Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ජනපතිතුමනි..අපේ රැකියා බේරා දෙන්න" - කොරියාවේ සිට පැමිණි තරුණයින් 500 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ! (EXCLUSIVE)

7661Views

දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ රැකියා අවස්ථා අහිමි වීමේ අවධානමක් මේ වනවිට මතුව තිබෙනවා.

දැනට 500 කට ආසන්න තරුණයින් පිරිසක් නිවාඩුවට මෙරටට පැමිණ සිටින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ පැමිණි අයයි.මේ වන විට ඉන් බහුතරය ස්වයං නිරෝධනයට ලක් වී  එය සාර්ථකව අවසන් කල බවට වූ සහතිකයද ලබා ගෙන තිබෙනවා.

නමුත් මේ වන විට ඔවුන් රැකියාවල නිරතවන සේවා ආයතන විසින් දැනුම් දී ඇත්තේ ආයතනික අවශ්‍යතාවයන් මත  වහාම යළි සේවයට වාර්තා කරන ලෙසටයි.

කොරියන් කම්කරු නීතියට අනුව යම් සේවකයෙකු,සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව  අදාළ ආයතනය විසින් එරට කම්කරු කාර්‍යාලයට ලිපියක් යොමුකරන අතර එම කාර්යාලයෙන් ලබා දෙන ලිපිය දින 28 ක් ඇතුලත අදාළ සේවකයා විසින් ලබා ගත යුතු වෙනවා.

නොඑසේනම් එම සේවකයාට දකුණු කොරියාවෙන් රැකියාවක් ලබා ගැනීම තබා වීසා ගැනීමටද අපහසු තත්වයක් උද්ගත වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ඇතැම් සේවකයින්හට අදාළ ආයතන නිවාඩු ලබා නොදීම නිසා ඔවුන් තමන් රාජකාරි කල ආයතනවලින් ඉල්ලා අස් වී පැමිණ තිබෙන අතර එරට නීතියට අනුව දින 90 ක් තුලදී නව රැකියාවක් සොයා ගත යුතු වෙනවා.

එහෙත් ඉහත කරුණු දෙකටම මුහුණ පා ඇති සියලූම සේවකයින්ගේ රැකියා අවස්ථා අහෝසි වීමේ අවදානමක් මේ වන විට ඇතිව තිබෙන බවයි මෙම ශ්‍රමිකයින් පෙන්වා දෙන්නේ.අදාළ දින සීමාව නුදුරේදීම ඉක්මවා යෑම එයට හේතුවයි.

මේ වන විට  මෙරටින් දකුණු කොරියාව බලා කිසිඳු ගුවන් යානයක් ගමන් නොකිරීම නිසා මෙරටට පැමිණි කිසිම තරුණයෙකුට කොරියාව බලා යාමට අවස්තාවක් නොමැති බවයි එම තරුණයින් ප්‍රකාශ කරන්නේ.

දැනට එවැනි පහසුකමක් ඇත්තේ එක් ගුවන් සේවා සමාගමක පමණක්  වන අතර කොළඹ සිට කොරියාවට "යාමට" පමණක් ඔවුන්ගේ ටිකට්පතක මිල රුපියල් ලක්ෂ තුනකට ආසන්නයි.

එමෙන්ම එය පැය 24 කට ආසන්න කාලයක් කටාර් හි රැදී සිටින අතර එම කාලසීමාව තුල අවශ්‍ය නවාතැන් හෝ වෙනත් කිසිම පහසුකමක් ඔවුන් විසින් සිය ගුවන් මගීන්ට ලබා දෙන්නේ නැහැ.

එබැවින් එම ගුවන් සේවයේ පහසුකම ලබා ගැනීමට තරම් බොහෝ දෙනාට වත්කමක් නොමැති අතර,ඇතැම් ශ්‍රමිකයින් දීර්ඝ කාලීන වීසා  සඳහා අවශ්‍ය ඉතුරුම් මුදල් එරට බැංකුවල තැන්පත් කර තිබෙන අතර දැන් එවාද ලබා ගත නොහැකි තත්වයක් මතු වී තිබෙනවා.

එබැවින් මෙරට රැඳී සිටින දකුණු කොරියානු ශ්‍රමිකයින් ඉල්ලා සිටින්නේ 500 කට ආසන්න පිරිසෙන් බහුතරයක් මෙම ගැටලුවට මුහුණ පා ඇති බැවින් ඔවුනට දිවයිනෙන් පිටත් වීම සඳහා හෝ ගුවන් යානයක් ලබා දෙන ලෙසයි.අවශ්‍යනම් වැඩි මිලකට හෝ ටිකට් පත් ලබා ගැනීමට තමන් සූදානම් බවද ඔවුන් කියා සිටිනවා.

මෙම රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට අහිමිවුවහොත් එම අවස්ථාව වෙනත් රටකට ලැබෙන අතර එවිට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත විදේශ විනිමයටද එය සැලකියයුතු ලෙස බලපෑමක් එල්ල කරනු ලබනවා.

මේ වන විට දකුණු කොරියාවේ අදාළ ප්‍රදේශවල කොරෝනා අවධානම අවම තත්වයක පවතින බවයි ඔවුන් කියා සිටින්නේ.

එබැවින් තමාගේ මෙම ප්‍රශ්නය කෙරෙහි සංවේදීවන ලෙසට ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනු ලබනවා.