Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

විපක්ෂ නායකලා දෙදෙනෙක්...! අද පාර්ලිමේන්තුවේදී දෙමළ සන්ධානය විශේෂ ප්‍රකාශයක් කරයි

4007Views

තමන්  විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොකර මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත්කිරීම නිසා මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනෙකු සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් ප්‍රකාශ කරනවා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. එසේම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු නොවන බවත්, එබැවින් ඔහුගේ මන්ත්‍රී ධූරයද අහෝසි විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙසද ප්‍රකාශ කළා.

‘‘2015 වසරේදී මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට පසු දෙවැනියට වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් සිටින පක්ෂය හැටියේ නායකයා හැටියට ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකයා හැටියට මා විපක්ෂ නායක ලෙස පත් කරන බව කතානායකතුමා නිවේදනය කළා. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළ දැනුම්දීමක් මත කතානායකතුමා ඊයේ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව කිව්වා. කතානායකතුමා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කළේ මම විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරමින් සිටියදීමයි. මාව විපක්ෂ නායක කමින් ඉවත් කළේ නෑ.  ඒ අනුව මේ පාර්ලිමේන්තුවේ දැන් විපක්ෂ නායකවරුන් දෙදෙනෙක් සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. ඒ මහතා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වෙනවා. ඒ වගේම අමාත්‍ය ධුර තුනක් දරනවා. එසේ තිබිය දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු විපක්ෂ නායක ලෙස පත් කර තිබෙනවා.

ඔක්තෝබර් 26 වැනි දා සිට රටේ සිදුවීම් රැසක් වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා.

තවම ඇමැති මණ්ඩලය පත් කරලා නෑ. ආණ්ඩුව හරියට ස්ථාපිත වෙලා නෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ආණ්ඩු පක්ෂයේ ඇවිත් අසුන් ගත්තා. එසේ තිබියදී තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස නම් කරලා තිබෙන්නේ.

ඒ වගේම විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස නම් කළ  මන්ත්‍රීවරයා සැබෑ ලෙසම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවේ. ඊට ඔහු ශ්‍රීලනිපයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙක් නොවෙයි. ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි විය යුතුයි.

මේ රට අසාර්ථක රාජ්‍යයක් කරා පියමං කරනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. නොබෙදුණු, බෙදිය නොහැකි ශ්‍රී ලංකාවක් තුල අපට එකට ජීවත් වෙන්න ඕනෑ.‘‘