Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලංකා පොදු ප්‍රවාහනයේ පෙරළියක් කරමින් ගූගල් ට්‍රාන්සිට් සේවාව ශ්‍රී ලංකාවට.!

7959Views

මෙරට පොදු ප්‍රවාහන සේවාව භාවිතා කරන ලක්ෂ ගණනක් වන ජනතාවගේ ගමනාගමන විකල්ප වැඩි දියුණු කරමින් ගූගල් ට්‍රාන්සිට් (Google Transit) සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.

ගූගල් ට්‍රාන්සිට් සේවාව යනු ගූගල් සමාගම විසින් සිය පාරිශීලක ජනතාවට නොමිළයේ ලබා දෙන තවත් සේවාවකි. එය ගමනාගමනයේදි නිවැරදි, කෙටි මෙන්ම මාර්ග තදබදය අඩු මාර්ග තෝරා ගැනීමට භාවිතා කරනා ගූගල් මැප්ස් (Google Maps) සේවාවටම අනුබද්ධ සේවාවකි. 

ගූගල් ට්‍රාන්සිට් (Google Transit) සේවාව ගූගල් මැප් සේවාවටත් එහා ගිය පහසුකම් සලසන සේවාවකි. එමගින් ඔබට තෝරාගත් ඕනෑම මාර්ගයක පොදු ප්‍රවාහන විකල්ප පිළිබඳ තොරතුරු ලබාදේ. 

එහිදී පාරිශිලකයන්ට යම්කිසි ගමනාන්තයකට ලඟා වීමට අවශ්‍ය නම් තෝරා ගත් ගමනාන්තයට යා හැකි බස් රථ, දුම්රිය ඒවා ලඟා වෙන හා පිටත් වන වේලාවන් පමණක් නොව එම බස් රථ සහ දුම්රිය නවතා තබනා ස්ථාන පවා මෙම සේවාව මගින් ගූගල් පරිශීලකයන්ට නොමිළයේ ලබා දේ. ලොව පුරා ක්‍රියාත්මක වූ, එහෙත් ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මෙම සේවාව මගින් ඔබගේ ගමන් නියමිත පරිදි සැලසුම් කිරීමෙන් විශාල කාලයක් හා ශ්‍රමයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.

මෙම සේවාව බස්නාහිර පළාත තුල පසුගිය දින ක්‍රියාත්මක වූ අතර ක්‍රමිකව දිවයින පුරාම මෙම සේවාව ක්‍රියාත්මක වීමට නියමිතය.

එමගින් සෑම බස්‍ රථයකටම GPS උපකරණයක් සවිකිරීමටද නියමිතව තිබේ. එමගින් මෙරට පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන ජනතාවට විශාල පහසුවක් මෙන්ම මෙරට පොදු ප්‍රවාහනයේ අඩුපාඩු නිවැරදි කිරීමට අවශ්‍ය තොරතුරු පවා පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත.

ගූගල් ට්‍රාන්සිට් සේවාව ශ්‍රී ලංකාවේ සක්‍රීය කිරීමට අවශ්‍ය තොරතුරු ඇතුලත් කරමින් සක්‍රීය දායකත්වයක් සපයා ඇත්තේ ආචාර්ය දිමන්ත ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි.