Monday, March 25, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

උදාවන 2019 වසර ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

13103Views

2019 වසර උදා වීමට තවත් ඇත්තේ පැය 24 ත් වඩා අඩු කාලසීමාවක්. අලුත් අවුරුද්ද පිළිගන්න බොහෝ දෙනා උනන්දුවෙන් බලා සිටින මොහොතක ජෝතිෂ්‍ය පිළිබඳ විශ්වාසයක් දක්වන බොහෝ දෙනා එළඹෙන නව වසර ගැන වගේම තමන්ගේ උපන් ලග්නයට අනුව පලාඵල දැන ගන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඒ සියළු දෙනා වෙනුවෙන් එළඹෙන 2019 වසර ගැන ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතා ගෙන එන විග්‍රහය පහතින්

2018 දෙසැම්බර් 31 දා රාත්‍රි 12.00 ට හෙවත් 2019 ජනවාරි 01 දා පැය 00.00 ට නව වසර ඇරඹේ. මේ වන විට උදාව පවතින්නේ කන්‍යා ලග්නයයි. රවි සහ ශනි එකට එක් වී හතර වැන්නේ ධනු රාශිගතව සිටින අතර සඳු, සිකුරු දෙදෙනා ධනස්ථාන ගතව දෙවැන්නේ සිටී.‍

මෙම සියලු කරුණු මත සැලකීමේදී 2019 වසර අප රටට ගැටලු අර්බුද නැත්තේ නොවේ. රවි ශනි ජනතාව නියෝජනය කරන ස්ථානයේ තැන්පත් වීම එතරම් හිතකර නොවූවත් යෝග කාරක සිකුරු සඳු සමඟ ධනස්ථාන ගත වෙමින් රාජ්‍ය භාවයට ත්‍රිකෝණ ගතවීම ගුණදායකය.‍ ගැටලු අර්බුද කොතෙක් ඇතත් රජයෙහි පැවැත්ම සහ ස්ථාවරය හොඳින් පවත්වාගෙන යා හැකි ය. කවර අර්බුද මධ්‍යයේ නමුදු පැවැති ආර්ථික අර්බුද ප්‍රමාණවත් ලෙස සමනය කරමින් ජනතාවට සහනය සැලසීමට රැකියා ප්‍රශ්න විසඳීමට ආයෝජකයන් ගෙන්වා ගනිමින් රටෙහි සංවර්ධනයක් ඇති කිරීමට නව ආදායම් මාර්ග තහවුරු කර ගැනීමට රජයට පුළුවන්කමක් ඇත. රාජ්‍ය භාවයට සප්නම භාවයෙහි රවි ශනි එක්වීම නිසා විරුද්ධවාදී බලවේග අකර්මණ්‍ය කරවීමට පුළුවන් තත්ත්ව ඇත.

මෙතෙක් නොලැබූ ආකාරයේ වෘත්තීය අවස්ථාවන් ද ජනතාවට මෙතෙක් නොලැබූ වරප්‍රසාද ලබාදීමේ අවස්ථාවන් ද උදා කරනු ඇත.

වසර උදා වනවිට මීන ලග්නයෙන් භාව්‍ය ස්ථානයෙහි ලග්නාධිපති සහ කර්මස්ථානයෙහි ගුරු සිටිමින් ද කුජ යෝගකාරක ලෙස ලග්නයේ තැන්පත්වීමෙන් ද දෘෂ්ටීමය ධර්ම කර්මාධිපති යෝගය උදාවීම නිසා ද ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයකුගේ දුරදර්ශී ක්‍රියා පිළිවෙතක් මඟින් රටත් රජයත් සාර්ථක ඉසව්වක් කරා යොමු කරනු ඇත.

මීළඟට ඒ ඒ ලග්නවලට උදාවන ගුණාගුණ තත්ත්වය විමසමු.

මේෂ

ගුණාගුණ මිශ්‍රයි

ලග්නාධිපති කුජ දොළොස් වැන්නේ ගමන් කරන අතර බ්‍රහස්පති අට වැන්නේ ය. ආයාසයෙන් සහ උනන්දුවෙන් කටයුතු කරමින් වෘත්තීය සහ ආර්ථිකය නවත්වා ගැනීමට සිදුවේ. කිසියම් විදියකින් පවතින බාධා ඉවත්ව වෘත්තීය යහපත සඳහා ප්‍රමාණවත් අවකාශයක් ලැබෙනුයේ මාර්තු ආව පසුවය‍. 2019 මාර්තු 28 දක්වාම බ්‍රහස්පති අශුභ ස්ථානයක ගමන් කරමින් සිට කිසියම් යහපත් බලයක් ඇති කරන හෙයින් එතෙක් කාල සීමාව කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ගෙදර දොර ජීවිතය ගුණා’ගුණ මිශ්‍රයි.

