Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට වීසා සහනයක් ? අන්තර්ජාලය පුරා පැතිරෙන පුවතේ ඇත්ත මෙන්න!

9549Views

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් නවයකට වීසා සහනයක් ලබා දෙන බවට එක්තරා වෙබ් අඩවියක පළ කර තිබූ පුවතක් පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්වුනා.  AP News නම් වෙබ් අඩවියක් (https://news-ap.com/) විසින් මෙම පුවත පළ කර තිබුනා.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙන වීසා සහන වැඩ සටහන යටතේ වීසා නොමැතිව මාස හයක කාලයකට ව්‍යාපාරික හා සංචාරක කටයුතු සදහා ශ්‍රී ලාංකිකයන්ට එරට රැදී සිටීමට මෙමගින් හැකි බව එම පුවතේ දැක්වුනා. ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් හමුදා කඳවුරක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට ලබා දීම හේතුවෙන් එයට ප්‍රතිඋපකාරයක් වශයෙන් ශ්‍රී ලංකාවට මෙම වීසා සහනය හිමිවන බව එම වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වුනා.

කෙසේ වෙතත් අන්තර්ජාලය පුරා පැතිර යන එම ප්‍රවෘත්තිය අසත්‍යයක් බව වාර්තා වෙනවා. මෙවැනි පුවතක් මින්පෙර මැලේසියාව සම්බන්ධව මෙම වෙබ් අඩවියේම පළවී තිබූ අතර එහිදී එම පුවත පිළිබඳව අදහස් දක්වන මැලේසියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා තිබුනේ එම ලිපිය අසත්‍ය පුවතක් බවට තමන් හඳුනාගෙන ඇති බවයි.

මැලේසියාව සම්බන්ධ අසත්‍ය පුවත පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඇමෙරිකානු ප්‍රකාශකවරයා පවසා තිබුනේ වීසා සහන වැඩසටහන යාවත්කාලීන වීම පිළිබඳ සිය රාජ්‍ය දෙපාර්තමේන්තුව තවමත් දැනුම්දීමක් සිදු නොකළ බවයි. අන්තර්ජාලය පුරා මෙවන් අසත්‍ය පුවත් පවතින බවත් පිළිගත හැකි මුලාශ්‍ර සහිත පුවත් පමණක් විශ්වාස කළ යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනා.