Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වැලිකඩ බන්ධනාගාරයට උඩින් ඩ්‍රෝන යානාවක් ගිහින් - වහා පරීක්ෂණ ඇරඹේ.!

1302Views

වැලිකඩ බන්ධනාගාරයට ඉහළින් පසුගිය 19 වැනිදා රාති‍්‍රයේ ඩ්‍රෝන යානාවක් පියාසර කිරීම පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

කොළඹ බේස්ලයින් පාර දෙසින් පැමිණි මෙම ඩ්‍රෝන යානාව වැලිකඩ බන්ධනාගාරයට සහ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට අතරමැදි ප‍්‍රදේශයෙන් වනාතමුල්ල දෙසට ගමන් කර වටයක් කැරකී නැවත බේස්ලයින් පාර දෙසට ගොස් තිබෙන බව වාර්තා වේ.

මෙම සිදුවීමත් සමග බන්ධනාගාර නිලධාරීන් ඒ බව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට සහ ප‍්‍රධාන ජේලර්වරයාට දැනුම් දී ඇති අතර පසුව ඔවුන් පැමිණ අවට අහස පරීක්ෂා කර ඇතත් එම ඩ්‍රෝන යානය සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.

මේ අතර එවැනි ඩ්‍රෝන යානාවක් නැවත පැමිණීයහොත් එය වෙඩි තබා බිම හෙළන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් ලැබී තිබෙන බව වාර්තා වේ.

බන්ධනාගාරගතව සිටින කිසියම් රැඳවියකු ඝාතනය කිරීමට හෝ මත්කුඩු ඇතුළු තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට දැමීම සඳහා අත්හදා බැලීමක් වශයෙන් සංවිධානාත්මක පිරිසක් මෙම ඩ්‍රෝන යානාව බන්ධනාගාරය හරහා පියාසර කෙරුවේද යන්න පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට සැක මතුවී තිබේ.


 

YOU MAY ALSO LIKE