දූ දරුවන් සම්බන්ධයෙන් සැලකීමේදී වඩා හිතකර බවක් ඇති කරනුයේ වර්ෂය අගභාග‍ෙය්දීය. අධ්‍යාපනය සම්බන්ධව යොමුවී ඇති අය ඉතාමත් උත්සාහවන්තව කටයුතු කිරීමෙන් ම ප්‍රතිඵල ලැබිය යුතුව ඇත.

සෞඛ්‍ය තත්ත්වය ‍ශුභා’ශුභ මිශ්‍රයි. දණහිස ආබාධ හෘදයාබාධ වැනිදෑවලට පැවති අවකාශය මාර්තු මුල සතියෙන් පසු පහවේ.

ශුභ වර්ණය - රතු

ශුභ අංකය - 09

ශුභ දිනය - අඟහරුවාදා


වෘෂභ

බාධා මැඬගෙන කටයුතු කළ යුතුය

ලග්නයෙන් අට වැන්නේ ම සෙනසුරු ගමන් කරන අතර, රාහු කේතු ආදිය මාර්තු මුල් සතියේ සිට 2 හා 8 ට පැමිණේ. රැකියා කටයුතු ආර්ථිකමය ගැටලු මිශ්‍රව පවතින කාලයකි. දැඩි ආයාසයෙන් මේවායින් සහනයක් ලබන්නට සිතා ගත යුතුය. වෘත්තීය කටයුතුවලදී සහනශීලිත්වයෙන් යුතුව ක්‍රියා කිරීමේ අවකාශය අඩු ය. ගෙදර දොර ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේදී මාර්තු 7 සිට වඩාත් වැඩි අවධාන‍යකින් ක්‍රියා කිරීම අත්‍යාවශ්‍යය. සතුට - සන්තෝෂය ගිලිහිය හැක. දූ දරුවන් සම්බන්ධයෙන් මෙම වසරේදී ශුභදායක ප්‍රවණතාවයක් ඇති කරයි. අධ්‍යාපනයේ නියුක්ත වූවන් සඳහා යහපත් වාතාවරණයකට මග සලසා ගත හැක‍. ලෙඩදුක් අසනීප සම්බන්ධයෙන් සැලකීමේදී මධ්‍යස්ථ බවක් පෙනුන අතර ලේ දුෂ්‍ය වූ ආබාධ අර්ශස් වැනි පීඩා, ආහාර දිරවීම් දුර්වලතා ගැන කල්පනාකාරී වන්නට සිදුවේ.

ශුභ වර්ණය - නිල

ශුභ අංකය - 06

ශුභ දිනය - සිකුරාදා


මිථුන

සමපල දායකයි

සෙනසුරු 7 ගමන් කරන අතර ගුරු 6 ද ගමන් කරයි. තමාගේ වෘත්තීය කටයුතුවලදී විමසිලිමත්ව ක්‍රියාකිරීමෙන් ම ප්‍රතිඵල ලබාගැනීමට සිදුවේ.

ආර්ථිකය සම්බන්ධයෙන් සලකන කළ රාහු ධනස්ථානගතව සිටින නිසා මාර්තු 7 දායින් පසුව පවතින ආර්ථිකමය දුෂ්කරතා කිසියම් ප්‍රමාණයකින් අඩුවේ. ලග්නයට රාහු පැමිණෙන නමුදු උච්චබලයෙන් යුක්තවීම මත තරමක යහපතක් සලසයි.

ගෙදර දොර ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේදී මධ්‍යස්ථ පලදායකයි. ආවේගශීලීබව දැඩි මතධාරී බව ප්‍රශ්නවලට මග පාදයි‍. දූ දරුවන් සම්බන්ධයෙන් එතරම්ම හිතකර බවක් පැවතීම අසීරුවේ.

