Wednesday, October 21, 2020
/ - General line - 0115112241 | - [email protected]

ඕස්ට්‍රේලියාවේ ඔටුවන් වගේ ලංකාවේ මොණරුන් මරා දමන්න ඕනෑලු

12507Views

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගොවියෙකු ගිය සතියේ සියදිවි නසාගත්තේය. එහෙත් එම සියදිවි නසාගැනීමෙහි විශේෂත්වය වන්නේ, ඊට බලපෑ කාරණය ණය ප්‍රශ්නයක් හෝ පවුලේ ප්‍රශ්නයක් නොවීම ය. ණය ප්‍රශ්නයකුත් නොවූ, පවුල් ප්‍රශ්නයකුත් නොවූ සැබෑ ප්‍රශ්නය ‘මොනර රංචුවක් පිළිබඳ ප්‍රශ්නයක්’ විය. ඒඅනුව පුවතට අදාළ සිදුවීම වන්නේ 2020 ජනවාරි පළමුවැනිදා ය.

මොනර ගහනය වැඩිවීම තර්ජනයක් නම් හොඳම විසඳුම මරණ එක තමයි

කුරුලු විශේෂඥ, මහාචාර්ය සරත් කොටගම

මොනරාගෙ ප්‍රශ්න කිහිපයක් තියෙනවා… එකක් තමයි කලින් වියළි කලාපෙට විතරක් සීමා වෙලා හිටපු මොනරා දැන් අතරමැදි සහ තෙත් කලාපයටත් බෝ වෙලා තියෙන එක… මෙහෙම වෙලා තියෙන්නෙ ලංකාවේ පැහැදිලි දේශගුණ විපර්යාසයක් වෙලා තියෙන හින්දා… අනෙක් අතට නරියා වගේ විලෝපිකයො අඩුවෙලා තියෙන හින්දත් මොනරු වැඩිවෙලා තියෙන්න පුළුවන්… නමුත් මේ වැඩිවීම කොච්චරක්ද කියන එක තවම කියන්න බැහැ… මොකද ඒ ගැන කිසිම සමීක්ෂණයක් වෙලා නැති හින්දා…

දැන් මේ දවස් වල ඔස්ට්‍රේලියාවෙත් ‘ඔටු ප්‍රශ්නයක්’ තියෙන බව දැන් හැමෝම දන්නවා… ඔටුවා ඔස්ට්‍රේලියාවෙන් පැවත එන සතෙකුත් නෙවෙයි… ඔස්ට්‍රේලියාවෙ ඉන්න ඔටුවො කියන්නෙ මැදපෙරදිගින් ගොවිපොළවල්වලට ගෙනල්ලා ඒවායින් බෝවෙච්චි සත්තු… මේ ඔටු ගහනය වැඩිවීම තර්ජනයක් විදියට දැනුනම ඔස්ට්‍රේලියාව ඔටුවො 10,000 ක් විතර වෙඩිතියල මරල දැම්මා… ඔස්ට්‍රේලියාව විතරක් නෙවෙයි මේක ලෝකෙ අනෙකුත් රටවලුත් කරන දෙයක්… මේකට කියන්නෙ Culling කියලා…

මොනරු වුණත් වැඩිනං Culling කළාට වරදක් නෑ…

කුරහන් හේනේ පරිස්සමට ඊටම යාබද වූ පැල් කොටයක තනිවම ජීවත් වන මුතුබණ්ඩාගේ සෝමදාස ද එදින උදෑසනින්ම අවදි වී කැකුළු සහල් හුණ්ඩුවක් ගරා මුට්ටියක දමා කිරිබතක් උයමින් සිටියේය. කිරිබතට පොල් ගාන ගමන්, දොර පැලැල්ලෙන් එබි එබී කුරක්කන් හේනේ වග විස්තර ද බැලුවේ ය. එවිට තම දරුවන් මෙන් රැකබලන කුරක්කන් යාය වසා සිටි මොනර රංචුව සෝමදාසගේ ඇස ගැටු‍ණේ ය.

