Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"දෙයියනේ මාව ඒ තරම් රැවැට්ටුවා.. ඔයා මාව විනාශ කළා නිසල්" ආදරයක් මිනීමැරුමකින් අවසන් වූ හැටි!

5430Views

ආදරය සහ වෛරය අතර ඇත්තේ කෙස් ගහක වෙනසකයැයි කතාවක් ඇත. එවැනි සිදුවීමක් පිළිබද ලිපියක් සතිඅන්ත පුවත්පතක පළව තිබුනි. එම ලිපිය පහතින්,

ආදරය කරන විට ලෝකයම අමතක වන සමහර තරුණ තරුණියන් පියවි සිිහියට එළඹෙන්නේ සියල්ල සිදුවී හමාර වූවාටත් පසුවය. ඒ තරමටම ඔවුන් ආදරයෙන් අන්ධය. ජීවිතයේ බොහෝමයක් බැඳීම් ඇති වන්නේ විශ්වාසය මත බව කිව යුතුය. එවැනි තදබල විශ්වාසයක් බිඳවැටීම නිසා ජීවිතයෙන් සමුගත් නිසල් නිරෝෂන් මේ කියන්නට යන කතාවේ කතා නායකයා ය. ජීවිතය තණ අග රැඳී තිබෙන පිනිි බිංදුවක් සේ අස්ථිර බව ඔහුට නොවැටහෙන්නට ඇත. ආදරයෙන් ආරම්භ වූ ඔහුගේ කතාව මරණයෙන් කෙළවර වූයේ ඒ නිසාය.

නිසල් නිරෝෂන් යුද හමුදාවේ හතර වැනි ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ බටලන්ද කඳවුරේ සේවය කළ සෙබළෙකි. ඔහු රට රකින්නට හමුදාවට බැඳුණු රණවිරුවෙකි. තරුණ හිතකට ආදරයක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. නිිසල්ටද එවැනිම හැගීමක් දැනුණේ ඔහුගේ සිත්ගත් තරුණිය දුටු දිනයේ පටන්මය. පළමු දැකීමෙන්ම ඇයව ලබා ගැනීමේ ආශාවක් නිසල්ට දැනිණි. ඒ නිසාම තමන්ගේ හිතේ කොණක තෙරපෙමින් තිබූ ඒ ආදරය ඔහු ඇයට පැවසුවේය. නිසල්ගේ සියලූම ආදරණීය බලාපොරොත්තු ඉටුකරමින් ඇයද ඔහුට ආදරය කරන්නට පටන් ගත්තාය. කුමන බාධක කම්කටොලූ ආවත් ඇයගේ අත අත් නොහරින බවට නිසල් ඇයට පොරොන්දු විය.

‘කවදාවත් මාව රවට්ටන්න එපා නිසල්, මොන දේ වුණත් මට ඇත්තම කියන්න’

ඇය නිරන්තරයෙන්ම ඔහුට පැවසුවාය. ‘මොන දේ වුණත් මං ඔයාට කවදාවත් බොරුවක් කරන්නේ නැහැ පැටියෝ... ඔයා බය වෙන්න එපා’ ඇය එලෙස පවසන සෑම අවස්ථාවකදීම නිසල් පැවසුවේ කිසි දිනෙක ඇයගේ විශ්වාසය කඩ නොකරන බවය.

මෙලෙස ඉතාමත් ආදරණීයව නිසල්ගේත් ඔහුගේ පේ‍්‍රමවන්තියගේත් ආදරය වසර දෙකහමාරක් තිස්සේ ගලාගෙන ගියේය. කිසිදු බාධකයකින් තොරව ඔවුන්ගේ ආදරය ගලා ගෙන ගියේ ඉතාමත් සුන්දරවය. එහෙත් නිිසල්ගේත් ඔහුගේ පෙම්වතියගේත් වසර දෙකක ආදරයට කණකොකා හඬන්නට පටන් ගත්තේ නිසල් කෙතරම් රැවටිල්ලක් තමාට කර ඇත්ද යන්න ඔහුගේ පෙම්වතිය දැනගත් මොහොතේ පටන්ය.