නොවැම්බර් 6 න් පසු යහපතට මග සැලසේ. අධ්‍යාපනයේ නියුක්ත වන්නන්ට අප්‍රමාණ දියුණුව සැලසිය හැක. සෞඛ්‍යය ගැන කල්පනාකාරීවන්න. ලේ දූෂිත වූ අයට වෛරසයන් ඇතුළුවීම වැටීම් තැලීම්වලට ඉඩකඩ සලසයි.

ශුභ වර්ණය - කාල

ශුභ අංකය - 05

ශුභ දිනය - බදාදා


කටක

වඩාත් යහපත් ප්‍රතිඵල ලබයි

ලග්නයෙහිම රාහු ගමන් කරන අතර සෙනසුරු හය වැන්නේ ය. ගුරු 5 ගමන් කිරීම යහපති. වෘත්තීය හා ආර්ථිකය යන දෙඅංශයෙන් ම ගුණදායක වටපිටාවක් මුල් මාස දෙකෙන් පසු ඇති කරයි. තම හැකියාව සහ කුසලතාවයෙන් ම නිසි තැන ලැබේ. මාර්තු 7 රාහු ලග්නයෙන් ඉවත්වීම පවතින බොහෝ බාධා අහෝසි වීමකි. මිල මුදල් සම්බන්ධයෙන් ප්‍රගතියක් සැලසේ. ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේදී සැලකිය යුතු සහනයක් බලාපොරොත්තුවීමට ඉඩකඩ ඇත. රාහු කේතු ලග්නයෙන් සහ 7 න් ඉවත්වීම ගෘහ දිවිය සමනය කරන්නකි. දූ දරුවන් සම්බන්ධයෙන් ශුභදායක බව පැවසිය යුතු ය. ඔවුන් ඉහළ මට්ටමට පත්වේ. අධ්‍යයනයේ නියුක්ත වන්නේ නම් ඉතා යහපත් ප්‍රතිඵල මාර්තු ආරම්භයේ සිටම බලාපොරොත්තු විය හැක. සෞඛ්‍යය ගැන සැලකීමේදී ද වඩාත් වැඩි හිතකර වාතාවරණයක් මුල් මාස දෙකින් පසු ඇති කරයි.

ශුභ වර්ණය - ක්‍රීම් පාට

ශුභ අංකය - 02

ශුභ දිනය - සඳුදා


සිංහ

මෙම වසර ශුභදායකයි

බ්‍රහස්පති 4 ගමන් කිරීම, රාහු වැය ස්ථානයෙන් ඉවත්වීම යන කාරණා මත වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් යහපත් වාතාවරණයකට ඉඩ සලසනු ඇත‍. ආර්ථිකමය වශයෙන් පැවැති දුෂ්කරතා සහ මුදල් ගැටලු මාර්තු 7 දායින් පසු යහපත් අතට හැරේ. ගෙදර දොර ජීවිතය සමපලදායක බව කිව යුතු ය. දූ දරුවෝ ඉගෙනීමේ දක්ෂ වී යහපත් මාර්ගයකට ප්‍රවිෂ්ට වේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේදී මෙම වසර හිතකර බවකින් යුක්තය. සෞඛ්‍යමය වශයෙන් ද පෙරට වඩා වැඩි යහපත් බවක් කිව හැකි බව පෙනේ.

ශුභ වර්ණය - රතු

ශුභ අංකය - 01

ශුභ දිනය - ඉරිදා


කන්‍යා

අසහනදායි බවින් යුක්තයි

සෙනසුරු බන්ධක දෝෂය උදා කරමින් හතර වැන්නේ පාප පීඩිතව ගමන් කිරීම ද, බ්‍රහස්පති තුන්වැන්නේ යෙදීම ද මත යම් යම් බාධා ගැටලු ඇතිවේ. වෘත්තීය කටයුතු සම්බන්ධයේදී ආර්ථිකය යන ඉසව්වෙන්ද හිතකර බව අඩුවනු ඇත. දූරදර්ශීව ක්‍රියා කළ යුතුයි. ගෙදර දොර ජීවිතය සම්බන්ධයෙන් ශුභා’ශුභ මිශ්‍රය. හැම විටම ඉවසිලිමත්ව ක්‍රියා කිරීමෙන් සහනයක් ලබනු ඇත. දූ දරුවන් සම්බන්ධයෙන් ද එතරම්ම යහපත් නොවේ‍. කලකිරීම් සහිතයි. අධ්‍යාපනයේ නියුක්ත වන්නේ නම් දැඩි ආයාසයෙන් ප්‍රතිඵල ලබා ගැනීමට සිදුවේ. ලෙඩ රෝග සම්බන්ධයෙන් සැලකීමේදී වාතාබාධ, උදරාබාධ සහ වෙනත් සංකීර්ණ ‍රෝගයකට අවකාශය පවති.

