Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ගෙවල් වල විසි කරන කුණු වලින් ගමේ පාසල පන්සල එළිය කරන යෝජනාවක්

1747Views

ඊයේ දවසෙම හෝමාගම ආසනය පුරාවට ඇවිදලා ගෙදර එද්දි මහ රෑ 12 ටත් කිට්ටුයි.ගතට විඩාවක් දැනුනත් හිතට ඒ විඩාව නොදැනෙන්නේ මිනිස්සු අතරෙම ඉන්න නිසා වෙන්න ඇති.පරම්පරාවෙන් දේශපාලකයෙක් නොවුන මට මේ අත්දැකීම විඳින්න ලැබුනේ පසුගිය වසරක් වගේ කාලයක් ඇතුලත.

මේ ගමනෙදි හරිම අපූරු මිනිසුන් හමුවෙනවා.ඊයේ දවසෙදි ඒ වගේ ආදරණීය චරිතයක් හමුවුනා.

ඇය මවක්..දරුවන් තුන් දෙනෙක්ගේ ආදරණීය මවක්. පුද්ගලික ආයතනයක සේවය කරන ඇගේ රැකියාව නගරයේ කසල ඉවත් කර නගරය පිරිසිදු කිරීම..ඇය අවුවෙ වැස්සේ මහ පාරේ කසල ඉවත් කරන්නේ මහා මන්දිර තනා ගන්න නෙවෙයි.තමන්ගෙ දරුවෝ තුන් දෙනා උස් මහත් කරලා ඒ අයට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නයි.

ඇය හිටියෙ බොහොම පුංචි ගෙදරක.කටු මැටි ගැහුවෙ නැතත් ඒ ගෙදර අඩු පාඩු කම් නම් බොහොමයි.ඒත් ඇගේ උත්සාහය නිසාම දරුවෝ ටිකත් එක්කම ඒ ගෙදර බිත්ති හතරත් ටිකෙන් ටික උස් මහත් වෙනවා.මොකද ඇගේ හිත ඒ තරමටම හයියයි.

ඊයේ ගෙදර ඇවිල්ලත් මම කල්පනා කරේ ඇය වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන්ද කියන එක.අන්තිමෙදි මට එක දෙයක් හිතුනා.ඇගේ උත්සාහයට රටක් විදිහට අපිට වටිනාකමක් දෙන්න පුලුවන්නම් කොයි තරම් දෙයක්ද.

ඇයට මහ පාරට වෙලා කුණු එකතු කරන්න වෙන්නේ ,අපි මහ පාරට කුණු දාන නිසා.මහ පාරට නැතත් අපි කොහොමින් කොහොම හරි අපේ කුණු ටික අන්තිමට දාන්නේ නිවසෙන් එළියට.එහෙමත් නැතිනම් ඔෆිස් එකෙන් එළියට.කුණු දාන්න එපා කියන එක ප්‍රායෝගික නැත්තේ,
"එහෙමනම් මේ එකතු වෙන කුණු වලට මොකද කරන්නේ? "
කියන ප්‍රශ්නයට දෙන්න උත්තරයක් නැති නිසා.

කුණු ප්‍රශ්නය කොළඹට ඇත්තටම ප්‍රශ්නයක් වෙලා.මේ ප්‍රශ්නය අපිටත් වඩා දැනුනු නගරයක් තමයි රෝමය.හැබැයි ඔවුන්ගේ මේ කුණු ප්‍රශ්නය,ආයෝජනයක් විදිහට දැකපු රටකුත් තිබුනා.ඒ තමයි ඕස්ට්‍රියාව.රෝමයේ නිවාස වලින් එකතු වුන කැලි කසල දුම්රිය මගින් ඕස්ට්‍රියාව තමන්ගෙ වියානා නුවරට ගෙන්වා ගත්තා.ඕස්ට්‍රියාවේ වියානා නුවරට සමීපව පිහිටි කසල බල ශක්තිය බවට පත් කෙරෙන බලාගාරයක් මගින් ඔවුන් මේ කසල යොදාගෙන ඒවා බල ශක්තිය බවට පරිවර්තනය කර ගනු ලැබූවා.ඒවායින් උත්පාදනය කෙරෙන වාෂ්ප අසල බලාගාර වෙත යවා ඉන් විදුලි බලය ජනනය කරනු ලබන්නට වුනා.

අදටත් ඕස්ට්‍රියාවේ ලෝවර් පලාතේ නිවාස එක් ලක්ෂ හැත්තැ දහසකට ආසන්න ප්‍රමාණයකට ආලෝකය සපයන්නේ , රෝමයෙන් ඉවත දමන කැලි කසල වලින් කියලා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද ?මෙවැනිම වූ ක්‍රියාදාමයක් ජපානයේත් සිද්ද වෙනවා.ජපානයේ "Saga" නගරයේ කැලි කසල දහනයෙන් පසු ඉතිරිවන අළු පවා ඉවත නොදමා සිමෙන්ති නිෂ්පාදනයටත් යොදා ගනු ලබනවා.

ඉතිං..ඕස්ට්‍රියාවට පුලුවන්නම් ,ජපානයට පුලුවන්නම්,ශ්‍රී ලංකාවේ අපිට ඇයි බැරි..අවශ්‍ය වෙන්නේ නිසි වැඩ පිලිවෙලක් සහ ආකල්පමය වෙනසක්.

අපේ නගරවල එකතු වෙන කැලි කසල දහනයෙන් ඇති වන බල ශක්තියෙන් නිපදවා ගනු ලබන විදුලිය,අදාළ නගරයේ පාසල් සහ ආගමික ස්ථාන ආලෝකමත් කරන්න පුලුවන් විදිහේ වැඩපිලිවෙලකට අපිට යන්න පුලුවන්නම් එය වටිනා ආයෝජනයක් වේවි.

" සියල්ල එකවර,එක් අයෙකුට කල නොහැකි වේවි.නමුත් කවුරුන් හෝ ආරම්භයක් තැබිය යුතුයි."

කොළඹට අදට වඩා හෙට ප්‍රශ්නයක් වෙන ,කුණු උවදුරටත් මෙය සාර්ථක පිළිතුරක් වෙනවා වගේම , අර වගේ ආදරණීය අම්මාවරුන්ගේ මහන්සියටත් මෙයින් සාධාරණයක් වේවි.මොකද ඇගේ මහන්සියෙන් රටක් බල ගැන්වී ගමක් එළිය වන නිසා..!