Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"පාතාලයේ රජ වෙන්න කාන්තාවන් පවා මරනවා" ඝාතන පසුපස චූටි උක්කුංට ගේම දුන් කුඩු රොෂාන්, භයානක පාතාලයේ රහස් කතා!

2459Views

මෙරට පාතාලය කුඩු ජවාරම වෙනුවෙන් මරා ගැනීම සමාජ ව්‍යවසනයක් බවට පත්ව තිබේ. ඒ පිළිබඳ ලිපියක් සති අන්ත පුවත්පතක පළව තිබුනි. එම ලිපිය පහතින්,

මට්ටක්කුලිය සමිට්පුරයේ මුඩුක්කු අතරින් මතු වූ පුද්ගලයන් දෙදෙනකු දැඩි විමසිල්ලෙන් යුතුව අවට නිරීක්ෂණය කරන්නට වූහ. සමිට්පුරයේ වීදි පහන්වල කලාමැදිරි එළියෙන් මේ පුද්ගලයන් දෙදෙනාගේ මුහුණු පෙනෙයි. 

අඳුරේම මතු වූ එකකු සමිට්පුර සුමිත්ය. අනෙකා ඔහුගේ පුත‍්‍රයා වන රොෂාන්ය. මේ පිය - පුතු දෙපළ සමිට්පුරයේ එක්තරා ස්ථානයකට පැමිණ සිටියේ චුටි උක්කුංගේ ඉල්ලීමකට අනුවය. බිස්නස් ගැන කතා කරන්න එන්න කිව්වට කවුරුත් පේන්න නැහැනෙ.

සමිට්පුරය පුරා තම දෑස් යොමු කරමින් සිටි සුමිත් සිය පුත‍්‍රයාට හෙමිහිට කීවේය. 2014 වර්ෂයේ ජුලි මාසයේ 13 වැනිදා මූසල රාති‍්‍රය ගෙවී යමින් තිබුණේය. ඒ වනවිට මුළු සමිට්පුරයම නින්දට ගොසින්ය. චූටි උක්කුංගේ කල්ලියේ මැරයන් කීපදෙනකු පමණක් නිදි වර්ජිතව තම ගොදුර එනතුරු බලා සිටින්නට වූහ.

සමිට්පුරයේ මුඩුක්කු නිවාස අතරින් චූටි උක්කුං සහ උගේ සහචරයන් පිරිස මතු වන්නේ ඔය අතරතුරදීය. ඔවුන් සමිට්පුර සුමිත් සහ උගේ පුත‍්‍රයා ආසන්නයට ආහ.

‘‘සමිට්පුරේ කුඩු බිස්නස් කරන්න දෙගොල්ලකට බැහැ. උඹලා වෙන අතක් බලා ගනිල්ලා. එහෙම නොකළොත් උඹලගෙ පවුල් පිටින් නැති කරල දානව.’’ චූටි උක්කුං කෑගැසුවේය. 

‘උඹ කවුද යකෝ අපිට ඕඩර් දෙන්න. දැනගනින් මේක අපි උපන් ගම. උඹලට වගේම අපිටත් මේකෙ බිස්නස් කරන්න අයිතිය තියනව.’’ 

සමිට්පුර සුමිත් තම ප‍්‍රතිවාදියා වූ චූටි උක්කුංට අභියෝග කළේය. සුමිත්ට තවත් වචනයක් හෝ කතා කිරීමට ඉඩ ලැබුණේ නැත. ගණ අන්ධකාරය අතරින් මතු වූ චූටි උක්කුංගේ පාතාල මැරයන් සුමිත්ටත්, උගේ පුත‍්‍රයා වන රොෂාන්ටත් මන්න පිහි ප‍්‍රහාර එල්ල කරන්නට වූහ.

ප‍්‍රහාරය එල්ල වුණේ බලාපොරොත්තු නොවූ මොහොතකය. සුමිත් තම පුත‍්‍රයා සමඟ සිටියේ නිරායුධවය. සිරුරේ ස්ථාන කීපයක් වෙත එල්ල වූ දරුණු කැපුම් තුවාල සහිතව තම පියා බිම ඇදවැටෙනු අයුරු රොෂාන් දුටුවේය.

‘‘අනේ පුතේ උඹ දුවලා බේරියන් නැත්නම් මුන් උඹවත් මරයි.’’

