Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කිංග්ස්බරි ප‍්‍රහාරකයා ස්වයං බෝම්බකරුවෙක් - අධිකරණය තීරණය කරයි.!

10980Views

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වෙමින් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී බෝම්බ පුපුරුවා ගත් මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් හෙවත් අබ්දුල්ලා නැමැති ත්‍රස්තයා ස්වයං බෝම්බකරුවකු බවට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක ඊයේ (10දා) තීරණය කළේය.

ඉදිරිපත්වූ රස පරීක්‍ෂක වාර්තා හා අනෙකුත් සාක්‍ෂි කෙරෙහි අවධානය යොමුකළ මහෙස්ත‍්‍රාත්වරයා එලෙස තීරණය කළේය.

මෙම බෝම්බකරු සමග සමීපව ඇසුරු කරමින් එකී අපරාධ සඳහා ආධාර අනුබලදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින තවත් සැකකරුවන් දෙදෙනකු ආරක්ෂක ලේකම්වරයා ගෙන් ලබාගත් දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එම බෝම්බකරු සහ අනෙක් සැකකරුවන් දෙදෙනා භාවිත කළ දුරකථන වලට අදාළ තොරතුරු සහ ඔවුන්ගේ බැංකු ගිණුම්වලට අදාළ දත්ත සුරක්‍ෂිතව තබා ගැනීමට පියවර ගන්නා ලෙසටද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී දුරකථන සමාගම් කිහිපයකට හා බැංකු ආයතන කිහිපයකට නියෝග කළේය.