Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"කොටුව පන්සලට දානය දීමට බෞද්ධයෙක් හෝ ඉතිරිව නෑ" ශ්‍රී ලංකාවේ වටිනාම ගාල්ල කොටුව විදෙස් ආක්‍රමණයකින් ජාතියට අහිමි වේ!

2805Views

ගාලූ කොටුව මෙරට ජාතික උරුමයක් මෙන්ම වටිනාම අධිකම භූමියකි. එමෙන්ම එය ලෝක උරුමයකි. මේ වනවිට ගාලු කොටුවේ ඉඩම් ශ්‍රී ලංකාවට අහිමි වීමේ ඉඩක් මතුව තිබේ. ඒ  ගාලූ කොටුවේ ඉඩම් හා නිවාස විදේශිකයන් සංවිධානාත්මකව මිලට ගැනීමේ ක්‍රියාවලියක් හේතුවෙනි.

මෙලෙසින් ගාලූ කොටුවේ ඉඩම් හා නිවාස මිලට ගැනීමේ ජාතික ව්‍යවසනය හටගත්තේ ඉකුත් එක්සත් ජාතික පෙරමුණු පාලන කාලයේ දීය. එක්සත් ජාතික පෙරමුණු රජය විසින් 2002 අංක 11 දරණ මුදල් පනත සම්මත කිරීමත් සමග විදේශිකයකු විසින් ලංකාවේ යම් දේපළක් මිලදී ගන්නා අවස්ථාවේදී රජයට ගෙවිය යුතු සියයට සියයේ බදු මුදල අහෝසි කළේය.

මෙකී බදු මුදල අහෝසි කිරීම නිසා විදේශිකයකු විසින් ලංකාවේ දේපළක් මිලදී ගන්නා විට ගෙවිය යුත්තේ ලාංකික පුරවැසියන් මෙන් දේපළ පැවරීමකදී ගෙවිය යුතු මුද්දර ගාස්තුව පමණි. මේ නිසා ගාලූ කොටුවේ නිවාස විදේශිකයන් විසින් මිලදී ගැනීම ඇරඹුනේය.  කෙසේ වුවද 2004 වසරේ දී බලයට පත්වූ සන්ධාන රජය මගින් පෙර තිබූ සියයට සියයේ බද්ද නැවත පැනවීය. 

කෙසේ වෙතත් මේ වනවිට ගාලූ කොටුවේ ගොඩනැගිලි සියයකට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශිකයන් විසින් මිලට ගෙන ඇතිබව පවසන්නේ ගාලූ උරුමය පදනමයි.

විදේශිකයන් විසින් ගාලූ කොටුවෙන් නිවාස මිලදී ගැනීම අධෛර්යවත් කිරීම සඳහා කොටුවේ පිහිටි වසර සියයකට වඩා පැරැණි නිවාස හා තවත් ගොඩනැඟිලි 145 ක් ආරක්‍ෂිත ස්මාරක ලෙස නම්කරනු ලැබීය. ඒ සන්ධාන රජයේ එවකට සංස්කෘතික ඇමැතිවරයා විසිනි. පුරාවස්තු ආඥා පනතේ 19 වන වගන්තිය යටතේ මෙම ඉපැරැණි නිවාස ආරක්‍ෂිත ස්මාරක ලෙස ප‍්‍රකාශයට පත් කළේය. ඒ 2004 ජූලි මස 30 වැනිදාය.

මේ කුමන නීති රීති පැනවුවද විදේශිකයන් විසින් ගාලූ කොටුවේ පිහිටි නිවාස මිලදී ගැනීම නතර කොට නැත. අනික් කාරණය වන්නේ මෙකී ඉඩම් හා නිවාස මිලදී ගැනීමේදී විදේශිකයන් විවිධ උපක්‍රම අනුගමනය කිරීමය.

මෙහිදී විදේශිකයන් විසින් අනුගමනය කරන එක් ක‍්‍රමයක් වන්නේ ශ‍්‍රී ලාංකික නියෝජිතයකු නමින් අදාළ දේපළ මිලට ගෙන අනූනම අවුරුදු බදු පදනම යටතේ එම දේපළ විදේශිකයා විසින් මිලදී ගැනීමය. අනික් ක‍්‍රමය වන්නේ විදේශිකයකු විසින් ඉඩම් හා නිවාස මිලදී ගැනීමේදී සමාගමක් වශයෙන් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී එම සමාගම හරහා නිවාස මිලදී ගැනීමය. මේ තුළ සිදුවන්නේ හරි අපූරු ක‍්‍රියාදාමයකි. මෙහිදී විදේශිකයකු නිවසක් මිලදී ගන්නේ නම් එම නිවාසයේ හිමිකරු සමග එක්වී ආයෝජන මණ්ඩලයේ සමාගමක් ලෙස ලියාපදිංචි කරන්නේය.

සමාගමේ අයිතිකරු නොඑසේ නම් සියයට හැත්තෑපහක් පමණ කොටස් හිමිකර ගන්නේ නිවස විකුණන තැනැත්තාය. ඉතිරි සියයට විසිපහ විදේශිකයා විසින් මිලදී ගනී. මේ අනුව අදාළ නිවස මිලදී ගන්නේ මෙකී සමාගම හරහාය. සමාගමේ අයිතිකරු ශ‍්‍රී ලාංකිකයකු නිසා සියයට සියයේ බදු මුදල ගෙවීම අවශ්‍ය නොවේ. ඉන්පසු විදේශිකයා විසින් සමාගමේ ඉතිරි කොටස් ප‍්‍රමාණයද ඔහු විසින්ම මිලදී ගනියි.

මෙවැනි උපක්‍රම හේතුවෙන් ජාතික උරුමයක් ජාතියට අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන නිසා එය රැකගැනීමට දැන් හෝ ක්‍රියාත්මක වීම බලධාරීන්ගේ වගකීමයි.