Saturday, December 14, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ස්විස් නිලධාරිනිය ගැන දුන් තොරතුරු පරස්පරයි - ස්විට්සර්ලන්ත තානාපතිට රජය සාක්ෂි සහිතව පෙන්වා දෙයි

1722Views

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගෙන ගිය බවට වන සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ලබාදුන් දත්ත හා සිදුවිමට මුහුණදුන් අදාල නිලධාරිනියගේ එදින ක්‍රියා කලාපය පරස්පර තාවයෙන් යුක්ත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදි හෙළිවු කරුණු සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙලේ නිලධාරින් පිරිසක් ස්විට්සර්ලන්ත තානාපතිවරයාව දැනුවත් කිරිමට පියවර ගත් බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කරන ලද  නිවේදනය පහතින්.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක පසුගිය නොවැම්බර් 25 සඳුදා මුහුණ දුන් බව කියන සාපරාධි සිද්ධිය බරපතළ ලෙස සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කිරීමට වහාම නියෝග කළේය. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්(විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ අදාළ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතා හා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හමුවූ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආර්යසිංහ මහතා පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවල ප්‍රතිඵල ගැන ඔවුන් දැනුවත් කළේය.

ස්විස් තානාපති කාර්යාලය පසුගිය නොවැම්බර් 29 සිකුරාදා ලබාදුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය තමන්වෙත යොමු කරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් කළ ඉල්ලීම ඉටුකිරීමට තානාපති කාර්යාලය ක්‍රියා නොකළ ද විමර්ශනය ඉදිරියට ගෙනයනු ලැබීය. ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද තොරතුරු පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාල වකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව උබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස්(GPS) දත්ත ඇසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වාදෙන ලදී.

නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් ස්විස් දූත කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාර අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවරැදිව හඳුනා ගැනීමට තවදුරටත් විමර්ශන කළ යුතු බව අවධාරණය කෙරිණ. ඒ සඳහා සිද්ධියට මුහුණ පෑ බව කියන කාර්ය මණ්ඩල සාමාජිකාව නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලැබිය යුතුය. සිද්ධියට මුහුණ පෑ බව කියන තැනැත්තිය සිදුවුණාය කියන පැහැර ගැනීමේ දී තමාට තුවාල සිදුවූ බව කියා ඇති බැවින් ඇය ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසින් කරනු ලබන වෛද්‍ය පරික්ෂණයකට භාජනය කළ යුතු බව පෙන්වා දෙන ලදී.

සිදුවුවායි කියන සිද්ධිය සම්බන්ධ යථා තත්ත්වය නිශ්චය කරනු සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන්නැයි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදී.