Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

MCC ගිවිසුමට අතුරු තහනමක් ඉල්ලන පෙත්සම් සලකා බැලීම ලබන වසරට කල් තබයි

583Views

ශ්‍රී ලංකාව සහ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය අතර අත්සන් කිරීමට සැලසුම් කර ඇති මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම, සෝපා ගිවිසුම හා ඇක්සා ගිවිසුම අත්සන් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය අගුලුගල්ලේ ජිනානන්ද හිමියන්, නීතිඥ දර්ශන වේරදුවගේ හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගොනු කර තිබූ පෙත්සම් තුන සලකා බැලීම සඳහා ලබන ජනවාරි 31 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13දා) තීරණය කළේය.

බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා හා ගාමිණි අමරසේකර යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ එම පෙත්සම් ඊයේ කැඳවිණි.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇති අගමැතිවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් මේ දක්වා උපදෙස් ලැබී නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පර්සානා ජමීර් මහත්මිය එහිදී පෙන්වා දුන්නාය. සමහර වගඋත්තරකරුවන්ට මේ දක්වා නොතීසි ලැබී නොමැති බවද ඇය පැවසුවාය.

එකී ගිවිසුම් අත්සන් කළහොත් රටේ ස්වෛරීභාවයට හා ජාතික ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් එල්ල විය හැකි බව එහිදී පැවසූ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සෝපා ගිවිසුම අනුව විදේශ හමුදා සාමාජිකයන්ට සිය ගිනි අවි සහිතව රටේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීමේ අයිතිය හිමිවන බවද කියා සිටියේය.

අදාළ වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී ඇතිදැයි සලකා බැලීම හා වගඋත්තරකාර පාර්ශ්වයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණය දැනුවත් කිරීම සඳහා එම පෙත්සම් ලබන දෙසැම්බර් 13 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල එහිදී දින නියම කළහ.