Saturday, December 14, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඉදිරි මහ මැතිවරණයේදී භික්ෂූන් වහන්සේලාට අපේක්ෂකත්වය නොදෙන ලෙස ඉල්ලීමක්

1396Views

ඉදිරියේදී  මහ මැතිවරණයේදී කිසිදු භික්‍ෂූන්වහන්සේ නමකට අපේක්‍ෂකත්වය ලබානොදෙන ලෙස ත්‍රෛනිකායට අයත් ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන්වහන්සේලා පිරිසක් දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව එහි පළිමු පියවර ලෙස එම ඉල්ලීම පිළිබඳව මෙම ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පිරිස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මූලික දැනුම්දීමක් සිදුකර ඇති බව සඳහන්.

එහිදී පසුගිය කාලසීමාව තුල භික්‍ෂූන්වහන්සේලා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමේ ලද අත්දැකීම් සහ සිදු වූ සිදුවීම් ආදිය විමසිල්ලට ගෙන ඉදිරියේදී කිසිදු භික්‍ෂූන්වහන්සේ නමකට මන්ත්‍රීධුර සඳහා අපේක්‍ෂකත්වය ලබානොදෙන ලෙස උන්වහසේලා ඉල්ලීමක් කර ඇති බවයි සඳහන් වන්නේ.

තවද භික්‍ෂූන් වහන්සේලා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන්, පළාත් සභා හෝ පළාත් පාලන ආයතන සභිකයන් ලෙස කටයුතු කිරීමෙන් බුද්ධශාසනයට හානියක් සිදුවන බවත්, භික්‍ෂූන් වහන්සේලා අනුශාසකයන් ලෙස කටයුතු කළ යුතු බැවින් මන්ත්‍රීධුර දැරීමෙන් එයට බාධාවක් වන බවත් එම ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන් වහන්සේලා පිරිස අගමැතිවරයට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.