Thursday, October 1, 2020
/ - General line - 0115112241 | - [email protected]

ලොව ලාබාලතම අගමැතිනිය ෆින්ලන්තයෙන් බිහි වූ හැටි.!

1757Views

ලොව හොදම අධ්‍යාපන පද්ධතිය ඇති රට බවට ෆින්ලන්තය නම් දරා ඇත. එමෙන්ම ලොව කාන්තාවන්ට ජීවත් වීමට සුදුසුම රටවල් නාම ලේඛනයේදීද ෆින්ලන්තය ඉහලින්ම වැජඹෙයි. මෙකී සියලු කාරණා පසුබිම් වීම නිසාදෝ මේ වනවිට ලොව ලාබාලතම අගමැතිනිය  පසුගිය දහ වනදා ෆින්ලන්තයෙන් තේරී පත් වී ඇත. 

34 වන වියේ පසුවන සන්නා මිරෙල්ලා මරීන් එරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයෙන් ෆින්ලන්තයේ 46 වන අග්‍රාමාත්‍ය ධූරය සදහා (ෆින්ලන්තයේ මෙතෙක් බිහි වූ තුන් වෙනි අගමැතිණිය) තේරී පත් වූවාය. 

1985 නොවැම්බර් මස 16 වන දින ෆින්ලන්තයේ හෙල්සින්කි හි මෙලොව එලිය දකින මරීන් 2004 වසරේ දී "පිරෙක්ලා" උසස් පාසලෙන් තම මූලික අධ්‍යාපනය නිමවයි. තම පවුලෙන් විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ පලමු පුද්ගලයා වූ මරීන් ෆින්ලන්තයේ "ටැම්පෙරා" විශ්වවිද්‍යාලයෙන් 2017 වසරේ දී තම පශ්චාත් උපාධිය ලබා ගන්නට සමත් වූවාය. 

2006 වසරේදී "තරැණ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී" පක්ශයෙන් දේශපාලනයට පිවිසෙන ඇය 2010 වසරේ සිට 2012 වසර දක්වා එම පක්ශයේ උප සභාපති ධූරය හෙබවූවාය. 2008 වසරේ ෆින්ලන්ත පලාත්සභා මැතිවරණයට සහභාගි වුවත් ඇයට එහිදී අවස්ථාවක් හිමිවන්නේ නැත. නැවත 2012 ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඇය එම වසරේදීම ටැම්පෙයාර් නගර සභාවට තේරී පත් විය. 

එවකට වයස අවුරුදු 27 ක් පමණ වූ මරීන්ගේ දේශපාලන දිවියේ හැරවුම් ලක්ශයක් ලෙස මෙම අවස්ථාව හැදින්විය හැකිය. 2013 වසරේ සිට 2017 දක්වා කාලය තුල ඇය ටැම්පෙයාර් නගර සභාවේ සභාපති ධූරය හෙබවීය. 

2015 වසරේදී එනම් ඇයට වයස අවුරුදු 30 ක් වන විට ඇය ප්‍රථම වරට ෆින්ලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වෙයි. ඉන් වසර 4 කට පසු එනම් 2019 ජුනි මස 6 වන දින ෆින්ලන්තයේ ප්‍රවාහන හා සන්නිවේදන ඇමතිවරිය ලෙස තරැණ මරීන් තේරී පත් විය. 

2019 දෙසැම්බර් මාසයේ ෆින්ලන්තයේ හිටපු අගමැති ඇන්ට් රිනේගේ ධූර කාලය අවසන් වනවාත් සමගම එම තනතුර සදහා මරීන් තේරී පත් විය.

කැබිනට් අමාත්‍ය ධූර සදහා වැඩි කාන්තා  නියෝජනයක් ඇති ෆින්ලන්තයේ 46 වන අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු සන්නා මරීන් විසින් ඉදිරියට කරගෙන යනු ඇත. 

එමා දුවණියගෙන් සහ මාකස් සැමියාගෙන් යුත් ආදරණීය පවුලක හිමිකාරිණිය වන මරීන් හට ඇගේ නව තනතුරෙහි කටයුතු නිසියාකාරව සාර්ථකව කරගෙන යාම සදහා ශ්‍රී ලාංකික අපෙන් සුබපැතුම්.