සුමිත් මරුවිකලයෙන් කෑගැසුවේය. ඒ වනවිට රොෂාන්ගේ සිරුරේ ස්ථාන කීපයකට පිහි ප‍්‍රහාර එල්ල වී තිබුණේය. ජීවිතය බේරා ගැනීමට දිව යනවා හැර වෙනත් කළ යුතු යමක් නොමැති බව රොෂාන් තේරුම් ගත්තේය. තම ආදරණීය පියාණන් අතහැර රොෂාන් සමිට්පුරයේ මුඩුක්කු අතරින් දිව ගොස් සැඟවුණේය. මට්ටක්කුලිය සමිට්පුරය ලේ ගංගාවක් කළ ඒ කුඩු යුද්ධය ආරම්භ වන්නේ එතැන් සිටය.

චූටි උක්කුං සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ උක්කුං හැදී වැඩුණේ මට්ටක්කුලිය සමිට්පුරයේය. රොෂාන්ගේ උපන් ගම ද සමිට්පුරයම විය. චූටි උක්කුංලා , රොෂාන්ලා කුඩා කාලය ගත කළේ එකටය. පාසල් ගියේ, කෙළි සෙල්ලං කළේ එකටය. කරදඬු උස් මහත් වෙද්දී චූටි උක්කුංලා රොෂාන්ලා පාතාල මැරයන් බවට පත් වූහ.

ඒ වනවිට කොළඹ ප‍්‍රධානම මත්කුඩු ජාවාරම්කරුවන් බවට පත්ව සිටියේ දෙමටගොඩ චමින්ද සහ බ්ලූමැන්ඩල් සංඛය. මොවුන් දෙදෙනා ජන්මාන්තර වෛරක්කාරයන් බවට පත්ව සිටියහ.

චූටි උක්කුං හෙරොයින් ජාවාරමට සම්බන්ධ වන්නේ දෙමටගොඩ චමින්ද නමැති පාතාල මැරයාගේ උදව් උපකාර ඇතිවය. බ්ලූමැන්ඩල් සංඛගේ පාතාල කල්ලිය සමඟ සම්බන්ධ වී සිටි රොෂාන් කුඩු ව්‍යාපාරයට අතගැසුවේය. චූටි උක්කුංලා රොෂාන්ලා එකිනෙකා මරා ගැනීමට පටන් ගන්නේ හෙරොයින් අයිතිය බෙදා ගැනීමටය. ඒ වනවිට දෙමටගොඩ චමින්ද දේශපාලනමය වශයෙන් බලවත් චරිතයක් විය. එකල කොළඹ තරුණ දේශපාලනඥයකුගේ සමීපතම සගයා බවට පත්ව සිටි දෙමටගොඩ චමින්දට ඕනෑම දෙයක් කිරීමට හයියක් තිබුණේය.

දෙමටගොඩ චමින්දගේ ඒ බලය උගේ පාතාලයේ සිටි පාතාල මැරයන් ද සියතට ගෙන තිබුණේය. චූටි උක්කුං තම ගමේ එකට සිටි සුමිත් අමුඅමුවේම මරා දමන්නේ දේශපාලන හයිය නිසාය. 
 
චූටි උක්කුං ඇතුළු පාතාල කල්ලිය සුමිත් ඝාතනය කළ ද රොෂාන්ට ජීවිතය බේරා ගැනීමට අවස්ථාව ලැබුණේය. එහෙත් රොෂාන් බරපතළ තුවාල ලබා සිටි අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේය. තම දෑස් ඉදිරිපිට පියා ඝාතනය කළ අයුරු රොෂාන්ගේ සිතට වද දුන්නේය. රොෂාන් සිය සගයන් රෝහලට ගෙන්වා ගත්තේය. 
 
‘‘මගේ රත්තරන් තාත්තා අන්තිම මොහොතෙ මට කිව්වා පුතේ උඹ දුවල බේරියන් කියල. මං බලාගෙන ඉන්නකොට උන් මගේ තාත්තට කෙටුවා. මුන්ගෙන් පලිගන්නකල් මට නින්ද යන්නෙ නැහැ.’’ රොෂාන් තම පාතාල සගයන්ට කීවේය. 
 
‘‘රොෂාන් අයියා උඹ කියන ඕන දෙයක් අපි කරනවා. උඹ කිසි දේකට බය වෙන්න එපා.’’
 