‘ඔයා ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්ද නිසල්? දෙයියනේ මාව ඒ තරම් රැවැට්ටුවා.. ඔයා මාව විනාශ කළා නිසල් ඔයා...’

ඇය එලෙස පවසමින් හඬා වැළපුණේ නිසල් එතෙක් කල් රැකගෙන සිටි රහස කෙසේ හෝ දැන ගැනීමෙන් ඇතිවූ වේදනාව දරාගත නොහැකිවය. එක බොරුවක් වහන්නට බොරු දාහක් කියන්නට සිදුවන බව නිසල් දැනගෙන සිටින්නට ඇත. ඒ නිසාම ඔහුගේ පෙම්වතිය ඉදිරියේ හෙළි වූ රහස කිසිසේත්ම බොරුවක් යැයි කීමට ඔහු උත්සාහ දැරුවේද නැත.

‘ඔයා ආයෙ කවදාවත් ඔය මූණ මට පෙන්නන්්න එන්න එපා නිසල් මට ඔහොම බොරුකාරයන්ගෙන් වැඩක් නෑ.’

නිසල්ව දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කරමින් ඇය පැවසුවේ යළි කිසිම දිනක ඔහුගේ මුහුණවත් බැලීමට ඇය අකැමැති බවය. ආදරය වෛරය බවට පෙරළීමට මහා ලොකු කාලයක් යන්නේ නැත. එක තත්පරයක් වුවද එයට ප‍්‍රමාණවත්ය. වසර දෙකහමාරක් තිස්සේ ආදරයෙන් සිටි නිසල්ටත් ඔහුගේ පෙම්වතියටත් අවසානයේ සිදුවූයේ එකිනෙකා නාඳුනන සේ සිිටින්නටය.

එහෙත් නිසල්ට ඇය අමතක කර අලූත් ජීවිතයක් පටන් ගන්නට හිත හදාගන්නට හැකි වූයේ නැත. ඔහුට නිතර නිතර සිහියට නැගුණේ ඇයත් සමගින් ආදරයෙන් වෙළී සිටි කාලයේ මතකයන්ය. කෙසේ හෝ ඇයව නැවත යාළු කරවා ගැනීමට අවශ්‍ය බව අවසානයේ ඔහුට සිතුණේය. ඒ නිසාම නිසල් ඇයගේ නිිවසට යන්නට සිතා ගත්තේ නැවතත් ඇයත් සමගින් ආදරයක් පටන් ගැනීමේ නව බලාපොරොත්තුවක්ද සමගිනි. 

‘දවස් දෙක තුනක් තරහ වෙලා සිටියට එයා එහෙම මාව අමතක කරන්නේ නෑ’ ඔහු ඔහුටම කියා ගනිමින් සැනසුම් සුසුම් හෙළන්නට විය.’

නමුත් නිසල්ගේ එම බලාපොරොත්තු ක්ෂණයෙන් සුණු විසුණු වී ගියේය.

‘මම ඔයාට කිව්වා මට මූණවත් පෙන්වන්න එපා කියලා. බොරුකාරයා යනවා මෙතනිින්. ආයෙ හතර මායිමේ එන්න එපා මේ පැත්තේ’

දින දෙක තුනකින් සියලූම ප‍්‍රශ්න ඇයට අමතක වී යයි කියා නිසල් සිතුවත් එය එසේ වී නොමැති බව නිසල්ට වැටහුණේ ඇය ඔහු දැඩි ලෙසම ප‍්‍රතික්ෂේප කළ නිසාය.

‘මාව අමතක කරන්න එපා දෙයියනේ... මට ඔයාව එහෙම අමතක කරන්න බෑ. අපි ඉස්සර වගේ ඉමු. ප්ලීස් මට සමාවෙන්න.’

