මැණික් මංකොල්ලයක් සිදු කළ ජාවාරම්කරුවන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකරුවන් විසින් මෙම ජාවාරම සිදු කර තිබේ. මීගමුව නගරයේ හෝටලයකදී රුපියල් කෝටි දෙකහමාරක් වටිනා මැණික් ගලක් සහ එහි හිමිකරු මෙලෙසින් පැහැර ගෙන ගොස් තිබුනි.
මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සිවු දෙනකු, පැහැර ගත් මැණික් ගල ද සමඟ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 14 දා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව වයික්කාල, හෝමාගම පිටිපන, බංගදෙණිය සහ වඩුමුන්නේගෙදර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මෙහි ප්‍රධාන සැකකරු වන හෝමාගම පිටිපන පදිංචි පුද්ගලයා මැණික් අලෙවි කිරීමේ අතරමැදියකු ලෙස සේවය කරන්නෙකි. ඔහු විසින් කෝටි දෙකහමාරක් වටිනා මැණික් විදේශිකයකුට අලෙවි කිරීම සඳහා මීගමුව හෝටලයට ගෙන්වාගෙන ඇත. අනතුරුව විදේශිකයා නවාතැන් ගෙන සිටින ස්ථානයට මැණික අලෙවි කිරීම සඳහා රැගෙන යන මුවාවෙන් ගෙන ගොස් ව්‍යාපාරිකයාගේ ඒ.ටී.එම් කාඞ් පතකින් රුපියල් 50,000 ක මුදලක් ද ලබාගෙන ඇත.
ඉන් පසුව වයික්කාල ප්‍රදේශයේදී පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ලෙස ව්‍යාජ පුද්ගලයන් සිවු දෙනකු මැණික පැහැරගෙන ගොස් තිබිණි.