කුරක්කන පාළු කරන මොනරු දැකීමම සෝමදාසගේ ඇස් වලට දෙබරු අනින්නාක් තරම් වේදනාකාරී වූ නිසාදෝ ඔහු අතේ වූ පොල්බෑය ද අතහැර කුරක්කන මැද්දට දිව්වේය. මෙහිදී කුරක්කනේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා දිව යද්දී මුල් කෙළවර නැවතත් මොනරුන්ගේ ආක්‍රමණයට නතුවීම සෝමදාසගේ කේන්තිය තව තවත් අවුළුවාලන්නට ඇත.

කුරක්කන හරහා කිහිප විටක් එහා මෙහා දිව යාමෙන් හෙම්බත් වූ හැටහත් හැවිරිදි සෝමදාස යළිත් පැල්කොටයට එන්නට ඇත්තේ අවුරුද්දේ පළමුදා උදේ පාන්දරම ගිය කේන්තිය ගැන ද කේන්තියෙන් විය යුතුය. ඒ වන විටත් ලිප මත වූ කිරිබත් මුට්ටිය, අඟුරු මුට්ටියක් වී තිබෙණු දැකීමෙන් ඔහුගේ ඉවසීමේ සීමාව රතු කට්ට පැන්නා විය හැකිය. එසේ නොවන්නට ලිප මුල තිබෙන බූමිතෙල් බෝතලයම ඇඟ මත හලාගෙන සරමට ගිනි තියාගන්නේ නැත.

හිතට ආ කේන්තියට ඇඟට ගිනි තියාගත්තත්, සෝමදාසට හිටි අඩියේ මැරෙන්නට වුවමනාවක් නොතිබෙන්නට ඇත. ඇඟ පුරා ගිනි ඇවිලෙද්දී ඔහු මයිල වැවේ පනින්නේ ඒ නිසා විය යුතුය. ඉන් අනතුරුව සෝමදාගේම දරුදෙදෙනාගේ සහ ඥාති හිතවතුන්ගේ මැදිහත්වීමෙන් මයිලවැවෙන් ගොඩ ගැනෙන සෝමදාස මුලින්ම ගලෙන්බිඳුණුවැව රෝහලටත් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතත් මාරු කර යැවෙන්නේය. ඉන් අනතුරුව දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ මැෂින් වල පිහිටෙන් පණ නළ අල්ලා හිටින සෝමදාස ඉකුත් සෙනසුරාදාවේ අවසන් හුස්ම හෙළුවේය.

කෙසේ වෙතත් සෝමදාසගේ මරණයෙන් පසුව ගලෙන්බිඳුණු වැව පැත්තේ මිනිසුන්ට නම් ‘මොනරුන්’ පෙනෙනවා ඇත්තේ ‘මරුවන්’සේ ය.

‘‘සෝමදාසගෙ මරණෙ වුණා නැතා, කොහොමත් මොනරා මරුවා තමා… කොළඹ පැත්තෙ මිනිස්සුන්ට මිසක්වා අපට නම් දැන් මොනරු පේන්න බෑ… වී ද, කුරක්න් ද, බඩඉරිඟු ද, මුං ද, කව්පි ද, බටු ද, මිරිස් ද, මෑකරල් ද, කොමඩු ද කියල කිසිම වෙනසක් නෑ… ඇටවර්ග ද, එළවළු ද, පලතුරු ද හැම දේම කාලා වනසනවා… හැම බෝගයකම පිපෙන මලේ ඉඳලා, පූදින බෝගයේ ඉඳලා, පැහෙන බෝගය දක්වාම කනවා… එකවර විස්ස විසිපහ රංචුව පිටින් ඇවිල්ල තමයි කුඹුරු එහෙම පිටින්ම පිදුරු කරලා යන්නෙ…’’

ගලෙන්බිඳුණුවැව හුරුළුවේ ගොවි පදනමේ සභාපති එස්. තිලකසිරි  කීවේ ය.

