Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හෙළ සිරිතට මුල්තැන දෙමින් අවුරුද්ද පිළිගන්න මුළු රටම සැරසෙද්දී මේ දේවල් ගැනත් දැනගන්න

1715Views

“ලොව පවතින්නේ හිරුගේ කිරණෙන් හා මවගේ කිරෙන්” යැයි කියමනක් පවතී.මවටත් හිරුටත් වැඩි තැනක් ලැබෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද උදාවට පරිසරය දැන් මාන බලයි. සොබා දහමේ බොහෝ දෑ මුසුව එළඹෙන හා සමරන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද පිළිගන්නට ලාංකිකයින් සූදානමින් සිටිනවා.

ආසියානු කොවුලා හෙවත් කොහා  එසේත් නැත්නම් කෝකිලයා සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුල දැකිය හැකි සුවිශේෂී පක්ෂියෙකි. අලුත් අවුරුද්ද උදා වන බවට පණිවුඩය රැගෙන පැමිණෙන කොහා පෙරහැරක මුලින් පැමිණෙන කස කරුවකු වැනිය. කොහාගේ කෝකිල නාදය බක් මාසේ පුරා ඇසිය හැකිය. කොවුලා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙකු නොවන අතර සංක්‍රමණික කුරුල්ලෙකි. ඔවුන් සංවාස කාලය සඳහා මාර්තු,අප්‍රේල් කාලයේදී ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට පැමිණෙති. කොහාගේ 'කුහු කුහූ' නාදය අලුත් අවුරුද්ද ළඟ බවට පවසන පණිවිඩයක් වැනිය.

මාර්තු හා අප්‍රේල් මාස වන විට වසන්ත සමය නිසා සියලු ගස් වැල් මලින් හා ඵලෙන් බර වේ. සිංහල අවුරුදු කාලයට පිපෙන සුවිශේෂී මල් වර්ගයක් ලෙස එරබදු මල් හැඳින්විය හැක. අප්‍රේල් මාසයේදී එරබදු ගස් රතු පාට මලින් වැසී යන්නේ අලුත් අවුරුද්ද උදාවන බවට ඉඟි කරමිනි, කොහා කස කුරුවකු සේ අවුරුදු පණිවුඩය ගෙනෙද්දී එරබදු මල් හිතෙන්නේ නාටිකාංගනාවක් සේ පෙනන බවකි. දැන් එරබදු මල් සුවද දැනේ, කොහෝ නාද නැගේ, බක් මාසේ උදා වී ඇත.

අටවන ග්‍රෙගරි පාප්තුමා 1582 දී හදුන්වා දුන් ග්‍රෙගරි දින දර්ශනය භාවිත කරනබටහිර රටවල් දෙසැම්බර් මස 31 දා මධ්‍යම රාත්‍රියේදී නව වසරක උදාව සමරනු ලැබුවත් ශ්‍රී ලාංකිකයෝ සාම්ප්‍රදායිකව නව වසරක උදාව සමරනු ලබන්නේ නක්ෂත්‍රකරුවන් විසින් නිශ්චය කරනු ලබන දිනයකය.

එනම්, අප්‍රේල් මාසයේ හෙවත් බෞද්ධ දින දර්ශණයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය ශ්‍රී ලාංකිකයන් නව වසරක උදාව සිදු වන දිනය ලෙස සමරති. ඒ අනුව, සෑම වසරකම අප්‍රේල් මස 13 හෝ 14 දිනට අලුත් අවුරුද්ද යෙදේ. සිංහල භාෂාවෙන් මෙය 'අලුත් අවුරුද්ද' වන අතර දෙමළ භාෂාවෙන් මෙය 'පුත්තාන්ඩු' ලෙස හඳුන්වයි.කෘෂි කාර්මික අස්වනු නෙලා අවසාන වන කාලය වන භාග්‍යවන්ත කාලය මේ වන බැවින්, මේ කාලය බක් මාසය ලෙස හැදින්වේ. සූර්යයා ශ්‍රී ලංකාවට සමපාත හෙවත්සෘජුව ඉහලින් පිහිටන කාලය ද මේ වන අතර මේ කාලයේ උණුසුම් කාලගුණික ලක්ෂණ දැකිය හැකිය.