රොෂාන්ගේ පාතාල සගයන් ඕනෑම ප‍්‍රහාරයකට සැදී පැහැදී සිටියහ. ඒ වනවිට බ්ලූමැන්ඩල් සංඛ නමැති පාතාල මැරයාගේ පූර්ණ සහාය රොෂාන්ගේ කල්ලියට ලැබී තිබිණි.
 
‘‘මගේ තාත්තගේ හත් දවසෙ දානෙ ඉවර වෙන්න ඉස්සර චූටි උක්කුංගෙ අම්මගේ ජීවිතේ නැති වෙන්න ඕනෙ. අන්න එතකොට තමයි මගේ හිතට සැනසිල්ලක් ලැබෙන්නෙ.’’
 
රොෂාන් තම සගයන්ට කීවේය. රොෂාන්ගේ කල්ලියේ පාතාල සගයන් ජාතික රෝහලෙන් පිටව යන්නේ චූටි උක්කුංගෙ මවගේ ජීවිතය විනාශ කරන ලෙසට ලෙයින් පලිගන්නා බවට පොරොන්දු වෙමින්ය.
 
චුටි උක්කුංගේ මව ද සමිට්පුරයේ මහා පරිමාණ හෙරොයින් ව්‍යාපාරයට සම්බන්ධ වී සිටියාය. කොයි කවුරුත් ඇය හැඳින්වූයේ කුඩු රැජින ලෙසය. රොෂාන්ගේ පියාගෙ හත් දවසේ දානය අවසන් වීමට දින දෙකකට පෙර සමිට්පුරය නැවතත් ගිනි ගත්තේය. රොෂාන්ගේ කල්ලියේ පාතාල මැරයන් චූටි උක්කුංගේ නිවසට කඩා වැදී ඔහුගේ මවට වෙඩි තබා ඝාතනය කර පලා ගියේ ලෙයට ලෙයින් වෛරය පිරිමසා ගනිමින්ය.
 
චූටි උක්කුංගේ සහ කුඩු රොෂාන්ගේ පවුල් අතර ඇති වූ කුඩු ආරවුල මුළු සමිට්පුරයම ගිනියම් කිරීමට සමත් විය. චූටි උක්කුංගේ නිවස පිහිටා තිබෙන්නේ කුඩු රොෂාන්ගේ නිවසට මීටර් 50 කටත් අඩු දුරකින්ය. ඒ නිසා මේ පවුල් දෙකේ සාමාජිකයන් නිතර ගැටෙන්නට වූහ.
 
මොවුන් එකිනෙකා මරා ගැනීම අවසන් වී තිබුණේ නැත. චූටි උක්කුංට අවශ්‍ය වී තිබුණේ කුඩු රොෂාන් පරලොව යවා සමිට්පුරයේ හෙරොයින් ආධිපත්‍යය තමන් සතු කර ගැනීමටය.  කුඩු රොෂාන් හැමවිටම උත්සාහ කළේ තම දෑස් ඉදිරිපිටදී පියා ඝාතනය කළ චූටි උක්කුං පරලොව යවා වෛරය පිරිමසා ගැනීමටය.
 
‘‘චුටි උක්කුවගේ සනුහරය පරලොව යවන කල් මට නින්ද යන්නෙ නැහැ. අපි ඉස්සර නොවුණොත් ඌ අපි සේරම කම්බස් කරනව.’’
 
කුඩු රොෂාන් තම පාතාල මැරයන් සමඟ චූටි උක්කුං විනාශ කර දැමීමට සැලසුම් සකස් කළේය. එල්ලේ කී‍්‍රඩාවට චූටි උක්කුං දැඩි ලෙස කැමැත්තක් දැක්වූවේය. එල්ලේ තරග නැරඹීමට දුරබැහැර ප‍්‍රදේශවලට පවා චූටි උක්කුං තම පාතාල සගයන් සමඟ ගියේ ඒ කැමැත්ත නිසාය.
 
2016 වර්ෂයේ නොවැම්බර් 23 වැනිදා සමිට්පුර අසල කී‍්‍රඩාංගණයක එල්ලේ තරගාවලියක් පැවැත්වුණේය. චූටි උක්කුං සිය පාතාල සගයන් ද සමඟ මේ එල්ලේ තරගාවලිය නැරඹීමට පැමිණ සිටියේය. 
 