තිලකසිරිලා කියන හැටියට යාල හෝ විල්පත්තුවේ කැලේ ගොස් ‘මොනර නැටුම්’ බලා සතුටු වූ කාලය අවසන් වී ඇත. මොනරුන් ගම්මැද්දටම ඇවිත් ‘යකා නටන’ කාලය උද්ගත වී ඇත. ඒ අනුව මොනරා මේ වන විටත් ගොවියන්ගේ සතුරු සතුන්ගේ ලැයිස්තුවේ මුලම අංකයකට පැමිණ ඇත. එක් අතකින් ගොවියන්ගේ සතුරෙකු ලෙස මොනරා මේ තරම් පෙරමුණට එන්නේ, මොනරා විසින් හානි කරන වගාවන්ගේ ලැයිස්තුව ‘දිග’ නිසාය. තිලකසිරිලා ද කියන හැටියට වී, කුරක්කන් ඇතුළු ධාන්‍ය ඇට බෝග හැම එකක්මත්, හැම එළවළුවක්මත්, හැම පළතුරක්මත් ‘උන්ගේ කෑම’ ය. ධාන්‍ය ඇට කරල්පිටින් කද්දී, කොමඩු වට්ටක්කා වැනි විශාල එළවළු පළතුරු මොනරුන්ගේ ආහාර බවට පත්වන්නේ මල් කාලයේදීය. නැත්නම් ඇට වලින් පළමු පත්‍ර දෙක තුන මෝදු වන ‘ළපටි අංකුර කාලයේ’දී ය. අපේ කටට සැර ‘මිරිස්’ මොනරුන්ගේ ප්‍රියතම ආහාරයකි. මොනරු මිරිස් කරල් පොකුරු පිටින් කන්නේ එහෙයිනි.

අනෙක් අතට ගොවීන් පවසන ආකාරයට මොනරා ගිරවා මෙන් සියගුණයක් හානිකරය. එක් අතකින් ඒ ගිරා බඩකට වඩා මොනර බඩ විශාල නිසාය. අනෙක් අතට ගිරවුන්ගේ කෑම උදේට සහ සවසට සීමා වෙද්දී මොනරා උදේ පටන් රෑ වෙන තුරු මහ දවාලේත් කුඹුරු සහ හේන් වනසන නිසාය.

‘‘ගිරවුන්ගෙන් කුඹුරු රකින කාලෙ අපි කුඹුරට යන්නෙ උදේටයි හැන්දෑවටයි විතරයි… මොකද ගිරා රංචු එන්නෙ ඒ වෙලාවල් දෙකේ විතරයි… ඉතිං උදේ ළමයි ඉස්කෝලෙ යන වෙලාවට අපිත් කුඹුරු වලට බහිනවා… ඊට පස්සෙ ටක ගහලා හරි අප්පුඩි ගහලා හරි ගිරවු එළව ගන්නවා… හැන්දෑවට අපේ ළමයි, කොල්ලො කුරුට්ටො කුඹුරට ගිහින් කෑකෝ ගහන කොට ගිරව් යනවා… මොණරු එහෙම නෑ… උදෙත් එනවා… හවසත් එනවා… මහදවාලෙ හැම වෙලාවකමත් එනවා… ඉතිං අපි උන්ගෙන් කුඹුරු රකින්න නං හැම පැයේම කුඹුරුවල ඉන්න ඕන… ඕක ඉතින් කරන්න පුළුවන් දෙයක්යැ… අනික මොනරු විස්සක් විතර ඇවිල්ල කුඹුරක වහල ටිකක් එහා මෙහා වුණත් පැළ වැටෙනවා… කිරිවැදිච්ච වී කරලත් එහෙම පිටින් සූරලාම හොටේ ඇතුළට දාගන්නවා…’’

රඹෑවේ බාලසූරිය ගොවි මහතා  කීවේ ය.

‘‘මොණරා කරන තවත් වැඩක් තමයි, රංචු පිටින් එළවළු මැහි වල වහලා ඒවා කඩා පාත් කරන එක… සමහරවිට එක මොණරෙක් කිලෝ පහළවක් විස්සක් බරයි… උන් දෙන්නෙක් තුන්දෙනෙක් පතෝල හරි වැටකොළු හරි මැස්සක වහපු ගමන්, උන්ගෙ බරට මැස්ස පිටින්ම කඩාපාත් වෙනවා… අපිටත් මේ වැඩේ අනන්ත අප්‍රමාණ වෙලා තියෙනවා…’’

හිඟුරක්කොඩ ජයතිස්ස ගොවි මහතා කීවේ ය.

