Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

වෛද්‍යවරුන් 150ක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රාජකාරී කරන්න ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙයි...!

1422Views

මේ වනවිට ව්‍යප්ත වෙමින් පවතින කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ෂක අංශද විශාල කාර්‍යභාරයක් සිදුකරමින් සිටිනවා. එවැනි අවස්ථාවක  බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති ඌව පළාතේ එකම කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රාජකාරී සදහා එම රෝහලේ වෛද්‍යවරුන් 150 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින බව වාර්තා වනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බදුල්ල පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය, කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙම වෛද්‍යවරුන් 150 දෙනා විවිධ ඒකකවලට අනියුක්තව කටයුතු කරන වෛද්‍යවරුන් බවත්, ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදී කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු කිරීමට කැමැත්ත පලකර තිබෙන බවත්ය.

එසේම අදාළ වෛද්‍යවරුන් මධ්‍යස්ථානයේ රාජකාරි අවසන් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා යොමු වන බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර තවත් ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් ද මෙම පිළිවෙත අනුගමනය කරමින් සිටින බවත් සියළු රෝහල්වල වෛද්‍යවරුන් මෙය සාමූහික වගකීමක් සේ සලකමින් කටයුතු කරන්නේ කරන්නේ නම් ඉතා කෙටි කලකින් කොවිඩ් 19 වෛරසයෙන් සමාජය බේරා ගත හැකි බව ප්‍රකාශ කළ ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ රෝහලේ වෛද්‍යවරුන් දක්වා ඇති ස්වේච්ඡා දායකත්වය නිසාවෙන් අනෙකුත් රෝගී සත්කාර කටයුතුවලට කිසිදු හානියක් සිදුනොවන බවයි.