චූටි උක්කුං සිය පාතාල මැරයන් ද සමඟ සමිට්පුරය අසල කී‍්‍රඩාංගණයේ සිටින බව කුඩු රොෂාන්ගේ කන වැකුණේය. චූටි උක්කුං පරලොව යැවීමට සුදුසුම දිනය එදින බව තේරුම්ගත් කුඩු රොෂාන් සිය ප‍්‍රතිවාදියා ඝාතනය කිරීමට සැලසුම් කළේය. තම පාතාල කල්ලියේ සගයන් කැඳවූ කුඩු රොෂාන් මඟ රැක සිට ප‍්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය.
 
මේ කිසිවක් නොදැන සිටි චූටි උක්කුං තම පාතාල සගයන් ද සමඟ සමිට්පුරයට එන්නේ එල්ලේ තරගාවලිය අවසන් වීමෙන් පසුවය. කුඩු රොෂාන්ගේ නිවස පසුවනවාත් සමගම මඟ රැක සිිටි පාතාල මැරයන් චූටි උක්කුං ඇතුළු පාතාල මැරයන් ගමන් ගත් ති‍්‍රරෝද රථයට වෙඩි වරුසාවක් එල්ල කළහ. මේ ප‍්‍රහාරයෙන් මට්ටක්කුලිය පමණක් නොව මුළු රටම හෙල්ලූණේය. චූටි උක්කුං ඇතුළු පාතාල මැරයන් පස් දෙනකු එකම ස්ථානයකදී අවසන් ගමන් ගියේ තමන් සිදු කළ පාපකර්මවලට මෙලොවදීම දඬුවම් විඳිමින්ය.
 
චූටි උක්කුං ඇතුළු පස් දෙනකු ඝාතනය කළ කුඩු රොෂාන් සහ උගේ සගයන් කොළඹ නගරය අතහැර නිරුපද්‍රිතව පලා යන්නේ පොලිසියට ද අභියෝග කරමින්ය. මේ පංච පුද්ගල මිනිස් ඝාතනය සිදු කළේ කුඩු රොෂාන් ඇතුළු පාතාල සගයන් බව පොලිසිය ඒ වනවිට සොයාගෙන තිබුණේය. ඝාතකයන් අත්අඩංගුවට ගැනීමේ වගකීම භාරවී තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතය.
 
අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නිශාන්ත සොයිසා ඇතුළු පොලිස් නිලධාරීන් කුඩු රොෂාන් සොයා රටම පීරන්නට වූහ. සමිට්පුරයේ පංච පුද්ගල ඝාතනය සිදු වී පැය 48 ක් ගත වීමට මත්තෙන් ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වුණේය. 
 
පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීන් රත්නපුරය ප‍්‍රදේශයේ කළ වැටලීමකදී කුඩු රොෂාන් ඇතුළු පාතාල අපරාධකාරයන් 14 දෙනකු අත්අඩංගුවට ගත්හ.
 
කුඩු රොෂාන් ඇතුළු පාතාල සගයන් බන්ධනාගාරගත කළ ද සමිට්පුරයට නිදහසක් ලැබුණේ නැත. කුඩු රොෂාන් වැලිකඩ බන්ධනාගාරයේ සිට සිය පාතාල කල්ලිය මෙහෙයවන්නට පටන් ගත්තේය.
 
චූටි උක්කුංගේ පවුලේ සාමාජිකයන් සමූල ඝාතනය කිරීම කුඩු රොෂාන්ගේ එකම සිහිනය වී තිබුණේය. චූටි උක්කුංගේ කල්ලියට සම්බන්ධ වූවන් සියල්ල විනාශ කර සමිට්පුරයේ බලය තමන් වෙත නතු කර ගැනීම රොෂාන්ගේ එකම අභිප‍්‍රාය විය.
 
චූටි උක්කුං පරලොව ගිය ද ඔහුගේ සොහොයුරන් සමිට්පුරයේ සිටියහ. පි‍්‍රයංකර මෙන්ම චාමර සඳරුවන් ද චූටි උක්කුංගේ සොහොයුරන්ය. තම සොහොයුරා මෙන්ම මව ඝාතනය කළ කුඩු රොෂාන්ට පාඩමක් ඉගැන්වීම මොවුන්ගේ ද එකම අරමුණ විය. චූටි උක්කුංගේ සොහොයුරා වන පි‍්‍රයංකර මට්ටක්කුලියේදී අපරාධයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වුණේය. පි‍්‍රයංකර බන්ධනාගාරගත වූ බව සැළවූ වහාම ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට කුඩු රොෂාන් ඇතුළු පාතාල සගයන් සැලසුම් කළහ.
 