ශුභ වර්ණය - කාල

ශුභ අංකය - 05

ශුභ දිනය - බදාදා


තුලා

ශුභදායකයි

ලග්නයෙන් තුන් වැන්නේ සෙනසුරු ද බ්‍රහස්පතී දෙවැන්නේ ද ගමන් කරනු ඇත.‍ වෘත්තීය සහ ආර්ථිකය යන දෙඅංශය සම්බන්ධයෙන් යහපත් බවක් ගෙනදිය හැක. ඉතාමත් විමසිලිමත්ව ක්‍රියා කිරීමෙන්‍ මෙහි නියම ප්‍රතිඵල ලද හැක්කේ ය.‍ ගෙදර දොර ජීවිතය සම්බන්ධයෙන් සැලකී‍මේදී බොහෝ සෙයින් යහපතට මග සැලසෙන කරුණු උදා කරයි. මාර්තු ආරම්භයේ සිට වඩාත් වැඩි සහනශීලී බවක් පෙන්වයි. දූ දරුවන් සම්බන්ධයෙන් සැලකීමේදී අශුභදායක නැත. ඔවුන්ගේ අධ්‍යාපන, විවාහ ආදී අපේක්ෂාවන් මල්පල ගන්වනු ඇත. සෞඛ්‍ය තත්ත්වය අනුව සැලකීමේදී යහපත් බවක් පැවසිය හැක්කේ ය. ලෙඩ දුක් පීඩා බොහෝ දුරට සමනය වේ.

ශුභ වර්ණය - නිල

ශුභ අංකය - 06

ශුභ දිනය - සිකුරාදා


වෘශ්චික

මධ්‍යස්ථ පලයි

බ්‍රහස්පතී ලග්නයේද සෙනසුරු ධනස්ථානයේ ද ගමන් කරන අතර රාහු කේතු නමය - තුන ආදී ස්ථානවල යෙදී ඇත. වෘත්තිය සහ ආර්ථකය සම්බන්ධයෙන් සමපලදායකයි. ඉවසීමෙන් ක්‍රියාකරන තරමටම ප්‍රගතියක් සැලසේ. ගෙදර දොර ජීවිතය සම්බන්ධයෙන් අශුභ දායක බවක් නැතැයි මාර්තු 7 දායින් පසු රාහු කේතු ගමන හිතකර නොමැති නිසා පීඩාවන් ඇති විය හැක. දූ දරුවන් සම්බන්ධයෙන් යහපත් ය. ඔවුන්ගේ අභිවෘද්ධිය සැලසේ. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට මෙම වසර සුභයි. ප්‍රතිඵල උසස් ලෙස ලබයි. ලෙඩ දුක් සම්බන්ධයෙන් සැලකීමේදී යහපත් නමුදු ඇවතුම් පැවතුම් හා කෑම බීම යනාදියෙන් සුපරීක්ෂාකාරී වීමෙන් මෙම ප්‍රතිඵල යහපත් කර ගත හැක.

ශුභ වර්ණය - රතු

ශුභ අංකය - 09

ශුභ දිනය - අඟහරුවාදා


ධනු

බුද්ධිමත්ව ක්‍රියාකිරීමෙන් සහනයක් ලැබිය හැක

ලග්නයේම සෙනසුරු ගමන් කරන අතර බ්‍රහස්පතී 12 වැන්නේ ය. රාහු කේතු ගමන බාධාකාරීය. ඉතාමත් විමසිලිමත්ව ක්‍රියාකිරීමෙන් රැකියා සහ ආර්ථික දෙඅංශය සාර්ථක කර ගැනීමට උත්සුක විය යුතු ය. ප්‍රශ්න බාධා අවුල් සහිතයි. ගෙදර දොර ජීවිතය සම්බන්ධයෙන් ගුණා’ගුණ මිශ්‍ර බව වෙසෙන්නට සිදුවේ. රාහු කේතු ගේ ගමන මත යම් යම් ගැටලුකාරී ප්‍රශ්න මතු විය හැක. දූ දරුවන් සම්බන්ධයෙන් හිතකර බවක් පවසන්නට හැකි වනුයේ නොවැම්බර් 6 න් පසුවයි. අධ්‍යාපනයේ නියුක්ත වන්නන් දැඩි ලෙස කැපවීමෙන් ම ප්‍රතිඵල ලබාගත යුතුව ඇත. සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාතාබාධ, බඩවැල් රෝග, අර්ශස් වැනි පීඩා ගැන කල්පනාකාරී වන්න.

