිස් අධිකාරීවරයාය. එස්.එෆ්. බණ්ඩා ඝාතනයට යොදාගෙන ඇත්තේ විශේෂ කාර්ය බළකා කඳවුරක තිබුණු ටී-56 අවි කිහිපයකි. එම කඳවුරේ ස්ථානාධිපති සමග විශේෂ කාර්ය බළකා සෙබළු තිදෙනෙක් ඊට සම්බන්ධ වී ඇත්තේ ‍පොලිස් අධීකාරීවරයා සමගිනි.

එසේ එස්.එෆ්. බණ්ඩාව ඝාතනය කිරීමට මුල්වී ඇතැයි කියැවෙන්නේ අනුරාධපුරයේ පිහිටි ජුවලරියක් කොල්ලකෑමකි. රාත්‍රි කාලයේ සේප්පු කපා එම කොල්ලය කර තිබුණේ එස්.එෆ්. බණ්ඩාගේ සහචරයන්ය. කිලෝ දෙකකට ආසන්න රන් භාණ්ඩ තොගයක් එහිදී ඔවුන් කොල්ලකා තිබුණත් එස්.එෆ්. බණ්ඩා ‍පොලිසියේ කොටස ඔවුන්ට ලබාදී තිබුණේ නැත. එස්.එෆ්. බණ්ඩාව ඔහුගේ ගෝලබාලයින් සමග ඝාතනය කරන්නේ යැයි හෙළිවී ඇත්තේ ඒ නිසාය.

විමර්ශනවලින් හෙළිවී ඇත් ආකාරයට අනුව එල්.බි. ෆිනෑන්ස් කොල්ලය සිදුවන්නේ එස්.එෆ්. බණ්ඩාගේ ඝාතනයෙන් පසුවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව කොල්ලයේ මහ මොළකරුවන් වන්නේ ‍පොලිස් අධීකාරීවරයා ඇතුළු මුල් කණ්ඩායමය. ඒ වන විට ‍පොලිස් අධීකාරීවරයා අනුරාධපුරයෙන් ස්ථානමාරුවීමක් ලබා සේවයේ නිරතව සිටින්නේ බස්නාහිර පළාතේ පිහිටි  අපරාධ විමර්ශන කොට්ඨාශයක ප්‍රධානියා ලෙසිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව එදා එල්.බි.ෆිනෑන්ස් කොල්ලය සිදුවන විට බස්නාහිර පළාතේ සේවයේ නිරතව සිටින ඔහු සිට ඇත්තේ අනුරාධපුරයේය. ‍පොලිස් අධිකාරීවරයා ඔහුගේ පැත්තෙන් සඳහන් කරන්නේ තමන් දේශීය වෙදෙක් හමුවී ප්‍රතිකාර ගැනීමට එදින අනුරාධපුරයට ගිය බවය.
එහෙත් එම කොල්ලයට සම්බන්ධබවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රශ්ණ කිරීම් හමුවේ හෙළිකර ඇත්තේ එදා ඒ කොල්ලකෑ රන් භාණ්ඩ පටවාගෙන ගියේ ‍පොලිස් අධිකාරීවරයාගේ මෝටර් රථයේ බවය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සේප්පු කැපූ වෑල්ඩින්කරුද, කෝටිපති ව්‍යාපාරිකයාද ඇතුළු සිව් දෙනෙක්ම සිටියහ.

මේ කියන ‍පොලිස් අධිකාරීවරයා කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සේවයේ නිරතව සිටියේය. එකල ඔහු ‍පොලිස් පරීක්ෂකවරයෙකි. 2002 වසරේ  සාම ක්‍රියාවලිය සිදුවෙමින් පැවැති පෙබරවාරි 02 දා අනුරාධපුර මහජන බැංකුව කොල්ලකෑවේද මේ අකාරයටමය. එම වකවානුවේ රටේ සිදුවුණු ලොකුම බැංකු කොල්ලය වූයේ එයය.

රුපියල් ලක්ෂ 170 ක මුදල් එදා කොල්ලකා තිබුණේ දින තුනක් තිස්සේ සේප්පුව ඔක්සිජන් පහනකින් කපාය. එදා එම කොල්ලය ගැන පරීක්ෂණ පවත්වන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කරන ‍පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතවන්නේ මෙකී නිලධාරියාය. ප්‍රබල දේශපාලනඥයකුගේ ඥාතියෙක් ඇතුළු එම කොල්යට සම්බන්ධ වූ සියලු දෙනාම අල්ලන්නේ කොල්ලකන ලද මුදල්වලින් ලක්ෂ 100 කට වැඩි ප්‍රමාණයක්ද සොයා ගනිමිනි.

එයින් දහසය වසරකට පසුව අනුරාධපුරයේ දැන් සිදුවන බැංකු සහ මූල්‍යායතන කොල්ලකෑම්වලට චෝදනා එල්ලවන්නේ එකී නිලධාරියා වෙතය. ඔහු සමග එම කොල්කෑම්වල මහ මොළකරුවන් ලෙස කටයුතු කළේයැයි කියනු ලබන ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අනුරාධපුර උළුක්කුලම කඳවුරේ හිටපු ස්ථනාධිපතිවරයා වන ‍පොලිස් පරීක්ෂකවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය සතියේ අත්අඩංගුවට ගත්තේය. ඒ වන විට ඔහු සේවයේ නිරතව සිටියේ විශේෂ කාර්ය බළකායෙන් ඉවත්ව රස්නායකපුර ‍පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙසිණි. 

බැංකු සහ මූල්‍යායතන කොල්කෑම්වලට අමතරව ඔහුට එල්ල වී ඇති ලොකුම චෝදනාව වන්නේ  එස්.එෆ් බණ්ඩා ඝාතනයයි. ඉදිරි දින කිහිපය තුළ ඔහු යටතේ ඉළුක්කුලම විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවයේ නිරතව සිටි  ‍පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සමග ‍පොලිස් අධිකාරීවරයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අඵත්අඩංගුවට පත්වනු ඇති බව සදහන්.

YOU MAY ALSO LIKE