Thursday, October 22, 2020
/ - General line - 0115112241 | - [email protected]

''මුස්ලිම් මැතිඇමතිවරු රජයේ ඉන්නවා.. ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් ගැන විමර්ශණ පරිස්සමින් '' - පාස්කු කොමිසමේදී පූජිත් හෙළි කරයි

2046Views

මෙරට ව්‍යාප්තවෙමින් තිබූ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලීසිය මගින් කිසිදු විවෘත විමර්ශනයක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට උපදෙස් දී තිබූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) පැවසීය.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ තමන් කිසිවෙකුට නොකියා සිතෙහි සිරකරගෙන සිටි බොහෝ දෑ ජනාධිපති කොමිසම හමුවේ ඉදිරියේදි හෙළිකිරීමට බලාපොරොත්තු වන බවය.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදුන්නේ දෙවන දිනටය.

පොලිස්පති තනතුර දරමින් සිටි කිසියම් අවස්ථාවකදි තමා ජනාධිපතිවරයාගෙන් උපදෙස් නොගෙන අගමැතිවරයාගෙන් උපදෙස් ලබාගත්තේදැයි එහිදී කොමිසම පළමුවෙන්ම ඔහුගෙන් විමසා සිටියේය.

"නැහැ කිසිම අවස්ථාවක එහෙම කළේ නැහැ. නමුත් දේශපාලනික වශයෙන් 2018 ඔක්තෝම්බර් මාසයේ ඇති වූ දින 52 ආණ්ඩුව වගේ සිදුවීම්වලින් පස්සේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සහසම්බන්ධතාවය පළුදු වුණාම මට ඔවුන් දෙදෙනා සමග සමබරව කටයුතු කරගෙන යාම ඉතා අසීරු වුණා. ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පොලිස් කොමිසම දැනුවත් කළ යුතුව තිබුණා. නමුත් පොලිස් කොමිසමේ නිර්දේශ මත කළ ඇතැම් ස්ථාන මාරුවීම් නවත්වන්න සිද්ධවුණා" යනුවෙන් පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු දුන්නේය.

එකම කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙආකාරයකට උපදෙස් දුන් අවස්ථා පැවතියේදැයි කොමිසම විමසූ විට පූජිත් ජයසුන්දර මහතා පැවසුවේ එවැනි අවස්ථා වල තමා ජනාධිපතිවරයාගේ අණට එකඟ වූ බවය.

තමා පවසන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන පොලිස් කොමිසම බලාත්මක කර තිබියදීත් එහි ක්‍රියාකාරිත්වයට බාහිර පාර්ශව බලපෑම් කළ බවදැයි කොමිසම ඔහුගෙන් යළි විමසා සිටියේය.

"2018 මුල් භාගයේ ඉඳලා බලපෑම් ආවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරින් වගේ තනතුරු වලට ස්ථාන මාරු ලබාදීමේදි පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියත්මක කළ නොහැකි වුණා. ඒවා නැවැත්තුවා" යැයි පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

එහිදි කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා "කව්ද නැවැත්තුවේ" යැයි විමසූ විට "ජනාධිපතිවරයා" යැයි පූජිත් ජයසුන්දර මහතා ඊට පිළිතුරු දුන්නේය.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් ජයසුන්දර මහතා මෙසේ ද පැවසීය,

"2018 ඔක්තෝම්බර් 23 ජාතික ආරක්ෂක කවුන්සිලය පැවැත්වෙන්න නියමිතව තිබුණා. නමුත් පස්වරුව වෙනකං ඒ පිළිබඳව මා දැනුවත් කළේ නැහැ. පස්වරු 4.30 ට විතර මම එවකට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාට කථා කරලා ඇහුවා. 'සර් අද Security Council එක තියෙනවාද? මම නම් දැනුවත් කරලා නැහැ.' කියලා. එතකොට මට කපිල වෛද්‍යරත්න මහතා කිව්වා පූජිත් මට ඔයාට කියන්න බැරුව හිටියේ. නමුත් දැන් අහපු නිසා කියන්නම්. ජනාධිපතිතුමා කිව්වා ඔබව කැඳවන්න එපා කියලා".

"ආරක්ෂක කවුන්සිලයට එන්න එපා කිව්වාම මම ගොඩාක් අපහසුතාවයට පත්වුණා. මොකද ආරක්ෂක කවුන්සිලයේ කතාකරන කිසිම දෙයක් මට දැනගන්න විදිහක් තිබ්බේ නැහැ. ආරක්ෂක කවුන්සිලයෙන් ලිඛිතව කිසිම දෙයක් මට ආවෙත් නැහැ. පස්සේ මගෙන් පස්සේ පොලීසියේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරියාව ගෙන්වන්නේ නැතුව වෙන නිලධාරින් ආරක්ෂක කවුන්සිලයට ගෙන්වා තිබුණා" යනුවෙන්ද පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා "ජයසුන්දර මහත්මයා, ඔබව ආරක්ෂක කවුන්සිලයට නොකැඳවීමට හේතුවුණු සිද්ධිය මොකක්ද, ඔබ මෙපමණ කල් ප්‍රසිද්ධියේ නොකියපු දේවල් තියෙනවද තව කියන්න" යනුවෙන් ප්‍රකාශ කළේය.