නිසල් කෙතරම් ඇය ඉදිරියේ හඬා වැළපුණත් ඇයගේ තීරණයේ දශමයක හෝ වෙනසක් සිදු වූයේ නැත.

දිගින් දිගටම ඇයගේ නිවසට පැමිණෙමින් ඇවිටිලි කරණු නිසල්ගේ මෙම හැසිරීම පිළිබඳව ඇති වූ විශාල කේන්තිය නිසාම ඇය දෙවරක් නොසිතාම කොටදෙණියාවේ පොලිසියට ගොස් ඔහුට විරුද්ධව පැමිණිල්ලක් දැමුවාය. නිසල්ගෙන් සිදුවන මෙම කරදර ඉවසා සිටීමට නොහැකිව තැන ඇයට සිහියට නැගුණු එකම මාර්ගය පොලිසියට යෑම පමණකි.

ඒ අනුව ක‍්‍රියාත්මක වූ පොලිසිය විටින් විට ඇයගේ නිවසට පැමිණෙන නිසල්ව එක් දිනක අතටම අල්ලා ගනිමින් ඔහුට නැවතත් මෙලෙස සිදු නොකරන බවට පවසමින් අවවාද කළේය.

මෙම සිදුවීමේ වඩාත්ම ආකර්ෂණීය කරුණ කලඑළි බැස්සේ ඇය විසින් නිසල්ට විරුද්ධව පොලිසියට දැමූ පැමිණිල්ලෙන් පසුවය. ආදරය වෛරය බවට පෙරළීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. ආදරයේ පළිගැනීමේ ස්වරූපයද ඒ තරම්ම වැඩි කලක් නොගොසින් නිසල්ගේ කතාවට එකතු වන්නේ පොලිසිය හමුවේ නිසල් පැවසූ දේවල් පිළිබඳව සිතීමෙනි.

‘සර් මම එයාට කරදර කරන්න නෙවෙයි ආවෙ. යාළු වෙලා ඉන්න කාලෙ මම එයාගේ ෆෝන් එකට රුපියල් හැට දාහක සල්ලි දාලා තියෙනවා. මම ආවේ ඒවා ඉල්ලගන්න. මට ඒ සල්ලි ටික ඕන. නිසල් පැවසූ දෙයින් පොලිසියද මඳකට පුදුමයට පත්වූයේ මොහු කුමන අන්දමේ පුද්ගලයකු දැයි සිතා ගැනීමට නොහැකි වීමෙනි. නිසල් දැන් කියන්නේ හතර බීරි කතාවකි.

දින කිහිපයක් තිස්සේ නිසල්ගෙන් කරදරයක් නොමැති වූ නිසා ඔහුගේ පෙම්වතිය සිිටියේ විශාල සතුටකිනි. ඇය සිතුවේ නිසල් නැවත කිසිදාක නොපැමිණෙන බවය. නිසල් ජීවිතයෙන්ද යළි කිසිදාක නොඑන්නට යන්නම යාවි යැයි ඇය සිහිනෙකින් හෝ සිතන්නට නැත.

නමුත් ජීවිතයේ සමහර සිදුවීම් කණපිට පෙරළීමට ගත වන්නේ කිසිදා නොසිතූ තරමේ වේලාවකි. ඇයටද එවැනිම ඛේදජනක ඉරණමකට මුහුණ දීමට සිදුවූයේ පසුගිය 20 වැනි අගහරුවාදා දිනයේය. එදිනත් සුපුරුදු පරිදිම නිවසේ වැඩකටයුතු නිමවී ඇය නින්දට ගියේ ගතට දැනුණු වෙහෙස මහන්සියත් සමගිනි. ඒ නිසාම ඇඳට වැටුණු සැණින් නින්දට ගියාය.

නමුත් අලූයම 1.00 ට පමණ ඇසුණු ශබ්දයක් නිසා ඇය ක්ෂණිකව අවදි වූයේ එම ශබ්දය ඇසෙන්නේ කොහෙන්ද යන්නට විමසා බැලීමටය.