කෙසේවෙතත් ගොවීන්ට ඇති ලොකුම ගැටලුව වන්නේ, මොනරා, ‘මරුවෙකු’ බව දැන දැනත් ඔවුන්ට මොණරුන් අල්ලන්ට හෝ මරාදමන්නට නොහැකිවීමය. එක් අතකින් මොනරා ශරීර ප්‍රමාණයෙන් විශාල නිසාය. අනෙක් අතට මොනරා කතරගම දෙයියන්ගේ වාහනය ලෙස සැලකෙන නිසාය.

‘‘සමහරු මොනරුන්ට තංගුස් මද්දක් දානවා… එතකොට කකා ඇවිදින මොනරගෙ කකුල් හරි බොටුව හරි ඒකෙ හිරවෙනවා… ඒ වුණාට මොනරා කොහොමහරි දඟලලා ඒක කඩාගෙන යනවා… සාමාන්‍යයෙන් වළිකුකුලෙක් අහුවෙන මන්දටවත් මොනරා අහන්නෙ නෑ… උගේ ඇඟ හයිය හින්දා… අනෙක් අතට කවුරුත් මොනරට වහ දෙන්න එහෙම බයයි… මොකද කතරගම දෙයියන්ගෙ වාහනේ කියනවනෙ… ඉස්සර කාලෙ අපේ ගම් පළාත් වල මොනර මස් කාපු මිනිස්සු වමනෙ ගිහින් මැරිලත් තියෙනවා… ඉතිං මිනිස්සු මොනරුන්ට වෙඩියක්වත් තියන්න බයයි… ’’යැයි කීවේ රඹෑවේ සුසිලා රත්නායක ය.

එහෙත් ඇතැම් පළාත් වල මේ වන විටත්, මොනරුන්ට ද ‘කුරේට ඇට’ දමන බව දැනගන්නට තිබේ. මේ අතර ‘වෙනත් වස වර්ග’ කැප්සියුල වලට දමා ඒවා පාන්පිටි වලින් ඔතා හේන් වල තබන බව ද ඇතැම් පළාත් වලින් වාර්තා වේ. මේවා කන මොනරු ඉගිළ ගොස් තැන් තැන් වල මැරී වැටෙනු ද ඇතැම් ගම්වැසියන්ගේ නිරීක්ෂණය වී තිබේ.

‘‘සමහර වෙලාවට කැලේ තැන් තැන් වල කතරගම දෙයියන්ගෙ වාහන පාක් කරලා තියෙනවා අපිත් දැකල තියෙනවා… ඒවා නං පවුකාරයින්ගෙ වැඩ… එහෙම වෙන්නෙ වහ දෙන හින්දා තමයි… හැබැයි ඉස්සර ඉඳන්ම අපේ ගම් පළාත් වල ‘සෙබඩයි’ නං කනවා… සෙබඩ ඉතිං ගෑනු සතානෙ… දෙයියන්ගෙ වාහනේ වෙන්නෙ මොනරනෙ…’’

රඹෑවේ සුසිලා රත්නායක වැඩිදුරටත් කීවා ය.

කෙසේවෙතත් මේ ආකාරයට ‘මොනරුන් ඉතිරි කර සෙබඩුන් මරා කෑම’ පිළිබඳ තතු විස්තර ප්‍රසිද්ධියට පත්වුවහොත් එය සත්ත්ව අවිහිංසාවාදීන්ගේ මතු නොව, ස්ත්‍රීවාදීන්ගේ ද දැඩි දෝෂ දර්ශනයට ලක්වීම නොවැළැක්විය හැකි වනු ඇත.

මෙහිලා ‘කතරගම දෙවියන්ගේ වාහනය ලෙසින් සැලකුම් ලැබීම’ ද මොණරා විෂයෙහි ‘කදිම රක්ෂණාවරණයක්’ වී ඇති බව පෙනේ. ඒ අනුව එය අපේ රටේ මොනර ගහනය කිසිදු අවහිරයකින් තොරව වර්ධනය වීමට ඉතා ප්‍රබල හේතුවක් වී ඇතිබව ද සහතිකය.