බක් මහ සැමරුම සූර්යයා මූලිකව සිදුවන්නක බව ඉතා පැහැදිලිය, මේෂ රාශියෙන් ඇරඹෙන සූර්ය සංචාරය වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර කුම්භ රාශි පසු කරමින් මීන රාශියට එළඹීමෙන් අනතුරුව යළිත් මේෂ රාශියට සංක්‍රමණය වීම ඇරඹෙන මාර්තු මස අග භාගයේදී සාරවත් කෙත් අස්වනු නෙළීම හමාර කරන ගොවියා... ගැමියා... දිගු කාලයක් කෙත හා වෙහසීමෙන් පසුව අස්වැන්න නෙලා ගැනීමෙන් අනතුරුව යම් විවේකයක් භුක්ති විදී. ඒ ප්‍රීතිය නිමිත්තෙන් සූර්ය සංක්‍රාන්ති උළෙල වටා ගැමි ජනතාව විශේෂයෙන් ම එක් රොක් වීමට හුරු වීම, වර්තමාන බක් මහ උළෙල සැමරීමෙහි ආරම්භය ලෙස හැඳින්විය හැකිය.

 චාරිත්‍ර වාරිත්‍ර සදහා මුල් තැන දෙමින් ද විවිධ ගැමි, සාම්ප්‍රදායික විනෝද ක්‍රීඩා පවත්වමින් ද, බක් මහ උළෙල පැවැත්වීමයි සම්මතය. වසර පන්දහසකටත් පෙර වූ ඉතිහාසයක පවා සූර්ය වන්දනාව සිදුව ඇති බවට සාක්ෂි ඉතිහාසයේ සදහන් වේ. මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයට ඊට කදිම නිදර්ශණයකි. තම පැවැත්මට උපකාර වන බොහෝ දෑ දේවත්වයෙන් සලකපු අතීත වැසියන් සූර්ය වන්දනාවට මුල් තැන දී ඇත.

අතීතයේ ලක් දිව විසූ යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ ආදී වශයෙන් වූ සිව් මහා හෙළයින්, සූර්යය වන්දනාවෙහි ආභාෂය ලබා ඇත. එවක මෙලක විසූ ප්‍රබලතම මුනිවරයකු වූ පුලස්ති මුනිවරයා විසින් පවසනන ලද නිශ්චිත වේලාවක හෙවත් නැකතක සූර්යයා මීන රාශියෙහි සිට මේෂ රාශියට සංක්‍රමණය වන උච්ච අවස්ථාවේ සිව් මහා හෙළයන් සූර්ය නමස්කාර කළ බව පුස්කොළ ග්‍රන්ථයෙහි සඳහන් වේ. එසේ චාරිත්‍රානුකූලව සැමරූ සූර්යය සංක්‍රාන්තිය, පසුව විභීෂණ රජසමය තුල ලංකාවේ දකුණු දිග වෙරළ තීරයේ කතළුව නම් ග්‍රාමයේදී කතළු කුමාරයෙකුගේ ප්‍රධානත්වයෙන් සූර්ය සංක්‍රාන්ති උළෙලක් බවටත් පත්ව ඇත. මෙහි දී ක්‍රීඩාවක් ලෙස පොර පොල්ගැසීම සිදු වී ඇති බව රචුක නිඝණ්ඩුනම් පුස්කොළ පොතෙහි සදහන්වේ.