ශුභ වර්ණය - රන්වන්

ශුභ අංකය - 03

ශුභ දිනය - බ්‍රහස්පතින්දා


මකර

බොහෝ විට ශුභ වසරකි

ලග්නාධිපති 12 වැන්නේ ‍ගමන් කරන නමුදු කේතු ලග්න‍යෙන් ඉවත්වීමට, බ්‍රහස්පති අයස්ථාන ගත වීමත් මත ශුභදායක ප්‍රතිඵල ගෙනදේ. මාර්තු 7 දායින් පසුව වෘත්තිය හා ධනය සම්බන්ධයෙන් පවතින බාධාවන් කිහිපයක් ඉවත්වේ. සැනසීම ලබයි‍. ගෙදර දොර ජීවිතය සම්බන්ධයෙන් ද සැහැල්ලු වාතාවරණයක් මාර්තු සිට ඇති කරන්නේ ය‍. දූ දරුවන් සම්බන්ධයෙන් යහපත් බවක් කිව යුතු ය. අධ්‍යාපනයේ නියුක්ත වන්නන් සඳහා මෙම වසර ගුණදායක බවකින් යුතු ය. ඉහළ ප්‍රතිඵල ලැබිය හැක. ලෙඩ ‍රෝග සම්බන්ධයෙන් හිතකර බවක් පැවසිය හැක‍. සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් කරන සලකුණු මාර්තු සිට ඇති කරයි.

ශුභ වර්ණය - නිල

ශුභ අංකය - 06

ශුභ දිනය - සිකුරාදා


කුම්භ

ශුභ දායකයි

ලග්නාධිපති අයස්ථාන ගතවී ද බ්‍රහස්පති දහ වැන්නේ ද රාහු 6 ද වේ. මේ ගුණපල ඉස්මතු කරන වසරකි. ධනෝපායන මාර්ග සාර්ථකයි. ගෙදර දොර ජීවිතය සම්බන්ධයෙන් සැලකිය යුතු බවත් කිව යුතු ය. සාමාකාමී යහපත් වාතාවරණයක් සලසමින් දූ දරුවන්ට ද ශුභ දායකයි.‍ අධ්‍යාපනයේ නියුක්ත වන්නන්ට මෙය ශුභදායක ප්‍රතිඵල ගෙනෙනු ඇත. ලෙඩ රෝග සම්බන්ධයෙන් සැලකීමේදී අයහපත් බවක් පැවසීම අසිරුයි.

ශුභ වර්ණය - නිල්

ශුභ අංකය - 06

ශුභ දිනය - සිකුරාදා


මීන

බෙහෙවින් ගුණදායක වසරකි

ලග්නාධිපති බ්‍රහස්පතිම භාග්‍ය ස්ථානයේ ගමන් කරමින් ලග්නය දකී‍. මේ අතර භාග්‍ය ස්ථානාධිපති කුජ ලග්නව පතිත වී දෘෂ්ටිමය ධර්ම කර්මාධිපති යෝගය උදාවෙයි. රැකී රක්ෂා කටයුතු තනතුරු ආදියෙන් ඉතාමත් ඉහළ මට්ටමේ වාතාවරණයක් හා බැබළීමක් ගෙන දෙනු ඇත. ප්‍රශ්න බාධා ඉවත්වේ. ආර්ථිකය ශුභදායකයි. ගෙදර දොර ජීවිතය සම්බන්ධ ගුණදායක වාතාවරණයක් පවතී. ඔවුන් අධ්‍යාපනමය සහ වෘත්තිමය සාර්ථකත්වය ලබයි‍. සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සලකන කල ගුණා’ගුණ මිශ්‍රය. හෘදයාබාධ වාතාබාධ ශරීරයෙහි වෛරස ඇතුළුවීම වැනි දෑ ගැන කල්පනාකාරී වන්න.

ශුභ වර්ණය - රන්වන්

ශුභ අංකය - 03

ශුභ දිනය - බ්‍රහස්පතින්දා

 - ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල -

 

YOU MAY ALSO LIKE