මේ අතර අලින්, රිලවුන්, වල් ඌරන්, දඬුලේනුන් සහ මොනරුන් එක්ව මේ රටේ වගාවෙන් ලැබෙන ඵලදාව හරි අඩක් පමණ විනාශ කරන බවද මේ වන විට සොයාගෙන තිබේ. ඒ 2017 වර්ෂයේදී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර් යේෂණායතනය ග්‍රාම නිලධාරී වසම් 46 ක් ආශ්‍රිතව කරන ලද සමීක්ෂණයකිනි. එම සමීක්ෂණයේ සොයාගැනීම් අනුව වී, බඩඉරිඟු, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග මෙන්ම එළවළු සහ පලතුරු අස්වැන්නෙන් 40%ක් පමණ පොදුවේ මොනරුන් ඇතුළු අනෙකුත් සතුන් විසින් කා දමන බවය. එනම් සෑම මිරිස් ගෝනි 10 කින්ම 4 ක්, සෑම වී මළු 10 කින්ම 4 ක්, සෑම කුරක්කන් ගෝනි 10 කින්ම 4 ක්ම කා දමා ඇත්තේ සතුන් ය.

මෙහිදී මෙහි බලවත්ම පාඩුව විඳදරාගතයුත්තේ ගොවියාය. ඒ අනුව දැන් මෙම ප්‍රශ්නය සෝමදාස වැන්නවුන්ට ජීවිතය එපා කරවන තරම් බලපෑම්සහගත වී ඇති බව පෙනේ. පෑවිල්ලෙන් හෝ ගංවතුරෙන් වන හානිවලදී වන්දි ගෙවන ක්‍රමවේදයන් තිබුණත්, සතුන්ගෙන් වන හානිවලට වන්දි ගෙවන ක්‍රමවේදයක් නැති බැවින් ගොවීන්ට කිසිසේත්ම මෙවැනි ‘පාඩු’ පිරිමසාගතහැකි ක්‍රමවේදයක් ද නැත. මේ අතර රුපියල් පනස් දහසක් පමණ වැය කර වායු රයිෆල් මිලදී ගැනීමට හැම ගොවියෙකුටම හැකියාවක් නැත. එමෙන්ම දවල් කාලයේ හැම වෙලාවකම වගා හානි කරන මොනරුන්ට රතිඤ්ඤා දැමීම ද පහසු නැත.

මේ අතර කලින් වියළි කලාපයට පමණක් සීමා වී සිටි මොනරා දැන් දැන් අතරමැදි කලාපයේ මෙන්ම තෙත් කලාපයේ ගම්පහ, ගාල්ල, කළුතර වැනි ප්‍රදේශ වලට ද තර්ජනයක් වී තිබීමෙන් ද ‘මොනරාගේ තර්ජනයේ’ බලපෑම තව තවත් දැඩි වී තිබේ. එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව වැනි පිවිසුම් වල පවා ‘මොනරාගෙන් ප්‍රවේසම් වීම’ට අදාළ උපදෙස් පුවරු ද සවි කර තබන්නට සිදුවී තිබේ. ඒ අධිවේගී මාර්ග හරහා ද නිතර නිතරම මොනරුන් හුවමාරු වීම සුලබ දසුනක් වී ඇති නිසා ය. එපමණක් ද නොව, මොනර රංචු වැසීම නිසා ඇතැම් උළු වහලවල්වල උළු කැට එහා මෙහා වීම මෙන්ම පොල්අතු සෙවෙළිකළ වහලවල් කඩා වැටීම් නිතර නිතර වාර්තා වේ.

එක් අතකට ‘මෙකී මොනර තර්ජනය’ මෙසේ ද අර්ථකතනය කළ හැක.

අධිවේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘති හරහා මොනරා ගේ නිජභූමි මිනිසා වෙතින් ආක්‍රමණය වීමත්, ඊට ප්‍රතික්‍රියාවක් වශයෙන් මොනරා ගම් වැදීමත් සිදුවී ඇති බවටය. එහෙත් අනෙක් අතට මොනරුන්ට බයේ සංවර්ධන ව්‍යාපෘති නතර කරන්නට ද නොහැකිය. ඒ අනුව ‘මොනර ප්‍රශ්නයට’ ප්‍රායෝගික විසඳුමක් ඉතා ඉක්මනින්ම ලැබිය යුතුමය.

සුරේඛා සමරසේන