කෙසේ නමුත්, බක් මහ උළෙල පැවැත්වූ දිනයන් පිළිබඳ ආන්දෝලනාත්මක කරුණක් නුවර යුගය ඇසුරෙහි ඉස්මතු වේ. රොබට් නොක්ස්ගේ එදා හෙළදිවකෘතිය හෙළිදරව් කරන තොරතුරු අනුව මහ නුවර යුගයේ බක් මහ උළෙලක් පැවත්වූ බව කිය වේ. දෙවැනි රාජසිංහරජ සමයෙහි උඩරට රාජධානියේ බක් මහ උළෙලක් මාර්තු මස 26, 28 හෝ 29 යන තෙදිනෙන් එක් දිනකදී පැවැත් වූ බව පැවසේ. මෙලෙසින් ඇරඹි හෙළ බක් මහ උළෙල සිංහල, දෙමළ බක් මහ උළෙල බවට පරිවර්තනය වූයේ කාලිංඝමාඝ ද්‍රවිඩ පාළන සමයේ දී ඉන්දියානු බක් මහ උළෙලෙහි සංස්කෘතිකාංග බලහත් කාරයෙන් හෙළ බක් මහ උළෙලට මුහුම් කල නිසාවෙන් බවට මතයක් ද පවතී.

කෙසේ හෝ ඇරඹි, මෙම නව වසරක උදාව සංස්කෘතික වශයෙන් අප්‍රේල් හෙවත් බක් මාසයේ  සමරනු ලබන අතර අතීතයේ සිටම මෙය ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි.විවිධ විශ්වාස සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳී පවතී.

මිථ්‍යා විශ්වාස හා ප්‍රබන්ධ කතා අනුව අලුත් අවුරුදු උදාව හින්දු සාහිත්‍යයේ සදහන් වන්නේ,සාමයට අධිපති කුමරා ලෙස හින්දු ආගමේ සලකනු ලබන ඉන්ද්‍රදේව, මහ පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබා දීමට පැමිණෙන දිනය අලුත් අවුරුදු උදාව සිදු වන දිනය ලෙසයි. එදින, අවුරුදු කුමරා සුදු පැහැති රථයක නැඟී, සුදු මල් වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලඳගෙන, මහ පොළවට වඩින බව හින්දු ජනතාව අතර මිත්‍යා විශ්වාසයක් පවතී.

‍සිංහල අවුරුද්ද, අලුත් අවුරුද්ද, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද බක් මහා මඟුල, සූර්ය මංගල්‍යය යන නම් වලින් හඳුන්වන්නේ ලංකාවේ ප්‍රමුඛතම සංස්කෘතික උත්සවය මේ බව ද, ලොව විවිධ රටවල් සූර්යයාගේ නිවර්තනාන්තර ගමන අළලා මෙවැනි සංස්කෘතික උත්සව නිර්මාණය කරගෙන තිබෙන බව ද ඔබ දනී.

කෘෂි අර්ථ ක්‍රමයක් හා බෞද්ධ උරුමයක් පවතින ශ්‍රී ලංකාවේ වසර පුරාම ගත වෙහෙසා, දහඩිය වගුරා, වී අස්වැන්න නෙළා ගත් පසු ගැමියා තුළ පවතින්නේ අපමණ සතුටකි. එනිසා,පී‍්‍රතිය, සතුට සැමරීමත්, කෙළි දෙළෙන් ගත කිරීමත් මේ සංස්කෘතික උත්සවය හා ප්‍රබලව බද්ධවී පවතී.