‘තාත්තේ සද්දයක් ඇහෙනවා වහල පැත්තෙන් බලන්න මොකක්ද කියලා සතෙක්ද දන්නෙ නෑ.’

ඇය එසේ තාත්තාට පැවසුවේ එම ශබ්දය කොහෙන් එන ශබ්දයක් දැයි විපරම් කර බලන්නට ඔහුට පවසමිනි. ඒ අවස්ථාවේ තාත්තාත්, දුවත් දුටුවේ ඇග සීතල කරගෙන යන දසුනකි. වහලේ උළු කැට කිිහිපයක් බොහොම අමාරුවෙන් ඉවත් කර ගනිමින් තම නිවස තුළට ඒමට හොර රහසේම සූදානම් වන නිසල්ව දුටු විට ඇයගේ සියොළගම අප‍්‍රාණිකව යනවා සේ දැනෙන්නට වූයේ ඉදිරියට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සිතාගත නොහැකි තරමේ බියකිනි.

ඇයගේ බිය වඩාත් දෙගුණ තෙගුණ කරමින් නිසල් සහ ඇයගේ පියා අතර බහින්බස් වීමක් සිදුවන්නට පටන් ගත්තේය. ඒ ක්ෂණයෙන් කි‍්‍රයාත්මක වූ නිසල් තම දෑතේ සුරැකිව තබාගෙන සිටි මුවහත් පිහිය එළියට ඇද්දේය. ඒ අවස්ථාවේ සිදුවූ පොර බැඳීම කළ තරුණියගේ දෑත්වලට සහ ඇයගේ පියාගේ එක් අතකට නිසල්ගේ අපිහිපහර එල්ල විය. 

පොලිස් පරීක්‍ෂණවලින් හෙළිවී ඇත්තේ තරුණියගේ නිවස ඇතුළත ලේ බිංදු විසිරී පැතිරී ගොස් තිබුණු නිසා නිසල්ගේ ගෙළ එම අවස්ථාවේදී තියුණු අන්දමින් කැපී යන්නට ඇති බවයි. නමුත් තවමත් ඔහුගේ ගෙළ කැපී තිබුණේ කුමන හේතුවක් නිසාද යන්න තහවුරු කර ගැනීමට පොලිසිය සමත් වී නැත. එයට ප‍්‍රධානම හේතුවක් වී ඇත්තේ සිද්ධිය සිදුවූ නිවසට මඳක් නුදුරින් පිහිටා ඇති ඉදිකරමින් පවතින නිවසක කොරිඩෝවේ ලේ විලක් මැද නිසල් වැටී සිටීම නිසාය. ඔහුගේ මරණය සිදුවූයේ කිනම් ආකාරයෙන්ද යන්න ගැටලූවක් වී ඇත්තේ එබැවිනි.

එම අවස්ථාවේ දක්නට ලැබුණේ මියගිය පුද්ගලයාගේ යතුරුපැදියට පහරදී අලාභහානි සිදුකර එය පෙරළා දමා ඇති ආකාරයයි. යතුරුපැදියේ ඉදිරි රෝදයේ ටයරය කපා දමා තිබූ අතරම එම රෝදය මත ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබුණේ ද මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය විසින් කරන පරීක්‍ෂණ දිනෙන් දින අලූත් කරවමිනි. මිටෙහි ලේ තැවරුණු කැත්තක් සහ මියගිය අය අත තිබූ බව කියන තියුණු පිහිය ඇතුළු දේපළ රැසක් පොලිස් භාරයට ගත් බව කොටදෙණියාව පොලිසිය පැවසුවේය.

සිද්ධියට සැකපිට තරුණියගේ පියා වන හැට හය හැවිරිදි තැනැත්තාත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දෑත්වල කැපුම් තුවාලවලට ලක්ව ඇති තරුණිය දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.

සටහන: අශිකා ජයවීර/ දිවයින