එයට පිළිතුරු දෙමින් හිටපු පොලිස්පතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

"IP නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව තමයි ප්‍රධාන හේතුව. ඊට අමතරව ආරම්භයේ පටන් සිදූවී තිබු වැරදි වටහා ගැනීම්, යම් යම් අයගේ වැරදි තොරතුරු මත කරපු වැරදි පුරෝකථනයන්, කාගෙවත් පව් තමා මගේ පිටින් ගියේ"

"CID යේ නිශාන්ත සිල්වාගේ මුලිකත්වයෙන් පරීක්ෂණ ගණනාවක් කළා. එකක් තමයි හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධ සිදුවීම. ජාතික ආරක්ෂක කවුන්සිලයේදි සාකච්ඡා වුණා. අර නිලධාරියා මේ අයගෙන් පළිගන්නවා කියලා. එතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙළින්ම කිව්වා, පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා අයින් කරන්න කියලා. කොහොමහරි ඔය කාලයේ ජනාධිපතිතුමා රටින් පිටව යන වෙලාවක ආරක්ෂක ලේකම්වරයාට කියලා තිබ්බා" කොහොම හරි මේක වෙන්න ඕනේ කියලා" ආරක්ෂක ලේකම්වරයා එක මට කිව්වා. මට කරන්න දෙයක් තිබුණේම නැහැ. පස්සේ පොලිස් කොමිසමට දන්වා යවලා මගේ හිතට එකඟ නැති වුණත් මම ඒ දේ කළා." 

"දවස් දෙකකට විතර පස්සේ ජනාධිපතිතුමා නැවත් දිවයිනට ආපු දවසේ මම ගියා ගුවන්තොටුපොළට ආරක්ෂක කටයුතු බලන්න.ඒ ගිහින් එද්දි මට ජනාධිපතිතුමාගෙන් Call එකක් ආවා. මගෙන් ඇහුවා කොහෙද ඉන්නේ කියලා. මම කිව්වා Air Port එකේ කියලා. ඊට පස්සේ ජනාධිපතිවරයා ඇහුවා මොකක්ද මේ නිශාන්ත සිල්වාව කව්ද Transfer කරේ කියලා. මම කිව්වා සර් මමයි Transfer කරේ කියලා.එතුමා මගෙන් පෙරළා ඇහුවා කව්ද කිව්වේ කියලා.  'සර් ඔබතුමානේ කිහිපවරක්ම කිව්වේ Transfer කරන්න කියලා. ආරක්ෂක ලේකම්තුමත් එකම කිව්වා යැයි මම පිළිතුරුදුන්නා. 'මම එහෙම කිව්වේ නැහැ මම Secretary ගෙන් අහන්නම් කියලා ජනාධිපතිතුමා ෆෝන් එක කට් කළා" යැයි පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

එහිදී කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ ඇයි එතුමා මුල් නියෝගය වෙනස් කළේ ඔබ හේතුවක් දන්නවාද යන්නයි.

"මම හිතන්නේ එතුමාට දේශපාලනික බලපෑම් ආවා. සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර වැනි අය ජනාධිපතිතුමාට කථා කරලා ප්‍රශ්න කරලා තිබ්බා. ජනාධිපතිවරයා ලොකු පීඩනයකින් සිටියේ " යැයි පිළිතුරු දුන් පූජිත් ජයසුන්දර මහතා තවදුරටත් කරුණු අනාවරණ කළේය.

"ඉස්ලාම් අන්තවාදය පිළිබඳව ඒ වන විට විමර්ශන කරමින් සිටියේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය. එහි අධ්‍යක්ෂ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක ද සිල්වා මහතාව මම ජනාධිපතිවරයාට හඳුන්වා දී තිබුණා. පස්සේ ඔහු මාත් සමග ගිහින් ජනාධිපතිවරයා ඉදිරියේ ඒ වන විට ලෝකයේ සහ මෙරට තුළ ව්‍යාප්තවෙමින් තිබූ ඉස්ලාම් අන්තවාදය පිළිබඳව ඉදිරිපත් කිරීම් කිහිපයකුත් කළා. අන්තීමට ජනාධිපතිවරයා අපිට කිව්වා. මේක ඉතා සංවේදි වැඩක්. පරිස්සමෙන්  කරන්න ඕනේ. සිරියාවේ විතරයි වෙලා තියෙන්නේ. තාම මෙහේ දේශන වගේ දේවල් තමයි වෙන්නේ. මේක මුස්ලීම් අයගේ ප්‍රශ්නයක්. මුස්ලීම් මැතිඇමතිවරුත් ඉන්නවා රජයේ. එයාලගෙන් රජයට බලපෑම් වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් කරන්නකෝ කියලා" 

"පසුව ආරක්ෂක කවුන්සිලය රැස්වුණා. නමුත් එකේදිත් ඉස්ලාම් අන්තවාදය විශේෂ සැලකිල්ලකින් සාකච්ඡාවට බදුන් කළේ නැහැ. ජනාධිපතිවරයා කිව්වා මේක පිළිබඳ පොලීසියෙන් විවෘත පරීක්ෂණ කරන්න එපා.  රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත මේ ගැන Monitor කරපුවාම ඇති. නිලන්ත ඒක කරයි කියලා" යැයිද පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්ෂි ලබාදීමට සවන්දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.

කොමිසමේ හුදකලා අසුනක සිට මිනිත්තු තිහක පමණ කාලයක් හිටපු පොලිස්පතිවරයාගේ සාක්ෂි විමසීමට සවන් දුන් හිටපු ජනාධිපතිවරයා පස්වරු 4.30 ට පමණ කොමිසමෙන් පිටව ගියේය. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට පෞද්ගලිකවම හෙට දින පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසද එම කොමිසම අද නොතීසි නිකුත් කළේය.

ඒ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් ඇතිවී ඇති මතබේදාත්මක තත්ත්වය හේතුවෙනි.

එසේම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ කාදිනල් හිමිපාණන් දැන සිටින්නට ඇතැයි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු තුමන්ලා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාටද අද (24) දින පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසම අද නොතීසි නිකුත් කළේය.