Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"වෙළඳපොළෙ ඇති පෙට්‍රල් ප්‍රමිතිය අඩු බාල පෙට්‍රල් යැයි කීම බොරුවක්" ඛණිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්.!

1052Views

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මුදා හැර තිබෙනා ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමිතියෙන් බාල යැයි පසුගිය දිනවල කටකතා පැතිරුණා. මින්පෙර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඔක්ටේන් 90 පෙට්‍රල්, ඔක්ටේන් 92 වශයෙන් වෙළෙඳපොළෙහි විකුණන බවයි.

කෙසේ වෙතත්  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් එම මාධ්‍ය නිවේදනයට පිළිතුරු සපයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රමිතියෙන් අඩු පෙට්‍රල් විකුණනවා යැයි වන චෝදනා  ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, 90 ඔක්ටේන් 92 වශයෙන් වෙළෙඳ පොළෙහි විකුණන බවට පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සිදු කර ඇතැයි කියන ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව වගකීමෙන් දන්වා සිටී.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ආනයනය සහ නිෂ්පාදනය කරන පෙට‍්‍රල්, ඞීසල් සහ භූමිතෙල් ඇතුළු සියලූ ඉන්ධනයන් නිවැරදි පිරිවිතරයන් හා ප‍්‍රමිතියට අනුකූලව සංස්ථා පිරිපහදු හා සී.පී.එස්.ටී.එල් රසායනාගාරයන්වල පරීක්ෂණයට යටත්ව එහි තත්ත්ව සහතිකයන්ට අනුව වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි. 

තව ද රට පුරා ව්‍යාප්තව ඇති සියලූ ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධනවලින් අහඹු ලෙස ලබා ගන්නා නියැදි රසායනාගාර පරීක්ෂාවන් නොනවත්වා ප‍්‍රධාන කාර්යාලයේ අලෙවි කාර්යාංශය මගින් කි‍්‍රයාත්මක කරයි. ඒ අනුව යම් කිසි ඉන්ධනවල තත්ත්වය සම්බන්ධයෙන් ගැටලූවක් මෙතෙක් වාර්තා වී නොමැත.

ඉන්ධන තත්ත්වයන් පිළිබඳ ගැටලූවක් ඇති නම් සංස්ථාව එහි ප‍්‍රමිතිය පරීක්ෂා කිරීමට අනුගමනය කරන පියවර කිහිපයක් ඇති අතර ඒ පිළිබඳ පූර්ණ දැනුමක් සහිත නිලධාරීන් අප සතුව ඇත.

වෙනත් ආයතනයක ඉන්ධන හල් 3 ක නියැදි පරීක්ෂාවෙන් ලංකාව පුරාම ඇති පෙට‍්‍රල් තත්ත්වයෙන් බාල බව ප‍්‍රකාශ කිරීම නීති විරෝධී කි‍්‍රයාවකි. මෙම නියැදි ලබාගත් ආකාරයවත් ක‍්‍රමවත් දැයි නොදැන පරීක්ෂණ ප‍්‍රතිඵල ගැන යමක් කීම ද අපහසු වනු ඇත. අප නිකුත් කරන ඉන්ධන මහජනතාවට වගකියන රාජ්‍ය ආයතනයක් ලෙස අප විසින් නිකුත් කරනු ලබන්නේ නියම ඉන්ධනය. ඉන්ධන හල් ගබඩාවලදී යම් ආකාර මිශ‍්‍ර කිරීම් සිදුවිය හැක. එසේ කර ඇත්දැයි පරීක්ෂා කරන ක‍්‍රමවේදයක් භාවිතා කරමින් නිවැරදි තීන්දු පමණක් මහජනතාවට පැවසිය යුතුයි. එය සමාජ වගකීමකි.

ඉන්ධන පිළිබඳව කිසිදු දැනුමක් නොමැති මෙවැනි පාර්ශ්වයන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කීර්ති නාමය විනාශ කිරීමේ අරමුණින් සිදුකරනු ලබන මෙවැනි ප‍්‍රකාශ තරයේ හෙළා දකිමි.