ඒ සැලසුම කි‍්‍රයාත්මක කළ ද පි‍්‍රයංකරගේ බිරිඳට ජීවිතය බේරා ගැනීමට හැකි වුණේ පුරුවේ කළ පිනකටය. කෙළවරක් නැති පලිගැනීම සමිට්පුරයට සාමාන්‍ය දෙයකි. කුඩු රොෂාන්ට පාඩමක් ඉගැන්වීමට චූටි උක්කුංගේ බාල සොහොයුරු වූ චාමර සඳරුවන් සැලසුම් කළේය.
 
ගල් සම්පත් කියන්නෙ රොෂාන්ගේ ළඟම ගෝලයා. උගේ කුඩු ඞීල් එක කරන්නෙ ගල් සම්පත්. රොෂාන්ට උණ ගැනෙන්න ගල් සම්පත්ට වැඩක් දෙන්න ඕනෙ. චාමර සඳරුවන් ඇතුළු පාතාල සගයන් ගල් සම්පත් පරලොව යැවීමට සැලසුම් කරන්නේ කුඩු රොෂාන්ට රිදවීමේ අරමුණෙන්ය.
 
දිනක් ගල් සම්පත් සිය බිරිඳ සහ දරුවා සමඟ ති‍්‍රරෝද රථයක යමින් සිටියදී චාමර සඳරුවන් සහ උගේ ගෝලයකු යතුරුපැදියකින් පන්නාගෙන ආහ. මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී. සිය බිරිඳ සහ දියණිය බලා සිටියදීම ගල් සම්පත්ට වෙඩි තැබූ පාතාල මැරයෝ පලා ගියහ. තම සමීපතමයකු ඝාතනය කළ බව සැළවීමෙන් කුඩු රොෂාන් දැඩි ලෙස කෝපයට පත් වුණේය. 
 
ගල් සම්පත් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චාමර සඳරුවන් පොලිස් අත්අඩංගුවට පත් විය. මාස හයකට වැඩි කාලයක් බන්ධනාගාරයේ සිටි චාමර සඳරුවන් ඇප මත මුදා හැරීමෙන් පසු නැවතත් සමිට්පුරයට ආවේය.
 
තම පවුලේ සාමාජිකයන් ගිය අඩිපාරේම යමින් සිටි චාමර සඳරුවන් ද හෙරොයින් ජාවාරමට සම්බන්ධ වුණේය. කුඩු රොෂාන් මහඋළුගෙදර සිටිය ද සමිට්පුරයේ තම අණසක ඒ ආකාරයෙන් පතුරුවාගෙන සිටියේය. කුඩු රොෂාන්ගේ ගෝල බාලයන් හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගියේය. එමෙන්ම රොෂාන්ගේ පාතාල බලය ද ඒ අයුරින්ම පවත්වාගෙන යෑමට උගේ සහචරයෝ කටයුතු කළහ.
 
චාමර සඳරුවන් ඉදිරියේදී තමන්ට විශාල අභියෝගයක් වන බව කුඩු රොෂාන් මෙන්ම ඔහුගේ පාතාල කල්ලිය හොඳාකාරවම දැන සිටියහ. චාමර සඳරුවන් කෙසේ හෝ පරලොව යවා සමිට්පුරයේ බලය තමන් වෙත ලබා ගැනීමට කුඩු රොෂාන්ට අවශ්‍ය විය. 
 
චාමර සඳරුවන් පරලොව යැවීමේ සැලසුම් සකස් වන්නේ එතැන් සිටය. 
 
‘‘ගල් සම්පත්ගේ නඩුවට චාමරයා උසාවි යනවා. උසාවි ගිහින් එන අතරේ ගහලා දාන්න පුළුවන්.’’ කුඩු රොෂාන්ගේ කල්ලිය චාමර සඳරුවන් පරලොව යැවීමේ සැලසුම සකස් කළහ. ගල් සම්පත් ඝාතන නඩුවට ඉදිරිපත් වී ආපසු එන අතරතුර ඔහු මරා දැමීම සැලසුම විය.
 