මෙම මහා මංගල්‍ය වෙනත් කිසිදු උත්සවයක දී නොදකින තරම් සොබා දහම හා දැඩිව බද්ධ වී සැමරීම විශේෂත්වයකි. හිරු මෙන්ම සඳද එදා පටන් ගැමියෝ දේවත්වයෙන් සලකනු ලැබූ ස්වභාවික වස්තූන්ය.අවුරුදු කාලයට සිංහල බෞද්ධයෝ දෙවරක් සඳ බලති. එක් වරක් පරණ අවුරුද්දට ය. අනෙක් වර අලුත් අවුරුද්දට ය.අලුත් අවුරුද්දේ පායන්නේ නව සඳ වන අතර අලුත් අවුරුද්දට නව සඳ බැලීමෙන් සිත ශක්තිමත් වේ යැයි විශ්වාස කෙරේ. නව සඳ දවසින් දවස මෝරා පුර සඳක් බවට පත් වන්නාක් මෙන් උදා වන අලුත් අවුරුද්ද ද වාසනාවෙන් පිරේවායි සියල්ලෝම ප්‍රාර්ථනා කරති. හත්වන සියවසේ දී පමණ සීගිරිය බලන්නට ගොස් එහි සිතුවම් නරඹා, කැටපත් පවුරෙහි ගීයක් කුරුටු ගෑ කවියෙකු බක් මහේ නව සඳ ගැන සඳහන් කර ඇත. ‘නව බග් ල සන්ද්’ යනුවෙන් තමා බක් මහේ නව සඳ දුටු මිනිසෙකැයි ඔහු ආඩම්බර වූ වග පැවසේ.

සූර්යයා මීන රාශියට ආ විට එක් අවුරුද්දක් ගෙවී යයි. ගෙවී යන ඒ අවුරුද්දේ අන්තිම දවස පරණ අවුරුද්ද ලෙස ව්‍යවහාර කෙරේ.  සූර්යයා මේෂ රාශියට ඇතුළු වූ විට අළුත් අවුරුද්ද ආරම්භ වේ. මීන රාශියෙන් පිටත් වූ සූර්යයාට මේෂ රාශියට සම්පූර්ණයෙන් ඇතුළු වීමට පැය කිහිපයක් ගත වේ.එම කාලය තුළ හිරු සිටින්නේ මීන රාශියත් මේෂ රාශියත් අතර ය. මෙය සූර්ය සංක්‍රාන්තිය ලෙස හැදින්වේ. සූර්ය සංක්‍රාන්තිය සිදු වන ඒ පැය කිහිපය පරණ අවුරුද්දටත් අලුත් අවුරුද්දටත් අයිති නැති කාල පරිච්ඡේදයක් සේ සැලකෙන අතර එහාටත් නැති මෙහාටත් නැති මේ කාලයෙහි සුබ නැකැත් ද නැති බවට විශ්වාසයක් පවතී.සුබ නැකතක් නැති බැවින් මේ කාලය නොනගතය නම් වේ. නොනගතය අවදානම් සහිත කාල පරිච්ඡේදයක් සේ පැරැන්නෝ ඇදහූ අතර නොනගතයෙහි දී සෑම බෞද්ධයෙක් ම පන්සල් යති. එබැවින් නොනගතය පුණ්‍ය කාලය වශයෙන්  ද හැදින් වේ.

අලුත් අවුරුද්ද හා සූර්යා අතර ඇති සබැදියාව විමසූ අපි, අලුත් අවුරුද්ද හා ගෘහණිය අතර ඇති සබැදියාවත් විමසමු.

අලුත් අවුරුද්දට ගේ දොර අලුත් වෙයි. මහ ගෙදර මුළුතැන්ගෙයි කැඩී බිඳී ගිය ළිප්ගල් අලුතින් බැඳීමේ සිට, එදා නම් ගෙබිම ගොම මැටි ගෑමෙන් ද, අද නම් සෝදා පිරිසිදු කිරීමෙන් ද අලුත් අවුරුද්දට නිවසට අලුත් මුහුණවරක් ලැබේ. ‍මේ සදහා මව මූලිකව කටයුතු කරයි.

අලුත් අවුරුද්ද උදා වන විට අලුත් ළිප් බැඳ අලුතින් ළිප ගිනි මොළවා, අලුත් සහලින්, අලුත් වළඳක, අලුත් බතක් පිසීමට සුදානම් කිරීම ගෘහනියගේ කාර්යය බාරයි. හිරු දෙවියන් සම්පුර්ණයෙන්ම මේෂ රාශියට ඇතුළු වනවාත් සමඟ ම අලුත් අවුරුද්ද උදාවීම සංකේතවත් කරමින් සෑම ගෙදරක ම පාහේ ළිප ගිනි මෙළෙවීමේ චාරිත්‍රය සිදු කෙරේ. අම්මා කිරි බත් හදන තුරු නොඉවසිල්ලෙන් සිටි අතීතය අදද සිහිපත් වෙයි.

