Saturday, August 15, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

කලා කෙත අස්වැද්දූ විශිෂ්ඨ රංගධරයා - ජයලත් මනෝරත්න දිවි ගමනට සමුදෙයි

2507Views

ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.  රෝගාතුරව පසු වූ ඒ මහතා සිය නිවසේ දී අද අලුයම අභාවප්‍රාප්ත වූ අතර  අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ  වයස අවුරුදු 71ක්. මේ වන විට ඔහුගේ දේහය බොරලැස්ගමුව පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරව සදහා තැන්පත් කර තිබෙනවා.

වේදිකා නාට්‍ය රංගනයෙන් සිනමා රංගනයට පිවිසි ජයලත් මනෝරත්න මහතා මෙරට පේ‍්‍රක්‍ෂක හදවත් දිනාගත් විශිෂ්ඨතම රංගන ශිල්පියෙකු වන අතර 1976 වර්ෂයේදී සිනමාවට පිවිසි ඒ මහතා මේ දක්වා චිත‍්‍රපට 40 කට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

හඳයා, සපත් කන්‍යා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනළ තටු, හිරිපොද වැස්ස, බඹර වලල්ල මෙන්ම ප‍්‍රවේගය, හෝගානා පොකුණ, සූම්, ඒලෙවල් සහ ගෝල් ජයලත් මනෝරත්න මහතා සිය රංග ප‍්‍රතිභාව විදහා දැක්වූ ජනපි‍්‍රය චිත‍්‍රපටවලින් කිහිපයක්.

එසේම බෝඩිම, දූදරුවෝ, මඩොල්දූව, වීදුරුමල්, කන්දෙගෙදර ඇරතුළු ටෙලිනාට්‍ය 35 කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදුන් ජයලත් මනෝරත්න මහතා ඒ ඔස්සේ මෙරට බොහෝ ප්‍රක්ෂකයින්ගේ සිත්සතන් දිනාගැනීඹට සමත් වුනා.

තවද වේදිකා නාට්‍ය 37කට අධික ප්‍රමාණයක් සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් ඔහු බොහෝ දෙනාගේ ජනාදරයට පාත‍්‍ර වූ අතර සිංහබාහු, මනමේ, නරිබෑනා, රතු හැට්ටකාරී, ගුරු තරුව, අන්දරේලා යන වේදිකා නාට්‍ය ඔහු රංගනයෙන් දායක වූ ජනප්‍රිය වේදිකා නාට්‍ය කිහිපයක්.

ජයලත් මනෝරත්න මහතා  සිය රංග ප‍්‍රතිභාව වෙනුවෙන්  ජනාධිපති සිනමා සම්මාන, සරසවි, රයිගම් සහ සුමති සම්මානවලින් අවස්ථා කිහිපයකදීම පිදුම් ලැබුවා. ඒ අනුව 2004, 2007 සහ 2015 යන වර්ෂවල පැවති සරසවි සිනමා සම්මාන උළලේදී දක්‍ෂතම සහය නළුවාට හිමි සම්මාන දිනා ගැනීමට ජයලත් මනෝරත්න මහතා සමත් වූ අතර 2002 සුමත් සම්මාන උළලේ සහ 2009 රයිගම් ටෙලීස් සම්මාන උළලේ දක්‍ෂතම නළුවාට හිමි සම්මාන හිමි කර ගැනීමටද ඔහු සමත් වුනා.