‘‘චාමරයා එක්ක සෙට් එකක්ම උසාවියට යනවා. උන් ළඟ සමහර විට වෙපන් තියෙන්නත් පුළුවන්. ඒ නිසා කෝකටත් ඇලට් එකේ යන්න ඕනේ.’’
 
කුඩු රොෂාන් තම සගයන්ට අනතුරු ඇෙඟව්වේය. රොෂාන්ගේ කල්ලියෙන් කොයි මොහොතක හෝ තමාට ප‍්‍රහාරයක් එල්ල වන බව චාමර සඳරුවන්ද හොඳාකාරවම දැන සිටියේය. ඒ නිසාම චාමර සඳරුවන් තම ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණේය. 
 
ගල් සම්පත් ඝාතන නඩු විභාගයට ඉදිරිපත් වී ආපසු නිවස බලා යෑමට චාමර සඳරුවන් සූදානම් වුණේය. ඒ වනවිට දහවල් කාලය ගෙවී යමින් තිබුණේය. චාමර සඳරුවන්ගේ මාමා ඇතුළු ඥාති පිරිසක් ද අධිකරණයට පැමිණ සිටියහ. සඳරුවන්ගේ ගෝලබාලයන් කීපදෙනකු ද අධිකරණ භූමියට පැමිණ සිටියේ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සූදානම් ඇතිවය. 
 
චාමර සඳරුවන් තම ඥාතීන් ඇතුළු පිරිස ති‍්‍රරෝද රථයකට නංවා සමිට්පුරයට පිටත් කර හැරියේය. තම ආරක්ෂාව සඳහා දෙවරක් සිතූ චාමර හොර රහසේම තම සගයකු ද සමඟ යතුරුපැදියක නැඟී සමිට්පුරයට නොගොස් වෙනත් ස්ථානයකට ගියේය. 
 
කුඩු රොෂාන්ගේ කල්ලියේ සාමාජිකයන් වෙත ඒ වනවිට තොරතුරු ලැබී තිබුණේ චාමර සඳරුවන් සිය ඥාතීන් සහ ගෝලබාලයන් සමඟ ති‍්‍රරෝද රථයෙන් සමිට්පුරයට එන බවය. කුඩු රොෂාන්ගේ කල්ලියේ කුලී ඝාතකයන් වෙත නියෝග ලැබී තිබුණේ ති‍්‍රරෝද රථයේ එන පුද්ගලයන් සියලූ දෙනා මරා දැමීමටය.

ඒ නියෝගය අකුරටම කි‍්‍රයාත්මක කළ කුලී ඝාතකයන් චාමරගේ ඥාතීන් ඇතුළු පිරිස ගමන් ගත් ති‍්‍රරෝද රථය ලූහුබැන්දේය. ති‍්‍රරෝද රථය සමිට්පුරයට ළඟා වීමට පෙර ඊට ප‍්‍රහාර එල්ල කළ කුලී හේවායන් නිරුපද්‍රිතව පලා ගියහ.

ප‍්‍රහාරයෙන් චාමර සඳරුවන්ගේ මාමා, මස්සිනා ඇතුළු පස්දෙනකු බරපතළ තුවාල ලැබූහ. මහමඟ ගමන් ගත් කාන්තාවක් ද වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබුවාය.

කුඩු රොෂාන්ගේ ඉලක්කය එවර සාර්ථක වුණේ නැත. සමිට්පුරයේ එකට කා බී එකට හැදීවැඩුණු මිතුුරන් බද්ධ වෛරක්කාරයන් බවට පත් වී හමාරය. හෙට දිනයේ ද සමිට්පුරය ගිනි ගනු ඇත. මේ පාතාල කල්ලි දෙකට සම්බන්ධ වූවන් සියලූ දෙනා පරලොව යනතුරු මේ සටන නිමවන්නේ නැත.

කොළඹ උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නිශාන්ත සොයිසා, සහකාර පොලිස් අධිකරි උදය හේමන්ත යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විමර්ශන පැවැත්වූ මෝදර පොලිසිය මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් දසදෙනකු අත්අඩංගුවට ගෙන සිටිති.

මේ පාතාල මැරයන්ට එරෙහිව කොයි ආකාරයෙන් නීතිය කි‍්‍රයාත්මක වුව ද ලෙයට ලෙයින් පලිගැනීම මොවුන් නතර කරන්නේ නැත.

සටහන : හේමන්ත රන්දුණු/ දිවයින