සුබ නැකතට ළිප ගිනි මොළවා අලුත් මුට්ටියක කිරි ඉතිරිමේ චාරිත්‍රය සිදු කිරීමෙන් නව වසරේ පවුලට කිරි ඉතිරේවායි ප්‍රාර්ථනා කෙරේ. නන් දෙසින් රතිඤ්ඤා හඩ ද මේ අතරේ දසත පැතිරේ. කිරි බත අපේ සහල් සංස්කෘතියේ චාරිත්‍රයකි. කිරි බත් පිසීම අපේ සංස්කෘතියේ සශ්‍රීකත්වයේ ලක්ෂණයකි.

එකම රටක සියලුම දෙනා එකම වෙලාවක එකම කාර්යයක නිරත වීමේ චාරිත්‍රය පවතින්නේ අප රටේ පමණක් වැනිය, එය අපේ හෙළ සංස්කෘතියේ ප්‍රතිමුර්තියක් ද වෙයි. මෙවැනි චාරිත්‍ර අන් කිසිදු රටක දක්නට නැත.

සුබ නැකතට ආහාර අනුභව කරන විට සුබ දිසාවක් දෙස බැලීම වැදගත් කොට සැලකේ. සුබ දිසාව මෙන්ම සුබ වර්ණයක් ද නැකැත්කරුවෝ නියම කරති. ආහාර අනුභවයේදී එම වර්ණ ඇඳුම් ඇඳ සිටීම දක්නට ලැබේ. අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී චාරිත්‍රයක් වන්නේ හිස තෙල් ගෑමයි, බෙහෙත් පැළෑටිවලින් පිළියෙල කරන තෙල් හා නානු තාත්තා විසින් සුබ දිසාව බලා හිසේ ගානු ලැබේ. මෙයට හිසටත් පයටත් ඖෂධ පත්‍ර තැබීම සම්මතයයි. මින් නීරෝගීතාවය ප්‍රාර්ථනා කෙරේ.

අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය. වැදගත් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව සියලු දෙනා මාර්ගයේ, නිවෙස්වල හෝ ගමේ ඉඩකඩ ඇති ස්ථානවල එකට එකතු වී අවුරුදු ක්‍රීඩා වල යෙදෙති. පංච කෙළිය, ඔන්චිලි වාරම්, ඔළිඳ කෙළිය, රබන් ගැසීම ඉන් කිහිපයකි. ඊට අමතරව එළිමහනේ අවුරුදු ක්‍රීඩා උත්සව පැවත්වීම සඳහා ගම්වැසියන් සියලු දෙනා දායක වෙති. කොට්ට පොර ගැසීම, පොර පොල් ගැසීම, ලිස්සන ගහේ නැඟීම,කඹ ඇඳීම, අවුරුදු කුමරිය තේරීම වැනි තරඟ ඉසව් වලට මෙහිදී මුල් තැන හිමි වේ. බොහෝ විට නාගරික ජන ජීවිතය තුලට වඩා ගැමි සමාජය තුල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දීමත් අවුරුදු උත්සව පැවත්වීමත් සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරන ආකාරයත් දැකිය හැකිය.

බක් මහ අසිරිය හා එහි වටිනාකම මෙසේ වුවත්, කාලය විසින් බොහෝ දේ අපෙන් වසන් කරමින් පවතී. අප කුඩා කල විදි බක් මහ අසිරිය අද ප්‍රදර්ශණ මට්ටමට පත්ව ඇතැයි සිතෙද්දී ‍හිතට වේදනාවක් එක් කරයි. මේ අසිරිය මතු පරපුරා දායාද කිරී ම අප කාගෙත් යුතුකමකි.

සන්නිවේදක දේශමාන්‍ය ඉන්දික කළුආරච්චි 

YOU MAY ALSO LIKE