Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

විවාහ උත්සවයකට උපරිම 100 දෙනයි - කොරෝනා තත්ත්වය අවසන් වන තුරු විවාහ උත්සව පැවැත්විය යුත්තේ මෙහෙමයි

1296Views

රට තුල කොරෝනා ව්‍යාප්තිය අවසන් වන තුරු පැවැත්වෙන විවාහ මංගල උත්සව සදහා සහභාගී කරවා ගත හැක්කේ උත්සවය පැවැත්වෙන ශාලාවේ ධාරිතාවයෙන් 40%ක් පමණක් වන බවත්,  සහභාගී වන උපරිම පිරිස 100කට සීමා කළ යුතු බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්‍ෂිතතා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලක්‍ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව උත්සවය පැවැත්වෙන ශාලාවට 100 දෙනෙකුට වඩා වැඩි පිරිසක් ඇතුළු කරගැනීම නීති විරෝධී බවත්, එලෙස 100 දෙනෙකු සහභාගී කරවා ගැනීමේදීද ශාලාවේ ප‍්‍රමාණවත් ඉඩකඩක් තිබිය යුතු බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළා.

නිරෝධායන පනතට අනුව නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමග සාකච්ඡා කර මෙම තීරණය ගෙන තිබෙනවා.

උත්සවයට සහභාගී වූ අයකුට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වුවහොත් එයට එක්වූ පිරිස හදුනාගැනීමේ හා නිරෝධායන කටයුතුවලට යොමු කරවීමේ පහසුව සළකා මෙම පියවර ගෙන ඇති අතර පවතින තත්ත්වය අනුව විවාහ උත්සව පැවැත්වීමේදී මතුවන ගැටලූ සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගෙන් විමසා කටයුතු කිරීම වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.

එසේම විවාහ උත්සව ආදී උත්සව පැවැත්වෙන ශාලාවල ගෘහ භාණ්ඩ පිරිසිදු කර විෂබීජහරණය කිරීම, ශාලාවට ඇතුළු වන ස්ථානයේ අමුත්තන්ට දෑත් සෙදීමේ පහසුකම් සැලසීම, එම ජලකරාම වැලමිටින් හෝ පාදයෙන් ක‍්‍රියා කරවිය හැකි ඒවා වීම, ශාලාවට ඇතුළුවීමට පෙර සියලූ අමුත්තන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්‍ෂා කිරීම, සියලූ අවස්ථාවලදී අමුත්තන් අතර මීටරයක පරතරයක් පවත්වා ගැනීම, උත්සව ශාලාව ප‍්‍රමාණවත් වාතාශ‍්‍රයක් ලැබෙන සේ සැකසීම, සිපගැනීම සහ අතට අතදීමෙන් වැළකීම, වීදුරු පිගන්, හැදි ආදිය අමුත්තන්ට හවුලේ භාවිතා කිරීමට නොදීම, ආහාර බුෆේ ආකාරයට ඇතිවිට ඒවා බෙදාදීම සදහා වෙනම සේවකයන් පත්කිරීම, කණ්ඩායම් වශයෙන් ඡායාරූප ගැනීමෙන් වැළකීම, උත්සවය අවසානයේදී ශාලාව පිරිසිදු කර විෂබීජහරණය කිරීම, අමුත්තන් ද නිවෙස්වලට ගිය වහාම පිරිසිදුවීම ආදී පියවර අනුගමනය කළ යුතු බව ද ඔහු සදහන් කළා.